වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 07 වැනිදා බ්‍රහස්පතින්දා




නිර්වාණයට පේටන්ට් නැහැ

නිර්වාණයට පේටන්ට් නැහැ

උපුල් ශාන්ත සන්නස්ගල

බුදු දහමේ කියවෙන ‘නිර්වාණය’ යන සංකල්පය ඔළුවේ තියාගෙන නූතන ප්‍ර‍බන්ධ සාහිත්‍ය කියවන්න බෑ. නිර්වාණ කියන්නේ කාටවත් පේටන්ට් බලපත්‍රයක් දුන්න නමක් නෙමෙයි. මම ‘නිර්වාණ’ කියන්නේ මගේ දැක්ම. මේ මොහොතේ මගේ සිතීම්. ඒක මට විශිෂ්ටයි. තවකෙකුට පිළිකුල් වෙන්න පුළුවන්. හරියට දූරියන් වගේ.

‘අම්මා’, ‘නේත්‍රා’, ‘සරසවි දියණියෝ’, ‘සංගිලි පාලම’, ‘වස්සාන සිහිනය’, ‘ආදරේ තරම්ම යසෝදරා’, ‘පිරිමි ගොඩයි මං විතරයි’, ‘අපේ ආදර කතාව’ ආදී නවකතා ඇතුළු කෘති රැසක් ලියූ උපුල් ශාන්ත සන්නස්ගලගේ නවතම කෘතිය ‘නිර්වාණ’ එළිදැක්විණි. මේ පෙළගැසෙන්නේ නවකතාකරුවකු, විචාරකයකු, ගුරුවරයකු, ගේයපද රචකයකු, චිත්‍රපට නිෂ්පාදකයකු ආදී භූමිකා රැසකින් අප හමුවට එන උපුල් ශාන්ත සන්නස්ගල සමඟ සරසවියට කළ කතාබහකි.

මේ මාසේ එළිදැක්වෙන කෘතිය කුමක් ද?

නිර්වාණ. එය නව ප්‍රබන්ධ කතාවකි.

කෘතිය ලිවීමට මූලික වුණු කාරණා මොනවා ද?

මම සාහිත්‍ය කෘති ලියන්නේ මට හිතෙන හින්දා. ‘නිර්වාණ’ කෘතිය ලිවීමට හේතු වුණ කාරණාව මට එහෙම කෘතියක් ලියන්නට සිතුවිල්ලක් පහළ වුණා.

ඔබ මේ කෘතියට නම තබන්නේ ‘නිර්වාණ’ යනුවෙන්. ‘නිර්වාණ’ යන නම කෘතියට යොදන්න තරම් කෘතියේ තිබෙන විශිෂ්ටත්වය ඔබ විග්‍රහ කරන්නේ කෙලෙස ද?

බුදු දහමේ කියවෙන ‘නිර්වාණය’ යන සංකල්පය ඔළුවේ තියාගෙන නූතන ප්‍ර‍බන්ධ සාහිත්‍ය කියවන්න බෑ. නිර්වාණ කියන්නේ කාටවත් පේටන්ට් බලපත්‍රයක් දුන්න නමක් නෙමෙයි. මම ‘නිර්වාණ’ කියන්නේ මගේ දැක්ම. මේ මොහොතේ මගේ සිතීම්. ඒක මට විශිෂ්ටයි. තවකෙකුට පිළිකුල් වෙන්න පුළුවන්. හරියට දූරියන් වගේ.

‘නිර්වාණ කෘතිය ඔබ ‘සිනෙ නොවෙලාව’ යනුවෙන් හඳුන්වන්නේ ඇයි?

එහි ආකෘතියෙහි අන්තර්ගතයෙහි ස්වභාවය සිංහල නව කතාවේ සම්ප්‍රදායික සාහිත්‍ය ශානරයෙන් පිටස්තර එකක් වීම. සිනෙ නොවෙලාවක ස්වභාවය හෝ එහි අර්ථ දැක්වීම ම’විසින් කළ යුත්තක් නො වේ. කෘතිය කියෙව්වාට පසු එහි ස්වභාවය අවබෝධ කර ගැනීම පාඨකයාගේ නැණ පමණින් කළ යුත්තක්.

කෙටි කතාවකටත්, නව කතාවකටත් අයත් නො වන්නා වූ ‘නිර්වාණ’ හරහා ඔබ සමාජගත කිරීමට උත්සාහ කරන්නේ කුමක් ද?

පොතක්.

තව තවත් සිංහල සාහිත්‍යයට නව ආකෘතියක ප්‍රබන්ධ කෘති අවශ්‍ය යැයි ඔබ සිතනවා ද?

ඔව්. අලුත් අලුත් දෑ නො තකන ජාතිය ලොව නො නගී කියලා ශිෂ්‍යත්ව පන්තියේ දී උගන්වනවා.

එක ම කතා කලාවක් ඇතුළේ සිරවී සිටින ලාංකේය නිර්මාණකරුවා ගැන ඔබ දරන්නේ මොන වගේ අදහසක් ද?

එක ම කතා කලාවක් ඇතුළේ සිර වී සිටින්නේ ලාංකේය සාහිත්‍ය නිර්මාණකරුවෝ නෙමෙයි. සාහිත්‍යයට ලයිසන් තියෙනවා කියල හිතාගෙන ඉන්නෙ විනිශ්චයකරුවෝ ; වැඩවසම් ඔළුගෙඩි තියෙන මිනිස්සු. මම මේ කෘතියට පාවිච්චි කරන්නේ මගේ පොලිටික්ස් ලයිසන් එක. ඇන්ටන් චෙකොෆ්ගේ සහ ගී ද මෝපසාංගේ කෙටි කතා ආකෘතීන්වලින් ලාංකේය කෙටිකතාව මිදිලා දශක හතරක් වෙනවා. තාමත් ලංකාවේ පාසල් පද්ධතියේත්, විශ්වවිද්‍යාලයන්හීත්, සිංහල අධ්‍යයන අංශයන්හීත් කෙටි කතාව උගන්වන්නේ කතන්දර කලාවේ කොටසක් විදිහට. සාහිත්‍ය නිර්මාණකරුවන් අලුත් දැනුම් කලාප අවශෝෂණය කර ගන්නවා. ලංකාවේ ශාස්ත්‍රාලයීය අධ්‍යාපනය සහ සාහිත්‍ය විනිශ්චයකරුවන්ගේ ඔළුගෙඩි ඒ දැනුම් කලාපයෙන් තොරයි. සාහිත්‍යකරුවකු ජජ් කරන්න විනිශ්චයකාරයන් තුන් හතර දෙනෙකුට ලයිසන් දෙන එකෙයි වැරැද්ද තියෙන්නේ.

සාහිත්‍යය හා මිනිසා අතර තිබිය යුතු අන්‍යෝන්‍ය සබඳතාව වර්තමාන වනවිට ගිලිහී යමින් සිටින බවයි පෙනෙන්නේ. එය කොයිතරම් සමාජයට බලපෑම් කරන්නේ ද?

එළියේ සමාජය පිළිබඳ, සාහිත්‍ය වපසරිය පිළිබඳ කිසි ම අවබෝධයක් නැති කෙනෙකුට එවැනි චෝදනාවක් කළ හැකියි. සැප්තැම්බර් මාසයේ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවට ගිහිල්ලා මැගී කකා ඇවිදින ජංගම මෘත දේහ දැකලා සාහිත්‍ය විනිශ්චය කරන්න බෑ. සාහිත්‍ය තියෙන්නේ කාටවත් බලපෑම් කරන්න නෙමෙයි. බලපෑම් කරනවා කියන්නේ බලය පාවිච්චි කිරීමක්. සාහිත්‍ය ලේබලය බලයක් ලෙස නඩත්තු කරන්නේ ස්වාධීන අනන්‍යතාවක් නැති මිනිහෙක්.

මේ පවතින පාසල් අධ්‍යාපනය ඇතුළේ විෂය නිර්දේශයට පමණක් සීමා වුණු රසවින්දනයකුයි නිර්මාණය වන්නේ. සාහිත්‍ය රසයෙන් යුත් රසවින්දනයක් ඇති පිරිසක් ඒ ඔස්සේ බිහි නොවීම නිසා සිදුවිය හැක්කේ කුමක් ද?

අධ්‍යාපන අමාත්‍යාංශයෙන්, අධ්‍යාපන ඇමතිවරයාගෙන් ඇසිය යුතු ප්‍රශ්නවලට මං මොකට ද උත්තර දෙන්නේ.

වර්තමානය වනවිට නවකතාව ලියැවෙන්නේ සම්මාන උලෙළෙ ඉලක්ක කරගනිමින්. එය සිංහල සාහිත්‍යයේ පසුබෑමට හේතුවක් යැයි ඔබ සිතන්නේ ද?

ඔව්. සම්මාන කියන වෙසඟන පස්සේ සාහිත්‍යකාරයෝ කෙළ හලනවා. ඒක පසුගිය දශක දෙකහමාරක සිට දැකිය හැකි දෙයක්.