වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 07 වැනිදා බ්‍රහස්පතින්දා




මේ සාහිත්‍ය මාසයේ එළිදකින පොත්

මේ සාහිත්‍ය මාසයේ එළිදකින පොත්

කුමාර සිරිවර්ධනගෙන් පොත් පහක්

රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන්, ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානයෙන් හා බෞද්ධ සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ ලේඛක හා පරිවර්තක කුමාර සිරිවර්ධනගේ කෘති පහක් මෙවර සාහිත්‍ය මාසය වෙනුවෙන් නිකුත් වෙයි. එහි 'පුනර්භව ගවේෂණ' කෘතිය මේ මස 19 වැනිදා පෙරවරු 10.00ට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සිරිමාවෝ බණ්ඩාරනායක ශාලා පරිශ්‍රයේදී එළිදකියි.

ලොවපුරා මහත් ආන්දෝලයක් ඇති කළ ඩෑන් බ්‍රවුන් ගේ 'ද ඩ වින්චි කෝඩ්' ඔහු අතින් සිංහලට පර්වර්තනය වී ඇත්තේ 'ඩ වින්චි කේතය' යන නමිනි. චීනයේ සම්මානනීය ලේඛක ලාඕ ෂී ගේ 'ද රික්ෂෝ බෝයි' 'රික්ෂෝකාරයා' යන නමින් ඔහු අතින් සිංහලට පරිවර්තනය වී තිබේ. ඉන්දියාවේ ආචාර්ය සී රාම ස්වාමි පුනර්භවය සම්බන්ධයෙන් කළ නිබන්ධයක් ඔහු අතින් සිංහලට පර්වර්තනය වී ඇත්තේ 'පුනර්භව ගවේෂණ' යන නමිනි. හර්මන් මෙල්විලේගේ 'මොබිඩික්' එනමින්ම ඔහු සිංහලට පර්වර්තනය කර ඇති අතර ටී. ලොබ්සාංරම්පාගේ 'ලිවිං විත් ද ලාමා' - ලාමාවරයකු සමඟ ජීවිතව වයුවෙන් සිංහලට පර්වර්තනය කර ඇත.

ප්‍රීති රන්දෙණියගෙන් පොත් පහක්

සාහිත්‍ය මාසය වෙනුවෙන් ප්‍රීති රන්දෙණියගේ අතින් ලියැවුණු ළමා කෘති පහක් ඔබ හමුවට පිවිස ඇත. ළමයින් වෙන්වෙන්ම ලියැවුණු මේ කෘති වන්නේ 'ඉස්කෝලෙට නාට්‍යයක්', 'මගේ නම මාලා', 'පුංචි බටිත්තා', 'ගඟට උඩින් කොක්කු ගියා', 'රන් කුඹලා' යි.

‘අර්ධනාරි’

කේ.කේ. සමන් කුමාරගේ අලූත්ම නවකතාව ‘අර්ධ නාරි’ මේ මස 18වන දා සවස1.30ට බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍‍්‍රණ ශාලා පරිශ්‍රයේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේදී එළිදැක්වෙයි.

‘අර්ධ නාරි’නවකතාව පිළිබඳ නදීකා බංඩාර සහ ලංකා බණ්ඩාරනායක අදහස් දක්වන අතර සංක්‍රාන්තික ලිංගිකයන්ගේ අයිතීන් වෙනුවෙන් කටයුතු කරන භූමි හරේන්ද්‍රන් මේ අවස්ථාවට සහභාගිවීමට නියමිතය.

‘අර්ධ නාරි’අහස ප්‍රකාශනයකි.

මොනර බිත්තර

‘දියෝනිස් දෙවොල පාමුල සිට’ නවකතාව ලියූ නදීකා බංඩාරගේ අලූත්ම නවකතාව 'මොනර බිත්තර' අගහස් ප්‍රකාශනයක් ලෙසින් සැප්තැම්බර්19 වැනි දා සවස 3.00ට බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රරයේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේදී එළිදැක්වෙයි. හෂිත අබේවර්ධන, ලංකා බණ්ඩාරනායක සහ විදර්ශන කන්නංගර මෙහිදී අදහස් දක්වනු ඇත.

සඛී භාර්යා

ජ්‍යෙෂ්ඨ ගුවන්විදුලි මාධ්‍යවේදියකු, කෙටිකතා හා නවකතාකරුවකු වන චූලාභය ශාන්ත කුමාර හේරත් ලියූ අලුත්ම නවකතාව 'සඛී භාර්යා' සුරස ප්‍රකාශනයක් ලෙසින් එළිදැක්වෙයි.

මැදිවියෙහි ප්‍රේමය මෙන්ම යොවුන් ප්‍රේමය සහ දාරක ප්‍රේමය පදනම් කරගත් 'සඛී භාර්යා' කුතුහලයෙන් පිරි ගවේශනාත්මක සිදුවීම් සමුහයක් පාදක කරගත් ආකරයේ නවකතාවකි.

වැලිකතර

(තිර රචනා)

ලංකාවේ තිර රචනා කලාවෙහි ප්‍රමුඛයා ලෙසින් සැළකෙන ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ විශිෂ්ටතම තිර රචනය ලෙසින් සදාකාලිකවම දිදුලන 'වැලිකතර' තිර රචනය සුරස ප්‍රකාශනයක් ලෙසින් දැන් නිකුත් වී තිබේ.

නීතියත් - පාතාලයත් - ආදරයත් අතර ගැටුම් කාරී ලෙසින් දෝලනය වන සිත් බඳනා කතා පුවතක් පාදක කරගත් 'වැලිකතර' තිර රචනය සිනමා රූප බස මෙන්ම පුළුල් ජීවිත පරිඥාණයත් පිළිබඳ හැඩතල විශිෂ්ට ලෙසින් මතුකොට දක්වන අපූර්වතම නිර්මාණයකි. සිනමාව හා තිර රචනය පිළිබඳව උනන්දුවක් දක්වන අයටත්, පොදුවේ පාඨක සැමටත් වැදගත් වන සුවිශේෂී ග්‍රන්ථයකි.

යස්ස ළමිස්සි

ජනප්‍රිය ඉන්දියානු ලේඛක චේතන් භගත්ගේ One indian girl කෘතියේ නවතම පරිවර්තනය යස්ස ළමිස්සිය. පෙම්වතුන්ගේ ආදරය විවාහය හා බැන සිදුවීම් සියුම් ලෙස උපහාසයට ලක්කරන 'යස්ස ළමිස්සි' එක හුස්මට කියවිය හැකි රසබර නවකතාවේ පරිවර්තනය දිලීප ජයකොඩිගේ සරල බස් වහරින් වඩාත් ඔපවත්වී ඇත.

ප්‍රේම සැඳෑවෝ 4

මෑත භාගයේ ලොව පුරා ඉමහත් ආන්දෝලනයට ලක් වෙමින් අලෙවි වාර්තා තැබූ .Fiflty shades of grey  කෘතියේ පරිවර්තන මාලාවේ සිව්වැනි කොටස දැන් නිකුත් වී තිබේ. කෝටිපති ව්‍යාපාරිකයකු හා විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ අනුරාගී ආදර අන්දරයේ ශෘංගාරාත්මක හා භාවාත්මක අත්දැකීම්වල නිර්ව්‍යාජ හෙළිදරව්වක් වන මේ කෘතිය වැඩිහිටි පාඨකයන් සඳහා සුවිශේෂී කෘතියකි. 'ප්‍රේම සැඳෑවෝ' කෘතිය සුරස පොතකි.

කඳුළු කැකුලු

ලංකාදීප පුවත්පතේ කර්තෘවරයකු වන ශාන්ත කුමාර විතානගේ නවතම කාව්‍ය සංග්‍රහය 'කඳුළු කැකුලු' පසුගියදා එළිදැක්විණි. සදැල්ල කලා අතිරේකයේ පළ වූ 'අහස් වියන' කවි සිතුවිල්ලේ එකතුවක් ලෙස පළවන කඳුළු කැකැලු රත්සර පොත් ප්‍රකාශනයකි.

'සතිය භාවනාව සහ 'නිවන් මග'

'නිර්වාණ දේශනා' 'අමරණීය ධර්මය'. 'භාවනා අත්දැකීම්' යන විශ්ව බෞද්ධ කෘති රැසක් සිංහලට පරිවර්තනය කළ තිලක කුඩාහෙට්ටිගේ නවතම පර්වර්තන කෘතිය 'සතිය භාවනාව සහ 'නිවන් මග' පසුගියදා එළිදැක්විණි.

'ප්‍රායෝගික බුදු දහම'

ශාස්ත්‍රපති පණ්ඩිත දොඩම්පහළ ශ්‍රී රාහුල හිමියන්‍ සමඟ මාධ්‍යවේදී තාරක වික්‍රමසේකර කළ පුවත්පත් සාකච්ඡා ඇසුරෙන් සම්පාදිත 'ප්‍රායෝගික බුදු දහම' කාලීන බොද්ධ ග්‍රන්ථය පසුගියදා එළිදැක්විණි.

විල අයිති කාටද

'අඹ උයන', 'වඳුරු හාමිගේ නැති වුණ වැහි කබාය' 'මුතු බෙල්ලා' කෘති ලියූ රංගනා මධුභාෂිණිගේ 'විල අයිති කාටද' සිව්වැනි පොතයි. මේ කෘති ලිවීමෙන් ඈ බලාපොරොත්තු වන්නේ ළමයින්ට පොත් කියැවීමට හුරු කිරීමයි.