වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 07 වැනිදා බ්‍රහස්පතින්දා




රනිල් කුලසිංහ මේනකා පීරිස් අතිනත ගනී

රනිල් කුලසිංහ මේනකා පීරිස් අතිනත ගනී

රනිල් කුලසිංහ නමැති රංගන ශිල්පියාව ඔබට වඩාත් සමීප වුණේ සල්සපුනා ටෙලි සිතුවම හරහා. එහි සුරේන් ලෙස ඔහු ජන හද දිනා ගත්තේ එක රැයකින්. කාලයක් තිස්සේ රංගන කටයුතවල නියැලුණත් රනිල්ට වාසනාව ගෙනාවේ සුරේන් නිසා කිව්වොත් වැරැදි නැහැ. එහෙත් පසුගිය දිනවල බොහෝ දෙනකුගේ අවධානයට ඔහු පාත්‍ර වුණේ නම් වෙනත් කාරණයක් හින්දා. ඒ ඔහුගේ විවාහ ගිවිස ගැනීමයි. රනිල් තම ජීවන සහකාරිය ලෙසට තෝර ගත්තේ ජනප්‍රිය නිළි මේනකා පීරිස්. දෙන්නම ජනතාව අතර ඉන්න තාරකා යුගළක් නිසා වැඩි දෙනෙකුට නොකීවට මේ විවාහය බොහොම ඉක්මනින් ප්‍රසිද්ධියට පත් වුණා. ජීවිතයේ සිදු වූ මේ වෙනස ගැන අහගන්න අප කතා කළා මේ මංගල්‍යයේ මනමාලයා හෙවත් රනිල් කුලසිංහට.

* රනිල් ඔබේ විවාහය සිදු වූ දින සහ තැන පළමුව සඳහන් කරමු?

සුගිය සැප්තැම්බර් පළමුවැනිදායි විවාහය සිදු වුණේ. ඒකට මගේ පවුලේ හිතවතුන් පමණයි සහභාගි වුණේ. ගම්පහ පිළිකුත්තුව රජ මහා විහාරයේදීයි විවාහ ගිවිස ගැනීම සිදු කළේ.

* පන්සලක විවාහවීමට තීරණය කළේ ඔබ දෙපොළගෙන් කවුද?

අපි දෙන්නම ඒ එකඟතාවයට ආවා. ආගම දහමට මුල් තැන දීලා විවාහ ගිවිස ගන්න එක දෙදෙනාටම තිබුණු හිනයක්. ඒක නිසා චාම්ව පන්සලේ විවාහ වුණා. ගොඩ දෙනෙක් ප්‍රශංසා කළා ඒකට.

* කවද විතරද උත්වශ්‍රීයෙන් හැමෝටම කියලා විවාහය සමරන්න හිතාගෙන ඉන්නේ?

ලබන වසරේ අප්‍රේල් විතර ඒ කටයුත්ත සිදු කරනවා.

* විවාහ වුණා ඉක්මන් වැඩියි කියලා හිතෙන්නේ නැතිද?

ඒ කිව්වේ?

* ඔබ ජනප්‍රිය වුණා පමණයි. විවාහයත් සමඟ ජනප්‍රියත්වය මඳක් අඩු වෙනවා. ඒ නිසා තව කාලයක් තනිකඩව ඉඳලා විවාහ වෙන්න තිබුණා නේද කියලයි මම ඇහැව්වේ?

නළුකම කියන්නේ මගේ වෘත්තීය. ජනප්‍රියත්වය එයටයි ආදාළ වන්නේ. මගේ පෞද්ගලික ජීවිතය වෙනමම තියෙන එකක්. මං මේ දෙක පටලව ගන්නේ නැහැ. නළු ජීවිතයේ තීරණ ගන්නේ මම. බොහෝ විට මගේ පෞද්ගලික ජීවිතයේ තිරණ ගන්න මට අම්මා උදව් කරනවා. නිසි කාලේ විවාහවන්න ඕනෑ කියලා කිව්වේ අම්මා. ඒකට ජනප්‍රියත්වය අදාල නැහැ. වෘත්තීය ජීවිතය ඇතුළේ මං නළුවකු පමණයි. සැබෑ ජීවිතයෙහි මං රඟපාන්නේ නැහැ. බොහොම සාමාන්‍ය කෙනෙක් විදිහටයි ජීවත් වන්නේ. ඒ හින්දා මගේ ජනප්‍රියත්වය නිසා විවාහය පමා කරන්නට අදහස් කළේ නැහැ.

* ඇයි මේනකා වගේ සහකාරියක්ව තෝරා ගත්තේ?

මට මේනකාව හමුවන්නේ යාළුවකු මාර්ගයෙන්. එදා ඉඳලා අපි එකිනෙකාව පෞද්ගලිකව හඳුනා ගත්තා. මට සුදුසුම කෙනා ඇය තමයි කියලා දැනගත්තේ ඇය මගේ අම්මට වඩාත් ළං වූ මොහොතේ සිට. මට තාත්තා නැහැ. ඉන්නේ අම්මා විතරයි. කෙදිනක හෝ මගේ ජීවන සහකාරිය කරගන්න කෙනා මගේ අම්මව හොඳින් බලාගන්න ඕන කියන විශ්වාසයක් මට තිබුණා. මේනකා ඕනෑවටත් වඩා ඒ කාර්යය කරනවා. ඇය මගේ අම්මට හරිම ආදරෙයි. ඒක මට ඇති ඇයව ජීවන සහකාරිය කරගන්න.

* ඔය දෙදෙනාගෙන් කවුද මුලින්ම ආදරේ ප්‍රකාශ කළේ?

මං කලින් කිව්වනේ අපි දෙන්නා නිතර කතාබස් කරමින් එකිනෙකාට සමීප වුණා කියලා. කාලයක් ගතවෙද්දී දෙන්නට දෙන්නා ආදරෙයි කියලා වැටහුණා. නමුත් ඒක ප්‍රකාශ කරගත්තේ නැහැ.

* මේනකා රංගන ශිල්පිණියක්. ඇයට වැඩිපුරම හිමි වන්නේ පෙම්වතියගේ චරිතය. ඒ වගේම නර්තන අංගවලදී මේනකාට පිරිමි ළමුන් සමඟ සමීපව කටයුතු කරන්න වෙනවා.

ඔය අහන්නේ මට ඊරිසියාවක් ඇති වෙනවද කියලානේ. කොහෙත්ම නැහැ. මං දන්නවනෙ ඇය නිළියක් කියලා. එහෙම වුණාම ඔවැනි අවස්ථාවලට මුහුණ දෙන්න වෙනවා. අතේ දුරින් ඉඳලා පෙම් චරිත කරන්න බැහැනෙ. මං ඇයව තේරුම් අරගෙන ඉන්නේ.

* දෙන්නම රංගන කටයුතුවල නියැලෙන නිසා වාරණ දමාගෙන නැද්ද?

එයා එයාගේ වැඩ. මං මගේ වැඩ. කලා ජීවිතය තුළදී අපගේ වාරණ නැහැ.

* මොනවද ඔබ දෙපොලගේ ඉදිරි වැඩ කටයුතු?

ලබන වසරේදී ගෙයක් හදන්න හිතාගෙන ඉන්නවා. ඒ වාගේම ටෙලි නාට්‍යයක් මං අධ්‍යක්ෂණය කරන්න බලාපොරොත්තු වෙනවා ලබන වසරේ මුලදී. රංගන කටයුතු හොඳින් කරගෙන යනවා. ඊට අමතරව විශේෂ බලාපොරොත්තු නැහැ.