වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 07 වැනිදා බ්‍රහස්පතින්දා




ඒ පේ‍්‍රමය ඇයට කිව නොහැකි වූයේ මන්දැයි මට සිතා ගන්නට බැහැ

ඒ පේ‍්‍රමය ඇයට කිව නොහැකි වූයේ මන්දැයි මට සිතා ගන්නට බැහැ

ඩග්ලස් රණසිංහ මෙතෙක් නොකියූ කතාවක්

“යුද්දෙට මං ගියා

ගෑනි ගෙදර තියා

මගෙ යාළුවො මං එනතුරු

උන්දැ බලාගයි නිරතුරු”

හෙන්රි ජයසේනයන්ගේ හුණුවටයේ වේදිකා නාට්‍යයේ සැර පරුෂ සොල්දාදුවාගේ ස්වරය අපට තවම මතකය. ඒ ස්වරය සොයාගෙන වේදිකාවේ පිටුපසට පිවිසියේ අපේ මහා සිනමාකරුවා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ය.

“අර රළු පරළු සොල්දාදුවාගේ චරිතය කළ නළුවා කවුද?”

ඔහු විමසුවේ ය. එසැණින් මතු වූයේ ඒ රළු පරළු සොල්දාදුවායි.

“මෙයා නෙවෙයි ඒ රඟපෑවේ.”

ඔහු දුටු සැණින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් පැවැසුවේ උස් හඬිනි.

“නෑ. ඒ මම ම තමයි. මේකප් ඔක්කොම අයින් කළාට පස්සේ තමයි ඒ සොල්දාදුවා ඔබතුමා ඉදිරියේ මේ විදියට ඉන්නේ.”

ඔහුගේ කතාවෙන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ මුවඟට නැගුණේ මඳ සිනහවකි. මහා සිනමාකරුවා එලෙස සිනහ පහළ කළේ අන් කවුරුත් නිසා නොවේ. අද වන විට ප්‍රවීණ රංගධරයකු ලෙස රසිකයන්ගේ ආදරයට පාත්‍ර වී සිටින ඩග්ලස් රණසිංහ නිසාම ය.

“එවැනි ප්‍රවීණ අධ්‍යක්ෂවරයකු වුණු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා මාව තෝරා ගත්තේ ඔහුගේ ‘අක්කර පහ’ චිත්‍රපටයේ සමරේගේ චරිතයටයි. ඔහුට කෘතඥව සැලකීමක් වශයෙන් මේ අවස්ථාවේ මා සම්බන්ධයෙන් ඔහු කියන ලද කියමන් කිහිපයක් සිහිපත් කළ යුතුයි. ඒ “මගේ වීරයා ඩග්ලස්ගෙන් බේරා ගැනීමට මට බොහොම අපහසු වුණා” යන වදනයි. මා සම්බන්ධයෙන් ඔහු පැවසූ අනෙක් වදන නම් ‘වේදිකාවෙන් සිනමාවට ලයිට් එකක ස්විච් එකක් ඔන් ඕෆ් කරන්නා තරම් වේගයෙන් මාධ්‍යයකින් මාධ්‍යයකට මාරුවිය හැකි නළුවා වන්නේ මා බවයි’. ඔහු සිය සිතට නැඟුණු ඒ වදන් අවංකව ම කියා පෑවා. එලෙස පැවසීමට නම් අධ්‍යක්ෂවරයකුට ලොකු හයියක් තිබිය යුතුයි. සිනමාවේ ශ්‍රේෂ්ඨයා ම එවැනි අදහස් ඉදිරිපත් කිරීම පිළිබඳ මගේ සිතේ තිබෙන්නේ සතුටක්.”

මෙලෙස මහා වෘක්ෂවල ආලෝකය ලබමින් සිය රංගන ජීවිතය ඔපවත් කරගත් මේ ප්‍රවීණ රංගධරයාගේ රංගනය මේ දිනවල ද රිදී තිරයේ දකින්නට ලැබෙයි. ඒ ‘ධර්ම යුද්ධය’ චිත්‍රපටයේ රූප රාමුවල ය.

“ධර්ම යුද්ධය චිත්‍රපටයේ කළ රඟපෑමට රසිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර සතුටු දායක ද?”

“‘ධර්ම යුද්ධය’ චිත්‍රපටය සිනමා ප්‍රේක්ෂකයන් අතර බොහොම ජනප්‍රිය වේවි යැයි අප සිතුවේ චිත්‍රපටය රූගත කිරීම් කරන කාලයේදීමයි. එවැනි පූර්ව නිගමනයකට අපට පැමිණිය හැකි වූයේ ඉන්දියාව වගේ බොහොම ජනප්‍රිය රටක භාෂා හයකින් පමණ එකම චිත්‍රපටය නිපදවීමට තරම් කතාවේ තේමාව බලගතු වීම බවයි මා සිතන්නේ. අපේ රටෙත් මේ දිනවල ඒ චිත්‍රපටය ඇසුරෙන් නිපදවුණු ‘ධර්ම යුද්ධය’ බොහොම සාර්ථකව ප්‍රදර්ශනය වන බවයි අපට පෙනෙන්නේ.”

‘ධර්ම යුද්ධය’ චිත්‍රපටය නිර්මාණය වන්නේ දමිළ චිත්‍රපටය වූ ‘පාපනාසම්’ චිත්‍රපටය ඇසුරු කර ගනිමිනි. එහි අධ්‍යක්ෂවරයා චෙයියාර් රවීයි.

“අනෙක් රංගන ශිල්පීන්ට වගේ ඔබටත් ඔවුන් ‘පාපනාසම්’ නම් දමිළ චිත්‍රපටය නැරැඹිය යුතු යැයි යෝජනා කළාද?”

“ඔවුන් මට ඒ දමිළ චිත්‍රපටය නරඹන්න යැයි සී.ඩී. පටයක් ලබා දුන්නා. ඒත් මා ඒ චිත්‍රපටය ‘ධර්ම යුද්ධය’ අවසාන වී නරඹන්නම් යැයි පැත්තකින් තැබුවා. කිහිපවරක්ම එය නැරැඹුවා දැයි ඔවුන් මගෙන් විමසුවා. ඒත් මා පැවසුවේ නරඹන්නම් යනුවෙන්. ඊට පස්සේ ඒ චිත්‍රපටය නැරැඹීමට සිටියත් යෙදුණු වැඩ කටයුතු නිසා චිත්‍රපටය නැරැඹීමට තවමත් කාල වේලාව වෙන්කර ගැනීමට නොහැකි වුණා. ඉදිරියේ දිනෙක ඒ චිත්‍රපටය අනිවාර්යයෙන් ම නැරැඹීමටයි මා සිතාගෙන සිටින්නේ.”

ඉන්පසුව ඩග්ලස් රණසිංහ තමා රඟපෑ ‘ධර්ම යුද්ධය’ චිත්‍රපටයේ මංගල දර්ශනය නැරැඹුවේ ය. එය කා අතරත් ජනප්‍රිය සිනමා කෘතියක් වනවා කියන සිතුවිල්ල ඔහුගේ සිතේ යළිත් වරක් නැඟිණි.

“ ‘ධර්ම යුද්ධය’ට මූලික වන්නේ අප බලාපොරොත්තු වන විදියේ කතා තේමාවක් නොවෙයි”

“ඒ සඳහා පාදක වන්නේ බොහොම විරල ගණයේ තේමාවක්. යම්කිසි අපරාධයක් වුණාට පස්සේ ඒ පැත්ත ගන්න සිනමා රසිකයන්ගේ ප්‍රමාණය අඩුයි. එහෙත් මේ චිත්‍රපටයේ දී එය නරඹන සියල්ලන් ම සිදුවීම සාධාරණීකරණය කිරීමට පෙලඹෙනවා. එයයි මිනිස්කම වන්නේ. මිනිස්සු අපරාධ පැත්තට බර ක්‍රියාවන්ට කැමැති නැහැ. ඒ අයට ඇතුළාන්තයෙන් ම දඬුවම් ලැබිය යුතුයි ජනිත වන සිතුවිලියි හැමෝගේම සිතේ ඇති වන්නේ. ඒ වගේ ම මේ චිත්‍රපටය අවසන් විය යුත්තේ ඔය තිබෙන ආකාරයෙන් නොවෙන බවත් මා මෙහිදි සිහිපත් කළ යුතුයි. එය අවසන් විය යුත්තේ හරිස්චන්ද්‍රව අවසන් වරට මව්පියන් මුණ ගැසී වෙන්ව යන දර්ශනයෙන් බවයි මගේ හැඟීම වන්නේ.”

චිත්‍රපටය නරඹන සිනමා ප්‍රේක්ෂකයන්ගේ සිත නිසි වැරැදිකරුට දඩුවම් ලබා දුන්නද මිය යන්නේ තරුණ ජීවිතයකි. කොහේ හෝ සිටින මව්පියන් දෙදෙනෙකුගේ ජීවිතය හා සමාන දරුවෙකි.

“යෞවනයෙන් මත් වී යහපත අයහපත නොතකන දරුවකුගේ ජීවිතය අකාලයේ සමුගත්තද, මව්පියන් ඒ පිළිබඳ දැන ගැනීමට මෙහි කතා නායකයා අසලට යන අයුරු කාගේ වුවද හද කම්පිත නොවේ ද?”

“මේ සිදුවීමත් සමඟ විදේශ ගතවීමට තීරණය කිරීමත් සමඟයි අන්තිම අවස්ථාවේදී මේ මව්පියන් දෙදෙනා හරිස්චන්ද්‍ර හමුවන්නට යන්නේ. ඒ ඇමැතිවරියගේ චරිතයෙන් නොවෙයි. එහෙත් ඔවුන්ට විදේශ ගතවීමට නොසිතෙන්නේ සිය පුතුට කුමක්ද වූයේ, ඔහු ජීවතුන් අතර සිටිනවා ද, ඉන්නවා නම් කොහෙද යන කාරණාවලට පිළිතුරු නොලැබුණු නිසයි. මුලින් ම හරිස්චන්ද්‍ර ඒ පිළිබඳ නොපැවසුවත් පසුව ඒ තීන්දුව බොහොම සූක්ෂම විදියටයි පවසන්නේ. ඒ අපට සිතා ගැනීමට ඉඩ හැරීමෙන්. එහෙත් ඒ පුද්ගලයා පාපොච්චාරණයක් කිරීමෙන් හැර කිසිම සාක්ෂියක් සොයා ගැනීමට නොහැකි වන බව මේ මව්පියන් දන්නවා. මෙහි විශේෂයෙන් පියාගේ චරිතය හුඟක් දුරට යුක්තිය, සාධාරණය ගැන සිතන පියකුගේ චරිතයක් විදියටයි නිරූපණය වන්නේ. සිය පුතුගේ ක්‍රියා කලාපය නිසා සිදුවුණු විපතට කළ හැකි දෙයක් නොමැතිය කියන අදහසේයි ඔහු සිටින්නේ. මොනවා වුණත් ඔහු දරුවෙක්. මේ චිත්‍රපටය ජනප්‍රිය ගණයේ චිත්‍රපටයක් වුණත් චිත්‍රපටය නරඹලා දින ගණනකට පස්සේ වුණත් තවත් කෙනෙකු සමඟ කතා කිරීමට යමක් ඉතුරුවන චිත්‍රපටයක් ලෙසයි මා ‘ධර්ම යුද්ධය’ දකින්නේ. එය යමක් සිතන්න ඉතිරි කරන චිත්‍රපටයක්. ඒ කියූ කාරණය බොහොම වැදගත්. මොකද චිත්‍රපටයක් නරඹලා, එහෙම සිතන්න ඉතුරු වීම, සෑම චිත්‍රපටයක් ම නැරැඹීමෙන් සිදු වන්නේ නැහැ. ඒක නිසා මේ චිත්‍රපටය එක්තරා ගණයකට, වංශයකට අයත් චිත්‍රපටයක් ලෙසයි මා දකින්නේ.”

පියාගේ චරිතයට ඕනෑ තරම් රංගන ශිල්පීන් ගත හැකි වූ කාලයක ඒ සඳහා ආරාධනා ලැබෙන්නේ ප්‍රවීණ රංගන ශිල්පී ඩග්ලස් රණසිංහටම ය.

“මේ චිත්‍රපටයට ඔබට ලැබුණු ආරාධනාව ඔබ එක්වරම පිළිගත්තාද?”

“හොඳ චිත්‍රපටයක් රඟපාන්න ලැබෙනවා නම් හොඳයි කියන මතයේ මා සිටියා. මා එහි ඉතිහාසය ගැන දැනගෙන සිටියා. ඒ විදියට භාෂා හයකින් රඟ දැක්වීමටත්, ඒ සඳහා වෙන වෙන ම නළු නිළියන් යොදා ගැනීමත් මඟින් නිර්මාණයක් කෙරෙන්නේ නිර්මාණ ශක්තියක් තිබෙන චිත්‍රපටයක පමණක් බවත් මට සිතුණා. ඒ නිසා තාත්තාගේ චරිතයට ආරාධනා කළාට පස්සේ ඒ චරිතය මා භාර ගත්තා.”

ඔහු ධර්ම යුද්ධයේ තාත්තා බවට පත්වන්නේ එලෙස ය. ඩග්ලස් රණසිංහගේ බිරිය ලෙස රඟපාන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනියක වන කුසුම් රේණු ය.

“ඔබ දෙදෙනා මේ සැමියා හා බිරිය ලෙස රඟපාන පළමු වතාව නොවෙයි නේ ද?”

“මීට පෙර නිර්මාණ කිහිපයක දීම අප දෙදෙනාට ඒ අවස්ථාව ලැබුණා. ඉන් මගේ මතකයට නැඟෙන්නේ ‘දිය යට ගිනි’ කියන ටෙලි නාට්‍යයයි. එහි මා රඟ පෑ රහස් පරීක්ෂකවරයාගේ බිරිය ලෙස රඟ පෑවේ කුසුම් රේණුයි. ඊට පසුවත් ඈත් සමඟ මා රඟපාලා තිබෙනවා. මම හිතන්නේ මේ මා හා ඈ රඟපාන්නේ තෙවැනි වතාව බවයි. ඈ ‘ධර්ම යුද්ධය’ චිත්‍රපටයේ බොහොම හොඳ රංගනයක නියැළෙනවා. ඒ වගේමයි ජැක්සන් ඇන්තනීත් විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කරනවා. මේ චිත්‍රපටයේ නළු නිළියන්ගේ රඟපෑම සමස්තයක් වශයෙන් ගත්තොත් හොඳ මට්ටමක තිබෙනවා.”

කුමන ආකාරයෙන් සිදුවන මිනීමැරීමක් වුවද අප කිසිවකුටත් සාධරණීකරණය කළ නොහැකිය. එහෙත් ‘ධර්ම යුද්ධය’ චිත්‍රපටය නරඹන සිනමා ප්‍රේක්ෂකයා එය සාධරණීකරණය කරන්නේ නොසිතූවිරූ ලෙස ය.

“ඔබත් මේ මිනීමැරීම සාධරණීකරණය කිරීමට පෙලඹෙනවා ද?”

“මේ මරණය නිකම්ම නිකම් මරණයක් නොවෙයි. ඒ මරණය සිදුවීම සිදුවුණු කොටස ගත්තොත් එය මිනීමැරීමක්. එහෙත් මිනීමැරීමක් නොයෙක් ආකාරයට සිදුවිය හැකියි. ඒ ආත්ම ආරක්ෂාවට. එහෙමත් නැත්නම් තවත් කෙනෙකුගේ ජීවිතය බේරන්ට යෑමේදී. මෙතනදි සිදුවන්නේ එයයි. ඒ තරුණයා දුවට හා අම්මාට කරන යෝජනාව කොතරම් අවිනීත අයුරින් ද සිදුවන්නේ. ‘උඹ නැත්නම් අම්මා’. එහෙම කිව්වාට පස්සේ දුවකගේ සිතේ මොනවගේ හැඟීම් සමුදායක් ද ඇතිවිය හැක්කේ. එවැනි අවස්ථාවකට මනුස්සයකු මුහුණ දුන්නොත් මොනවගේ දෙයක් සිදුවේවි ද? විශේෂයෙන් ම හැඩිදැඩි තරුණයකු සමඟ ගැහැනු දෙදෙනෙකු චිත්‍රපටයේ වැනි අවස්ථාවකට මුහුණ දුන්නොත් එවැනි දෙයක් ඇති වනවා කියන කාරණය පුදුමයක් නොවෙයි.”

වර්තමානයේ නවීන තාක්ෂණය සමඟ මුසු වී පරිගණක ලෙස නිර්මාණය වන තරුණ පරපුරකට ජීවිතය යන්න සාමාන්‍ය කාරණයකි. අනෙක් අයගේ ජීවිතය දෙස ද ඔවුන් බලන්නේ යන්ත්‍ර මෙනි.

“එවැනි පරපුරක ඛේදවාචකයද මේ චිත්‍රපටය ඔස්සේ පැවසෙන්නේ?”

“විනය කියන කාරණය පැත්තකින් තබා මේ කියන කාරණය දෙස බැලුවොත්, අනෙකා කෙරෙහි දැක්විය යුතු කරුණාව, දයාව තමන්ගේ අභිමතාර්ථ මුදුන් පමුණුවා ගැනීමට ඉතාමත් දරුණු ලෙස බැහැර කිරීමයි සිදුවන්නේ. එලෙස කුමන ආකාරයෙන් හෝ තමන්ගේ අදහස් පමණක් මුදුන්පත් කර ගැනීමේ සිතුවිලි තරුණ-තරුණියන් අතරට පැමිණ තිබීම බොහොම භයානක තත්ත්වයක්. එක්කෝ ඔවුන් එහෙම ගෙනෙන යෝජනා එච්චර දෙයක් නොවෙයි යනුවෙන් සිතන්න ගන්නවා. එහෙමත් නැත්නම් දෙදෙනෙක් අතර කොහොම දෙයක් වුණත් කමක් නැහැ කියලා සිතන්න පුරුදු වෙලා. ඒ විදියට මෙවැනි සිදුවීම් ගැන බොහොම සරලව සිතන්න පුරුදු වන විලාසයක් අද පරපුර අතර නිර්මාණය වෙමින් යනවා. එලෙස සිතන්නට ගොඩක් දුරට බලපා ඇත්තේ අද ලෝකයේ භාවිත වන නව තාක්ෂණය බවයි පෙනෙන්නේ. දැන් බලන්න කෙටි පණිවිඩයකයි, අතින් ලියන ලියුමකයි මොනතරම් වෙනසක් තිබෙනවා ද කියලා. ඒ අනුව කිසිම හිත්පිත් නැති, හැඟීමක් නැති එකක් ද මේ කෙටි පණිවුඩය කියන්නේ කියලා ඔබට දැනේවි. අතින් ලියන ලියුම තමන්ගේ අත් අකුරෙන්, හැඟීමෙන් සිතලා රසවත් කර ලියන ලියැවිල්ලක්. එවැනි තැනකදි සිතේ වුණත් ඇති වන්නේ වෙනස් ම හැඟීමක්. දුරකථනයෙන් ලියවන කෙටි පණිවුඩයේ තිබෙන්නේ සරල වුණු, හැඟීම්වලින් තොර, වේලිච්ච ගති සිරිත් ඇති හැඟීම් සමුදායක්. එවැනි හැඟීම්වලින් යුක්තවයි අද පරපුරේ බොහෝ අය පසුවන්නේ.”

ලියුම් පිළිබඳ පවසන විට ඩග්ලස් රණසිංහගේ මතකයට නැගෙන්නේ සුන්දරව ගෙවුණු ඔහුගේ පාසල් දිවියයි. ඔහුත් එකක් හෝ දෙකක් ලිපි ලියා ඇති ඒ සමය කොතරම් සුන්දර ද?

“ඒ දවස්වල ඔබත් යුවතියන්ට ලිපි ලිව්වා?”

“එකක් දෙකක් පමණ ලියලා තිබෙනවා. ඒත් ඒ පිළිතුරු ලිපියි. පාසල් යන කාලයේ එහෙම ලිපි ගොඩක් නොලියා ඉන්න යම් හේතුවක් තිබුණා. ඒ පාසල් කාලයේ මගේ සිතේ දලු ලා ලියැලුණු ආදරයයි. ඒ ආදරය කොතරම් මගේ සිතේ දලු ලා වැඩුණත් ඈට කියා ගන්න තරම් ශක්තියක් මට තිබුණේ නැහැ. අපි කුඩා කාලයේ පටන් හැඳීනුවත්, පාසල් වියේ එකටම බස් රථයේ ගියත් ඒ සිතේ ඇතිවුණු හැඟීම කියන්නට මැළි වූයේ මන්දැයි මා තවම කල්පනා කරනවා. එකල විවාද කණ්ඩායමේ නායකයා ලෙස ක්‍රියා කළත්, ක්‍රීඩාවල නියැළී සිටි දක්ෂ ශිෂ්‍යයකු ලෙස සිටියත්, ඒ හැඟීම ඈට කිව නොහැකි වූයේ මන්දැයි මට සිතා ගන්නට බැහැ. පාසල් කාලය අවසන් වුණාට පස්සේ ඇයව සොයා ගැනීමටවත් නොහැකි වෙනවා. ඒ අතර මා කොළඹට පැමිණෙන්නේ තවදුරටත් ඉගෙන ගැනීමේ අදහසින්. එහෙත් ඉගෙන ගැනීම පැත්තකට දමලා මා රඟපෑමට යොමු වෙනවා.”

ඉන්පසුව ඩග්ලස් රණසිංහ තරුණයාගේ කාලය ගෙවී යන්නේ ගෙන්දගම් පොළොවේ එහා මෙහා සැරිසරමිනි. ඒ කළ සැරිසැරීමේදී ඔහුගේ යටි සිතේ තැන්පත් වී තිබුණු කලා හැඟීම් අවදි වන්නේ ඉබේම ය. ඔහු ප්‍රවීණ නාට්‍යවේදී හෙන්රි ජයසේනගේ ‘හුණුවටය’, ‘අපට පුතේ මඟක් නැතේ’ ඇතුළු වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන් සම්බන්ධ වී රටවටාම ගමනක යෙදෙන්නේ ඉන් අනතුරුව ය. ඩග්ලස්ව මුළු රටම හඳුනන්නේ සිනමාව නිසා බව සිතුණ ද ඔහුව ප්‍රේක්ෂකයා පළමුව හඳුනා ගන්නේ වේදිකාව හරහා කරන රංගනයෙනි.

“වේදිකාව, සිනමාව, පුංචි තිරය යන මාධ්‍ය ත්‍රිත්වය ම හරහා පෙළහැරපාන ඔබ මේ වනවිට පියාගේ භූමිකාවට පමණක් සීමා වෙලා නේද?”

“පියාගේ භූමිකාවට පමණක් සීමා වීමට ලැබීම බොහොම කනගාටුදායක තත්ත්වයක්. මේ කාරණය පිළිබඳ මෙලෙස මා පවසන්නේ මා පිළිබඳ පමණක් සිතලා ම නොවෙයි. පරිණත භාවයට එන විට නළුවෝ නිළියෝ වීසි වෙනවා. මේ කාරණයත් මා පැවසිය යුතුමයි. අමිතා භච්චන් වගේ නළුවෙකු ගත්තොත් ඔහු අදයි නළුවා වී තිබෙන්නේ. ඒ කියන්නේ ඔහු පරිපූර්ණ නළුවකු බවට පත්වන්නේ වයස හතළිස් පහ, පනහ පමණ වයසේදියි. ඒත් ඉස්සර මා අකැමැති ම නළුවා ඔහුයි. එහෙත් දැන් මා කැමැතිම නළුවා අමිතා භච්චනුයි. මේ වියේදී ඔහුට සාර්ථකත්වයට පත්විය හැකි වුවත්, අපේ නළු නිළියන්ට එසේ නොවීමටයි හැකිවී තිබෙන්නේ. එසේ සිදුවී තිබෙන්නේ ඒ අපට නිර්මාණාත්මක පිටපත් නොමැති වීමයි. එක තැනක කැරැකෙන පිටපත් රැසකුයි අපේ නිර්මාණකරුවන් අතරින් නිර්මාණය වන්නේ. තාරුණ්‍ය වටා කතා නිර්මාණය වන එක හොඳයි. ඊට අමුණා ගත හැකි වෙනත් නිර්මාණයි ඉදිරිපත් විය යුත්තේ. දැන් ‘ගෝර්ඩ් ෆාදර්’ චිත්‍රපටය ගන්න. අපට මාලන් බ්‍රැන්ඩෝගේ චරිතය හොඳීන් මතක තිබෙනවා. එහි ඔහු රඟපාන්නේ දිගු චරිතයක් නොවෙයි. ඒත් ඔහුගේ චරිතය අපේ සිතෙන් මැකෙන්නේ නැහැ. ඒ චරිතය වගේ ම එහි කතාවයි අපගේ සිතේ රැදෙන්නේ. මයිකල් කේන් වැනි නළුවන් මා මුලින් ම දකින්නේ මීට වසර ගණනකට පෙරයි. ඔවුන් අද වයසට ගිහින්. ඒත් තවමත් ඔවුන් බොහොම හොඳට රංගනයේ නියැළෙනවා. ඒත් අපේ රටේ වගේ නම් ඔවුන් අද කොහේද කියලා නැහැ. මෙහෙම වෙන්නේ අපේ නිර්මාණකරුවන් ළඟ නිර්මාණාත්මක කතා නොමැතිවීම නිසයි. එතැනින් දුරක් ගිය මේ දවස්වල රූ ගත කෙරෙන ‘තව දුරයි ජීවිතේ’ ටෙලි නාට්‍යයේ පිටපත දැනට නම් හොඳ පිටපතක්. ඒත් බොහෝ පිටපත් කාලයක් ගියාට පස්සේ කඩාගෙන වැටෙන බවයි පෙනෙන්නේ. මේ පිටපතට එහෙම නොවේවා කියා මා ප්‍රාර්ථනා කරනවා.”

සිය පියාගේ අදහස අනුව නීතිඥවරයකු වීමට ඉගෙන ගැනීමට ගිය ඩග්ලස් ඒ අදහස අතහැර දමා රංගන ශිල්පියකු වන්නේ සිය සිතැඟි පරිදි ය. ඒ අනුව ඔහු ‘විරාගය’, ‘යුගාන්තය’, ‘යුවතිපති’, ‘රෝමියෝ ජුලියට්’, ‘සිව්රඟසේනා’, ‘භාවනා’, ‘කුලගෙය’, ‘අමාන්තය’ ආදී චිත්‍රපට රැසක රඟපෑවේ ය.

“අද වනවිට ඔබ ඒ පැමිණි ගමන ගැන සිතේ තිබෙන්නේ යම් තෘප්තියක්ද?”

“මෙතෙක් පැමිණි ගමන ගැන මා දුකට පත්වෙන්නේ නැහැ. ඒත් ඒ පැමිණි ගමන දෙස ආපසු හැරිලා බලද්දි මගෙන් කෙරිලා තිබෙන්නේ මොනවාද කියන හැඟීම දැනෙනවා. මුල් කාලයේ නිර්මාණවලට දායක වුණත් පසුව යමක් කළ හැකි චරිතයක් මට ලැබුණේ නැහැ. ඒකට හේතුවක් වුණේ කලක් මා රංගනය පිළිබඳ හදාරන්නට ලන්ඩනයට ගිහින් සිටි නිසයි. එහි ගෙවූ වසර නවයක කාලය මට බොහෝ නිර්මාණ මඟ හැරුණා. අනෙක් කාරණය නම් මා එකල රඟපෑවේ තෝරා බේරාගත් නිර්මාණ පමණයි. ඒ නිසා මා රඟෑ චිත්‍රපට ගණන සීමා සහිත වුණා.”

මේ මාධ්‍ය ත්‍රිත්වයෙන් ම ඔහු අද ද බෙහෙවින් ආදරය කරන්නේ වේදිකාවට ය. ඊට අමතරව ඔහු ගුවන්විදුලියේ නිවේදකයකු ලෙසත්, හඬකැවීම් ශිල්පියකු ලෙසත් කටයුතු කළ කාලයක් තිබිණි. ඒ සියලු දේ අභිභවා අවසානයේ ඔහු රංගන ශිල්පියකු බවට පත්විය. ඔහුගේ මේ සියලු කටයුතුවලට සහය වන්නේ බිරිය කුමාරි ය. පුතු ශ්‍රී බෝධිද සිය පියාගේ රංගනය අගයයි. ඔවුන් දෙදෙනාගේ ආදරය මැද ගෙවන ඩග්ලස් රණසිංහගේ ජීවිතය බෙහෙවින් සුන්දර ය. කලා ලොවේ කවුරුත් ‘ඩගී’ යන ආදරණීය නාමයෙන් හඳුන්වන ඒ සොඳුරු මිනිසාගේ ජීවිතය සැබවින් ම සුන්දර ය.