වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 07 වැනිදා බ්‍රහස්පතින්දා




මිහිරිසර නිහඬ වී තෙමසක ඇවෑමෙන්

මිහිරිසර නිහඬ වී තෙමසක ඇවෑමෙන්

සංගීතය වූ කලී විශ්ව භාෂාවකි. ඊට ජාති, කුල, භාෂා භේද කිසිවක් නැත. ජාතියට බිහිවන සංගීතකරුවන් එම දේශයේ ගෞරවයට පාත්‍ර විය යුත්තේ ඒ නිසාවෙනි. මන්ද ඔවුන්ගේ සේවය රටට මතු නොව කුදු මහත් සමාජයටම අප දේශය පිළිබඳ සිතන්නට යමක් ඉතිරි කරන නිසාවෙනි. සමාජයේ බොහෝ කලාකරුවෝ තම සේවය ඉටු කරනු ලබන්නේ නිහඬවමය. නමුත් ඔවුන් සිදු කරන එම නිහඬ සේවය නොවන්නට සමාජය වල්වැදී ගොස් අවසන් වනු ඇත. එලෙස සමාජ ප්‍රවාහයක් නිවැරැදි දිශානතියකට යොමු කරන්නට තම ජීවිතයේ සුවිශාල කැප කිරීමක් කළ ශාස්ත්‍රපති අනිල් මිහිරිපැන්නයන් අප අතරින් වියෝ වී තෙමසක් සපිරෙන අද දිනට මෙම සටහන තබන්නේ නිහඬව දශක පහක් පුරාවට ශ්‍රී ලංකේය කලා කෙත අස්වද්දන්නට එතුමා කළ සේවය අපරිමිත නිසාය. එමෙන්ම මතු පරපුර ද, ශ්‍රී ලාංකේය සංගීත අධ්‍යාපන ක්ෂේත්‍රයට මෙන්ම නිර්මාණ සංගීතයට සුවිශාල කැප කිරිමක් කළ මේ යුග පුරුෂයාණන් පිළිබඳ දැනගනීම යුක්තිසහගත වන බැවිනි.

වර්ෂ 1933 අගෝස්තු මස 10 දින මෙලොව එළිය දකින අනිල් මිහිරිපැන්නයන් නිදියහනේ සතපවන්නට මිහිරිපැන්නයන්ගේ ආදරණීය මාතාව ගැයූ නැළවිලි ගියේ රිද්මය අනාගාත මහා සංගීතඥයකු බිහි කරන්නට මුල් වූ ස්වර සංයෝජනය බව එතුමිය නොසිතන්නට ඇත. තමාගේ ගමන්මඟ ආලෝකවත් කර ගනිමින් පාසල් අධ්‍යාපනයෙන් පසුව 1955 වසරේ දී විශ්ව භාරතීය විශ්ව විද්‍යාලයට ඇතුළත්ව සුප්‍රසිද්ධ ගුරුවරුන්ගේ මඟ පෙන්වීම යටතේ අධ්‍යාපනය හදාරන්නේ අනාගත මහා සංගීතඥයකුට අවශ්‍ය සියලු ගුණාංගයන් තමන් වෙතට චරිතායනය කර ගනිමිනි. එමෙන්ම 2004 වර්ෂයේ දී අමෙරිකානු විවෘත විශ්ව විද්‍යාලය මඟින් පිරිනමන ලද ශාස්ත්‍රපති උපාධිය එතුමාගේ සංගීත දැනුමට ලැබුණු මහත් ඇගයීමක් ලෙස දැක්විය හැකිය.

1959 ගුරු වෘත්තියට ප්‍රවිශ්ඨ වෙමින් වෘත්තීය ජීවිතය අරඹන හෙතෙම සංගීත අධ්‍යාපනය දරු පරපුරට දායාද කරන්නේ හදපිරි සුපසන් හැඟිමෙන් යුතුවය. ඉන් දස වසරක ඇවෑමෙන් 1969 රජයේ සංගීත විද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස හා පසුව කැලණිය විශ්වවිද්‍යාලයේ හා සෞන්දර්ය කලා විද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස බිහි කළ සිසුන් අද වන විට බටනළා හා එස්රාජ් වාදන අංශයෙන් ලංකාවේ සුප්‍රසිද්ධ සංගීතවේදීන් බවට පත්ව ඇත. මෙලෙස එතුමාගෙන් ගුරුහරුකම් ලබාගත් සිසු සිසුවියන් ප්‍රමාණය අපමණය.

සංගීත අධ්‍යාපනයෙන් පමණක් නොව වර්ෂ 1960 රන්කැටි පුතා මුද්‍රා නාට්‍යයෙන් ඇරඹි සංගීත සංයෝජන චණ්ඩාලිකා, සෙබළිය, ඔමරිලතා හරහා 1994 අපේක්ෂා සංධ්වනිය වසරේ හොඳම සංගීතාංගය බවට පත් කරන්නේ ඒවා ශ්‍රි ලාංකිය සිසු පරපුරට ද දායාද කරමිනි. 1995 නින්ජා ශ්‍රී ලංකා චිත්‍රපටය ද එතුමාගේ මිහිරි වූ සරයෙන්ම හැඩ වූවකි. එමෙන්ම වාද්‍ය සංකලන, හින්දුස්ථානි සංගීතයේ මූලධර්ම, ශ්‍රී ලංකාව තුළ ඉන්දියානු සංගීතයේ ව්‍යාප්තිය, පෙර අපර දෙදිග වාද්‍ය භාණ්ඩ ආදී කෘති රැසක් සිංහල හා ඉංග්‍රීසි භාෂාවෙන් එතුමා අපට දායාද කර ඇත. එමෙන්ම ශාරදා කලා නිකේතනය අරඹා දිවයිනේ සුප්‍රසිද්ධ කලාකරුවන් සම්බන්ධ කර ගනිමින් සිදු කරන ලද මෙහෙය අති මහත්ය.

එහෙත් මේ මහා කලාකරුවා නික්ම ගොස් අවසානය. ඔහු විසින් කළ මෙහෙය එක මිටට කැටි කරන්නට නොහැකි තරම්ය. එහෙත් අප වෙනුවෙන් එතුමාණන් කළ නිහඬ සේවයට ශාස්ත්‍රපති අනිල් මිහිරිපැන්නයන්ට පරම සුන්දර වූ නිවන් මඟ හෙළි වේවායි පතමු.