වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 07 වැනිදා බ්‍රහස්පතින්දා




ජාත්‍යන්තර ඡායාරූප ප්‍රදර්ශනය 15, 16, 17

ජාත්‍යන්තර ඡායාරූප ප්‍රදර්ශනය 15, 16, 17

18 වැනි ජාත්‍යන්තර ඡායාරූප ප්‍රදර්ශනය මේ මස 15, 16, 17 කොළඹ 07 ජේ. ඩී. ඒ. පෙරේරා කලාගාරයේදී පැවැත්වීමට නියමිතය. සමාරම්භක උලෙළ 15 වැනිදා 10.00 ට ආරම්භ වන අතර ප්‍රවීණ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස මහතා‍ගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රවීණ ගායිකා විශාරද නන්දා මාලිනී මහත්මියගේ සහභාගිත්වයෙන් පැවැත්වෙයි. අනෙක් සෑම දිනකම පෙරවරු 8.30ට ආරම්භ වන ඡායාරූප උලෙළ රාත්‍රි 6.00ට අවසන් වෙයි.


ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයෙන් ටෙලි - සිනමා රංගන පාඨමාලාවක්

ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ 25 වැනි සංවත්සරය වෙනුවෙන් ප්‍රවීණ ටෙලි හා සිනමාවේදීන්ගේ සහ ප්‍රවීණ රංගන ශිල්පීන්ගේ උදේශකත්වය මාස හයක සති අන්ත (ඉරිදා) පාඨමාලාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

දක්ෂ රංගන ශිල්පියකු වීමට මඟ පෙන්වන මේ පාඨමාලාව සාර්ථකව හදාරන නවකයන්ට ඒ සංසදයේ සාමාජිකයන් නිර්මාණය කරන ටෙලි හෝ සිනමා නිර්මාණවලට රංගනයෙන් දායක වීමට අවස්ථාව උදාකර දීමටද ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය බලාපොරොත්තු වෙයි. මේ පාඨමාලාව හැදෑරීමට කැමැති රංගනය පිළිබඳ උනන්දුවක් දක්වන සහ එයට හැකියාව ඇති තරුණ තරුණියන්ට තම ලිපිනය ලියූ මුද්දර අලවන ලද ලියුම් කවරයක් පාඨමාලා අධ්‍යක්ෂ, ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය, 131, පාගොඩ පාර, පිටකෝට්ටේ යන ලිපිනයට මේ මස 27 වැනිදාට පෙර එවිය යුතුය. ඒ මඟින් විස්තර ලබාගත හැකි බව ටෙලි නිර්මාණවේදීන්ගේ සංගමයේ සභාපති උදයකාන්ත වර්ණසූරිය සහ ලේකම් නාලන් මෙන්දිස් දන්වා සිටිති.


මොරටුපුර රත්න විභූෂණ හෙන්රි ප්‍රියශාන්තට

මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය බල මණ්ඩලය හා එක්ව සංස්කෘතික දෙපාර්තමේන්තුව සංවිධානය කරන ලද 'අභිසෙස් අභිමන් 2017' කලා මංගලෝත්සවය පසුගිය සැප්. 7 වනදා සර්වෝදය සමාධි ශාලාවේදී පැවැත්විණි.

ප්‍රවීණ මාධ්‍යවේදියෙක්, නාට්‍ය රචකයෙක්, නාට්‍ය නිෂ්පාදකවරයෙක්, දේශකයෙක්, වේදිකා නළුවෙක් මෙන්ම කෙටි නාට්‍ය නිෂ්පාදකවරුන් උනන්දු කිරීමට ලංකාවේ ප්‍රථමවරට කෙටි නාට්‍ය සම්මාන උලෙළවල් ආරම්භ කළ කලාකරුවෙක් මෙන්ම රුක්මණී දේවී අනුස්මරණ සංගමය පිහිටුවා තිස් වසරක් පුරා කරන ලද මෙහෙය අගය කරමින් ජීවිතයේ එක් වරක් පිදෙන මොරටු පුර රත්න විභූෂණ සම්මානය හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස් මහතාට පිරිනැමිණි.

සංස්කෘතික අධ්‍යක්ෂ අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය අතින් හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස් සම්මානය ලබාගත් අවස්ථාව. මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරිනි අචලා හෙට්ටිආරච්චි, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මොරිස් විජේරත්න මහත්ම මහත්මීහු ද ඡායාරූපයේ වෙති.


සූකිරි බෝලේ හෝමාගම

මධුසංක කංකානිගේ අධ්‍යක්ෂණය කරනු ලබන සූකිරි බෝලේ ප්‍රහසනාත්මක වේදිකා නාට්‍යය මේ මස 16 වැනිදා සවස හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයීය රංග ශාලාවේදී වේදිකා ගත කෙරේ. අසංග පෙරේරා, රජිත හිරාන් (පිංපොං), සංකේත් වික්‍රමගේ, ලක්ෂිකා ෆොන්සේකා, තුෂාරි බණ්ඩාරනායක, මධුර අබේවර්ධන සහ මධුසංක කංකානිගේ රංගනයේ යෙදෙයි.

සූකිරි බෝලේ කීර්ති රංජිත් පීරිස්ගේ සංවිධානයකි.


රස මොහොතට වෙදැදුරන් 5 ක්

එළැඹෙන මේ මස16 වැනි සෙනසුරාදා සවස 3.00 ට ජාතික රූපවාහිනියෙන් විකාශය වන රස මොහොත වැඩසටහන සඳහා මෙවර සහභාගි වනුයේ මෙරට ප්‍රමුඛ පෙළේ වෛද්‍යවරුන් 5 දෙනෙකි. ඒ අනුව වෛද්‍ය රනිල් ජයසේන, වෛද්‍ය රොහාන් පෙරේරා, වෛද්‍ය විජිත් විද්‍යා භූෂණ, වෛද්‍ය රංජිත් දිසානායක, වෛද්‍ය සමන් කුමාර එයට සහභාගි වේ. රස මොහොතේ සංගීතය මෙහෙයවීම වසන්ත බණ්ඩාරගෙනි.


රණ රඟ මියැසිය අද

කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ 'රණ රඟ මියැසිය' විවිධ ප්‍රසංගය අද දින ‍පස්වරු 3.00ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙයි. රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ ප්‍රසංගය සඳහා නැටුම්, ගැයුම්, රැඟුම් ඇතුළු විශේෂාංග රැසක් ඉදිරිපත් කරනු ලබන්නේ ආරක්ෂක සේවා විද්‍යාලයේ සිසු දරු-දැරියන් විසිනි. මේ කටයුත්ත සිදුවන්නේ විදුහල්පතිනිය ධම්මිකා ජයනෙත්ති මහත්මියගේ අධීක්ෂණය යටතේ ය.