වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 07 වැනිදා බ්‍රහස්පතින්දා




සංගීත් නිපුන් පී.වී නන්දසිරි දියණිය මනෝමංජරිගෙන් පියගුණ සමරුවක් හා ගුරු උපහාරයක්

සංගීත් නිපුන් පී.වී නන්දසිරි දියණිය මනෝමංජරිගෙන් පියගුණ සමරුවක් හා ගුරු උපහාරයක්

ප්‍රවීණ සංගීත ශිල්පී සංගීත් නිපුන් පී.වී නන්දසිරි මහතාගේ ඡන්ම දිනය සිහිපත් කරමින් ඔහුගේ පී.වී නන්දසිරි කලා කේන්ද්‍රය සෑම වසරක ම පවත්වන ගුණ සමරු උලෙළ හා ප්‍රසංගය මෙවර පැවත්වෙන්නේ වෙනස්ම මුහුණුවරකිනි. ඒ හෙට දින(15 වැනිදා) සවස 6.30 ට ටවර් රඟහලේදීයි. මෙලෙස පැවැත්වෙන ගුණ සමරු උලෙළ හා ගුරු උපහාර ප්‍රසංගය පිළිබඳ අදහස් දක්වන්නට අප සමඟ එක්වූයේ ඔහුගේ දියණිය සංගීත් නිපුන්, ශාස්ත්‍රපති පී. වී. මනෝමංජරී ය. එහිදි ශ්‍රී ලාංකේය කලා කෙතේ සංගීතය අස්වද්දන්නට මහත් වෙහෙසක් ගත් සිය පියා වන පී. වී. නන්දසිරි පිළිබඳ මතකයද ඇය ‘සරසවිය’ට ගෙනහැර පෑවා ය.

* සෑම වසරක ම සිදුවන මේ ගුණ සමරු උලෙළ මෙවර වෙනස් අන්දමකින් පවත්වන්න සිතුවේ ඇයි?

තාත්තා ඉපදුණු සැප්තැම්බර් මාසයේ ඒ ඡන්ම දිනය සිහිපත් කරමින් එහි සිටි ශිෂ්‍ය - ශිෂ්‍යාවන් සමඟ සෑම වසරක ම අප ගුණ සමරු උලෙළක් හා ප්‍රසංගයක් පවත්වනවා. ඒ සඳහා මෙතෙක් සහභාගි වුණේ අපේ කලාකරුවන් වගේ ම ඉන්දියාවේ සිට ශාස්ත්‍රීය සංගීතය ඉගෙන ගෙන පැමිණි අය හා ශාස්ත්‍රීය සංගීතය කරන ශිෂ්‍ය - ශිෂ්‍යාවන්. මේ උලෙළට මෙවර සහභාගි වන්නේ ඉන්දියාවේ ශාස්ත්‍රීය සංගීතය ගැන නමක් තබාගෙන සිටින ශිල්පීන් දෙදෙනෙකුයි.

ඒ මා වයලින් වාදනය ඉගෙන ගත් ගුරුතුමිය මහාචාර්ය එන්.රාජන් හා ඇගේ මිනිබිරිය රාගිනි ශංකර් මෙන්ම ඔස්තාද් ඉල්මාස් හුසේන් ඛාන් යන දෙදෙනායි. ඔස්තාද් ඉල්මාස් හුසේන් ඛාන් කියන්නේ මගේ පියාගේ ගුරුවරයාගේ පුතායි. මගේ පියා ඉගෙන ගත්තේ ඔහුගේ පියාගෙන් හා සීයාගෙන්. පියා අෆාක් හුසේන් ඛාන් වන අතරම සීයා වජීඩ් හුසේන් ඛාන් ලෙසයි හඳුන්වන්නේ.

ඔවුන්ගේ පුතායි දැනට ඉන්දියාවේ ලක්නවෟ ගරානා ශෛලියේ තබ්ලා පරම්පරාවේ ප්‍රධානියකු විදියට කටයුතු කරන්නේ. මේ වනවිට අපේ රටේ ශිෂ්‍යයන් බොහෝ දෙනෙක් ඔහුගෙන් තබ්ලා හදාරමිනුයි සිටින්නේ. ඊට අමතරව අපේ රටේ වෙනත් රැකියාවල නිරතවෙමින් තබ්ලාව හා වයලීනය හදාරන ශිෂ්‍ය - ශිෂ්‍යයාවන් පිරිසක් ඉන්නවා.

ඔවුන්ට කිසිදිනෙක මෙවැනි ගුරුවරුන්ගෙන් ඒ තබ්ලාව හෝ වයලින් වාදනය පිළිබඳ අධ්‍යයනයක් ලැබීමට අවස්ථාව උදා වන්නේ නැහැ. ඔවුන්ට අවස්ථාවක් ලබාදීමේ අදහස මූලික කර ගනිමිනුයි අප මෙවර මේ උලෙළ වෙනස් ආකාරයෙන් පවත්වන්න සිතුවේ. ඒ වගේ ම මගේ හා පියාගේ ගුරුවරුන්ටත් උපහාරයක් පිදීමටත් එය අවස්ථාවක් කර ගත්තා.

* මීට ඊට ම අදාළ තවත් කාරණයක් පෙළ ගැසෙනවා නේද?

වර්තමානය වනවිට ශාස්ත්‍රීය හදාරන ළමයින්ට ප්‍රාසංගිකව ඔවුන්ගේ දක්ෂතා දක්වන්නට වේදිකාවක් ඇත්තේ නැහැ. ඒ නිසා ළමයන්ගේ සිතේ ඇති වී තිබෙන සිතුවිල්ලක් වන්නේ මෙවැනි විෂයයක් කිරීමෙන් තවදුරටත් පළක් නොවන බවයි. ඔවුන් එහෙම අදහසක් ඇති කර ගත යුතු නැහැ. ශාස්ත්‍රීය සංගීතයට ප්‍රිය කරන පිරිසක් අපේ රටේ ඉන්නවා. ශාස්ත්‍රීය සංගීතය හදාරන ඔවුන්ට අද ඕනෑ තරම් අවස්ථා තිබෙනවා. ඒ පණිවුඩයත් එක්ක ම, ඒ ඒ ළමයින් ධෛර්යවත් කිරීමටත්, ඔවුන්ට අතදීමක් වශයෙනුත් මේ ගුණ සමරුව සමඟ ගුරු උපහාරය හා ප්‍රසංගය පැවැත්වීමටත් අප සිතුවා.

* ඔබ මහාරාජා එම්.රාජන් හා ඇගේ මිනිබිරිය රාගිනි ශංකර් පිළිබඳ යම් හැඳීන්වීමක් කළේ නැහැ?

භාරතයේ ගායකී අංගයේ වාදනය කරන, ඒ ශෛලිය සොයාගත් ශිල්පිනිය ඇයයි. භාරතයේ සිටින හොඳම වයලින් වාදිකාවන් වන ඈ සහ ඇගේ මිනිබිරියන් දෙදෙනා වාදනය කරන්නේ ගායකී අංගය පමණයි. මේ වනවිට මේ අංගයෙන් තවත් වාදනය කරන ශිල්පීන් හා ශිල්පිනියන් ඉන්නවා. අනෙක් බොහෝ වයලින් වාදකයන් වාදනය කරන්නේ තන්ත්‍රාන්ග කියන වයලින් වාදනයයි. ඒ වාදනය ඇතුළු වෙනත් වයලින් වාදන ගොඩක් දැකලා තිබෙන නිසා මේ අංගයෙන් වයලින් වාදනයක් අපේ අයට රසවිඳීමට සැලැස්වීමටයි අපට වුවමනා වුණේ.

* එදිනට ගුණ සමරු උලෙළ හා උපහාර උලෙළ පැවැත්වෙන්නේ ප්‍රසංගයක් ආකාරයෙන්ද?

එදිනට ඒ උලෙළ ශාස්ත්‍රීය අංග තුනකින් සමන්විතයි. මෙය නම්කර තිබෙන්නේ ‘වයිබ්‍රේෂන් ඔෆ් ස්ට්‍රින්ග්ස් ’ යන නාමයෙන්. වයලීනය ප්‍රධාන කර ගනිමින් තත්වල තිබෙන දෝංකාරය යන්නයි එහි අර්ථය වන්නේ. මේ කටයුත්ත සඳහා අපේ රටේ ආරාධිත ශිල්පියකුටත් ආරාධනා කළා. ඒ භාරතයේ ජයපූර් ගරානාවේ ඉගෙන ගත්ත නිත්‍ය විශාරද දුමිත ගුණවර්ධනටයි. ඔහු වෘත්තියෙන් ඉංජිනේරුවෙක්. අපේ රටේ ඉන්න හොඳම කථක් නර්තන ශිල්පියකු ලෙස ඔහුව හඳුන්වන්නත් හැකියි. දුමිතට සහය වාදනයෙන් සහය වන්නේ මගේ අයියා උපුල මධුෂංකයි. ඒ තබ්ලා වාදනයෙන්. ඔහුත් වෘත්තියෙන් ගෘහ නිර්මාණ ශීල්පියෙක්. ඊට අමතරව ගායනයෙන් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු වන අසිත් අතපත්තු සහය වෙනවා. ශාස්ත්‍රපති මහේෂ් පද්ම කුමාර සිතාර් වාදනයෙනුත්, නැටුම් අංගයේ පද ගැයීම සඳහා කථිකාචාර්ය ඉමාෂා මදුරසිංහත් ඉදිරිපත් වෙනවා. ඔහුගේ නැටුම් අංගයෙනුයි මේ ප්‍රසංගය අවසන් වන්නේ.

* පී.වී නන්දසිරි ගුණ සමරු හා ගුරු උපහාර උලෙළට සමගාමීව සිදුවන විශේෂ කාර්ය කුමක්ද?

උලෙළට හා ප්‍රසංගයට සමගාමීව සිදුවන වැඩමුළුවයි ඒ විශේෂ කටයුත්ත වන්නේ. එය පැවැත්වෙන්නේ උලෙළ පැවැත්වුණු දිනයට පසු දිනයේයි. ඒ 16 වැනිදා ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදියි. මෙහි වැඩමුළුවට අපට බඳවා ගත හැක්කේ සීමිත ප්‍රමාණයකට පමණයි. එනම් ළමයින් සියයක් වැනි සංඛ්‍යාවක්. මේ දිනවල කෙරෙන්නේ ඒ සඳහා ළමයින් බඳවා ගැනීමේ කටයුතුයි. තබ්ලා හා වයලින් වාදනය කරන අයට මේ සඳහා සහභාගි විය හැකියි. සීමිත ඉඩක් තිබෙන නිසා සීමිත ප්‍රමාණයයි බඳවා ගැනෙන්නේ. ඒ සඳහා මෙතෙක් පැමිණිය නොහැකි වූ අයට එදිනටත් උදෙන් ම පැමිණ ඇතුළත් විය හැකියි. ඒ තවත් සීමිත කිහිප දෙනෙකුට ඇතුළත්විය හැකි නිසයි අප එලෙස පවසන්නේ. මේ කටයුත්ත ආරම්භ කෙරෙන්නේ උදේ නවයටයි. මේ පිළිබඳ වැඩි විස්තර ඔබට දැන ගැනීමට නම් 071-9699051 හෝ 071-9699052 යන දුරකථනවලට අමතා දැන ගත හැකියි.

* ඔබ ඇතුළු පවුලේ සැමට සංගීතයේ නියැළීමට සිය පියාගෙන් ලැබුණු අභාසය මොන වගේද?

පොඩි කාලයේ පටන් අපේ පවුලේ සියලුදෙනාටම ඇසීමට ලැබුණේ සංගීතයයි. උදේ පහට අවදි වන ඔහු කරන විවිධ හඬ පුහුණුවීම්, තබ්ලා අභ්‍යාස, ගායන අභ්‍යාස කරන අයුරු මා අසාගෙන සිටින්නේ මගේ කාමරයේ ඉඳගෙනමයි. ඔහුගේ පන්තිවලට අපත් සහභාගි වුණේ. මා වයලින් වාදනය ආරම්භ කරන්නේ අවුරුදු අටේදී. මේ වනවිට මා සංගීතය අංශයෙන් මගේ පශ්චාත් උපාධිය අවසන් වුණා විතරයි. අයියා තබ්ලා වාදනයේ නිරත වෙනවා. බාලම මල්ලි නම් මේ වනවිට මේ කටයුතුවලින් ඈත්වෙලා. මගේ පුතාලා දෙන්නත් සංගීතය ඉගෙන ගත්තා. ලොකු පුතා එංගලන්තයේ ඉගෙන ගත්තත් ඔහුට තබ්ලාව වාදනය කරන්න පුළුවන්. තබ්ලාව වයන්න ඉගෙන ගත්තේ තාත්තාගෙන්මයි. පොඩි පුතා නම් තවම පාසල් යනවා. මේ වනවිට අපේ කලා කේන්ද්‍රයේ බොහෝ ළමයි පිරිසක් අධ්‍යාපනය ලබන නිසා ඔවුන්ට අපේ දැනුම ලබාදීමයි සිදුවන්නේ. ඒ වගේ ම සංගීත විභාගත් පැවැත්වීමට අප අමතක කර නැහැ. තාත්තා මෙතෙක් කරගෙන පැමිණි කටයුත්ත මා දිගටම කරගෙන යනවා. මේ සමඟම තවත් කාරණයක් සඳහන් කළ යුතුයි. සංගීතය ඉගෙන ගැනීමට කැමැත්තක් දක්වන ළමයින්ට ඉගෙන ගැනීමේදී යම් අඩුපාඩුවක් (සංගීත භාණ්ඩයක් හෝ වෙනත් අවශ්‍ය යමක් ) තිබේ නම් ඔවුන් අපේ කලා කේන්ද්‍රයට දැන්වුවොත් එය ලබාදීමටත් අප සූදානම්.

* ඔබ තාත්තා මෙන් නිර්මාණකරණයේ නොයෙදුණේ කුමක් නිසාද?

පසුගිය කාලයේ විවිධ සංගීත නිර්මාණ කටයුතුවලට දායක වුණා. ඉදිරියේදී මගේ නිර්මාණ හා ප්‍රසංග කිහිපයක්ම ඔබට දැක ගැනීමට ලැබේවි. ඒ වගේම ප්‍රසංග කිහිපයකටත් මට ආරාධනා ලැබී තිබෙනවා. විදේශ රටවලට සංගීත දැනුම බෙදාදීමේ අදහස ඇතිව ඉතාලියේ මම හා එහි සිටින සංගීත ශිල්පියකු සමඟ අධ්‍යාපන කේන්ද්‍රයක් ආරම්භ කිරීමට සියලු කටයුතු සංවිධානය කරමිනුයි මේ දවස්වල ඉන්නේ. ඒ කටයුත්තටයි මේ දවස්වල මගේ සම්පූර්ණ අවධානය යොමු වී තිබෙන්නේ.

* ඔබගේ පියා අපේ රටේ බොහෝ සංගීතකරුවන්ට, ගායක - ගායිකාවන්ගේ සංගීත ජීවිතයට මඟපෙන්වූ ප්‍රවීණ ශිල්පියෙක්. ඔහු නිවෙසේ සිටි කාලයේ දිවි ගෙවූ අයුරු මතකද?

ඒ කාලයේ අපේ නිවෙසට කලාකරුවන් රැසක් පැමිණෙන බව මට මතකයි. ඔහු උදේ පාන්දරම අවදිව කරන අභ්‍යාසවලිනුයි අප අවදි වන්නේ. ඔහුගේ තබ්ලාව හා තාම්පුරාවයි ජීවිතය වුණේ. ඒ අතර වාරයේ ඔහුට ශක්තියක් වුණේ අම්මා. එහෙම නොවුණා නම් තාත්තාගේ සංගීත කටයුතු කරගෙන යන්න වෙන්නේ නැහැ. මොකද ඔහු නිදන්න ගියත් ගායනා කළේ ශාස්ත්‍රීය ගීතයක්. එහෙමත් නැත්නම් ඇඟිලිවලින් මොකක් හෝ තාලයක් දමමිනුයි නිදා ගැනීමට ගියත් සිටියේ. ඒ තරමටම තාත්තා සංගීතයට කැපවුණා. ඔහු කෙතරම් සංගීතයට ආදරය කළාද කිව්වොත් ඔහු ජීවත් වුණේ සංගීත නිර්මාණවලමයි. එහෙම පවසන විට මට යම් සිදුවීමක් මතකයට නැඟෙනවා. වරක් තාත්තාගේ තබ්ලා වාදන වැඩසටහනක් ගුවන්විදුලියේ පැවැත්වුණා. ඊට සහය වීමටයි මමත් ඔහුත් සමඟ ගියේ. වැඩසටහන අවසන් වී සංගීත භාණ්ඩ ටික වාහනයට දැම්මා විතරයි මෙන්න එකපාරට ම වාහනය ගියා. තාත්තාට මා සිටින බව අමතක වී ටික දුරක් යනවිටදියි ඔහුට මාව මතකයට නැඟිලා තිබුණේ. නැවතත් ඔහු මාව ගැනීමට ගුවන්විදුලියට ම ආවා. මෙවැනි දේ සිදුවන්නේ ඔහු බොහෝවිට නිර්මාණ කටයුත්තක් එක්ක සිතෙන් ගනුදෙනු කරන බැවින් බව අප දන්නවා.

* ඒ නිසා ඔබලාගේ කටයුතු ගැන කතාබහ කෙරුණේ අම්මා සමඟද?

අපේ නිවෙසේ බොහෝ වෙලාවට අප කරන යම් කාර්යයක් සඳහා හෝ යන ගමනක් සඳහා අවසර ගත යුතු වූයේ අම්මාගෙන්. ඒ සඳහා ප්‍රශ්න රැසක් ඇසුවාට පසුවයි ඈ අපට ඒ ගමන යන්න දෙන්නේ. ඒත් තාත්තා ඉන්නේ සංගීත කටයුතුවල නිසා ඒ දේවල්වලට තාත්තාගෙන් අවසර ගැනීම පහසු වුණා. ඒ නිසා අපි වැඩිපුරම යම් දෙයක් සඳහා අවසර ගැනීමට කැමැත්තක් දැක්වූයේ තාත්තාගෙන්. ඔහු සංගීත කටයුත්තක සිටින අතරතුර ඕනෑ ම දෙයක් විමසුවොත් හා කියනවා ඇරෙන්න බැහැ කියන්නේ නැහැ.