වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 07 වැනිදා බ්‍රහස්පතින්දා




ගායක - ගායිකාවන්ට විශ්‍රාම වැටුප් පිරිනැමේ

ගායක - ගායිකාවන්ට විශ්‍රාම වැටුප් පිරිනැමේ

දීර්ඝ ඉතිහාසයක් ඇති දේශීය සංගීත ක්ෂේත්‍රය තුළ හෙළ ගායක - ගායිකාවන් වෙනුවෙන්, මෙතෙක් බිහිවූ කිසිදු කලා සංගමයකට ඉටු කිරීමට නොහැකි වූ, ජිවිතාන්තය දක්වා හිමිකම් කීමට හැකි ස්ථීරසාර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් ශ්‍රී ලාංකීය ගායක - ගායිකා සංගමය මඟින් හඳුන්වා දී තිබේ, එය ක්‍රියාවට නංවාලමින් පසුගිය 06 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන්ගේ සුරතින් ගායක - ගායිකාවන් 40 දෙනෙකුට විශ්‍රාම වැටුප් ලබා දෙන්නට යෙදුණි.

මේ සඳහා, ක්‍රිස්ටෝපර් පොල්, ෆිලික්ස් ඇන්ටන්, විජේසිරිවර්ධන පොලොන්ඕවිට, ත්‍යාගා එන්. එඩ්වඩ්, වර්නන් පෙරේරා, නන්දා පතිරණ, වික්ටර් විජයන්ත පෙරේරා, රෝහණ සිරිවර්ධන, රංජන් ජයතිලක, ටෝනි හසන්, චන්ද්‍රානි මානෙල් කල්දේරා, ලාලනී සෝමසිරි, සීතා නානායක්කාර, ලෙස්ලි ශාන්ත ද අල්විස්, මයිකල් පෙරේරා, අයිවෝ ඩෙනිස්, අයිරින් ද අල්විස්, රුවන් විජේසේකර, විජේරත්න වරකාගොඩ, චන්ද්‍රිකා සිරිවර්ධන, රූපා ඉන්දුමතී, ලලිත් පොන්නම්පෙරුම, දිනේෂ් නාකන්දල, දයා හේමන්තා අබේසේකර, ලක‍ෂ්මන් විජේසේකර, සූරිය කුමාර් මුත්තලගේ, උපාලි පෙරේරා, පුන්‍යා කත්‍රිආරච්චි, ලයනල් ගුණතිලක, ඩබ්ලිව්. ප්‍රේමරත්න, මයිකල් පීරිස්, ජේ.ඒ. රොම්ලස් පෙරේරා, අනිල් කුමාර, මල්ලිකා කහවිට, රංජනි පෙරේරා, නිමල් ගුණසේකර, එස්. සෝමසිරි ප්‍රනාන්දු, චන්ද්‍රානි ගුණවර්ධන, ශීලා පරණමානගේ, චන්ද්‍රා රණතුංග, යන මහත්ම මහත්මීන් සුදුසුකම් ලැබීය.

ගායක - ගායිකාවන්ගේ මෙම විශ්‍රාම වැටුප් සිහිනය යථාර්ථයක් කරගැනීමට හැකිවූයේ, පසුගිය අප්‍රේල් මාසයේදී වත්මන් රජය විසින් මෙම සංගමය වෙත ලබා දෙන්නට යෙදුණ රුපියල් මිලියන විසිපහක මුදල හේතුවෙනි.

ජනාධිපතිතුමන් මුලසුන හෙබවූ මෙම අවස්ථාවට, ශ්‍රී ලංකා ගායක - ගායිකා සංගමයේ වත්මන් සභාපති කීර්ති පැස්කුවල්, ලේකම් ජානක වික්‍රමසිංහ, භාණ්ඩාගාරික රෝහාන් ද සිල්වා ඇතුළු ගායක ගායිකාවන් විශාල පිරිසක් සහභාගී වූහ.


සෙල්ලම් නැත්නම් ලෙල්ලම් දැන් තිරයේ

තිස්ස ඩයස් විසින් කතාව, දෙබස්, තිර රචනය සකසමින් අධ්‍යක්ෂණය කළ සෙල්ලම් නැත්නම් ලෙල්ලම් සිනමාපටය ඉකුත් හය වැනි බදාදා දින සිට රිත්මා මණ්ඩලයේ සිනමා ශාලා කිහිපයකදී තිරගත වීම ඇරැඹිණ. හස්‍යෝත්පාදක සිනමාපටයක් වන එය මංගල මඩුගල්ලගේ නිෂ්පාදනයකි. ඔහු මීට ප්‍රථම ස්තූතියි නැවත එන්න සිනමාපටය නිෂ්පාදනය කරන ලදී. සෙල්ලම් නැත්නම් ලෙල්ලම් සිනමාපටයේ ජයසේකර අපොන්සු, රොනී ලීච්, විමල් කුමාර ද කොස්තා, මර්සි එදිරිසිංහ, මානෙල් වානගුරු, හැරී විමලසේන, චංචලා වර්ණසූරිය, ජීවන් හඳුන්නෙත්ති, මියුරි සමරසිංහ, ප්‍රේමදාස විතානගේ, තිස්ස ඩයස්, නිහාල් ගමගේ, මල්කා දමයන්ති, ඥානාංග ගුණවර්ධන, උපසේන සුභසිංහ, ජයරත්න රූපසිංහ, ශ්‍රීලාල් අබේකෝන්, කීර්ති රංජිත් පීරිස්, මෝමන් පළිහවඩන ඇතුළු නළු නිළියන් රැසක් රංගනයේ යෙදෙති.

ජී. නන්දසේන සහ ගාමිණී ප්‍රනාන්දු කැමරා අධ්‍යක්ෂවරුන්ය. කීර්ති රත්නායකගේ සහාය අධ්‍යක්ෂණයකි. සංස්කරණය සහ පසුබිම් සංගීතය සජීව සංකල්ප දසනායකගෙනි. කුමාර ඩී. රාහුබද්ධ කලා අධ්‍යක්ෂවරයාය. සම්පත් රණසිංහගේ අංග රචනයකි. ශාන් පෙරේරා නර්තන නිර්මාණය සිදු කොට ඇත. සුදර්ශන සෝමරත්නගේ නිශ්චල ඡායාරූපකරණයකි. සෙල්ලම් නැත්නම් ලෙල්ලම් හි එච්. ආර්. ජෝතිපාලයන්ගේ ගීත ඇතුළත් වීම විශේෂත්වයකි. ලතා වල්පොල, ශ්‍රීලාල් අබේකෝන් සහ තිස්ස ඩයස් සෙසු ගීත ගයා තිබේ. ගීත රචනය තිස්ස ඩයස්ගෙනි.

එච්. ආර්. ජෝතිපාලයන් ගයන මේ නොනිමෙන දිවි ගමනේ සහ පුංචි දෝණි් තරහා වෙලා ගීත රචනා කරනු ලැබුවේ ද තිස්ස විසිනි.


සිනමාව සහ මම සංස්ථා සභාපති අතට

සනත් ගුණතිලක රචනා කළ සිංහල සිනමාව සහ මම ග්‍රන්ථයේ දෙවැනි මුද්‍රණය ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න මහතාට පිළිගැන් වූ මොහොතයි මේ. මෙම ග්‍රන්ථය ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව මෙම මස 17 වැනිදා එළිදක්වන අතර එදින උදෑසන 10.00 සිට 11.00 දක්වා සුරස පොත් මැදුරේදී සනත් ගුණතිලකගේ අත්සන සහිතව ලබාගත හැකියි


සුනිල් මිහිදුකුල මියගොස් තෙමසක් සම්පූර්ණ වෙයි ස්මාරකයක් ඉදිවෙයි

සරසවිය හිටපු කර්තෘ ප්‍රවීණ සිනමා ලේඛක, සිනමා විචාරක සුනිල් මිහිදුකුල මිය ගොස් තෙමසක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පසුගියදා ඔහු ගේ නිවසේ දානමය පුණ්‍ය කර්මයක් සිදු කරන ලදී. එමෙන්ම ඔහු වෙනුවෙන් ඉදිවුණ අලංකාර ස්මාරකයද එදින විවෘත කළේය


ජෝතිගේ සුමිතුරෝ එළිදකී

අසහාය ගායක එච්. ආර්. ජෝතිපාලයන් විසින් නිෂ්පාදනය කරනු ලැබූ එකම සිනමාපටය වන සුමිතුරෝ ඩී. වී. ඩී. මාධ්‍යයෙන් පසුගියදා එළි දැක්විණි. ඒ තිස්ස නාගොඩවිතාන ෆිල්ම්ස් ආයතනයේ ඉදිරිපත් කිරීමක් ලෙසිනි. රෝයි ද සිල්වාගේ අධ්‍යක්ෂණයක් වන සුමිතුරෝ සිනමාපටයේ එච්. ආර්. ජෝතිපාල, ජෝ අබේවික්‍රම, ෆ්‍රෙඩී සිල්වා, සුමනා අමරසිංහ, ලයනල් දැරණියගල, සෝමසිරි දෙහිපිටිය, පියදාස විජේකෝන්, රොබින් ප්‍රනාන්දු, බී. එස්. පෙරේරා, සමන්ති ලැනරෝල් රංගනයේ යෙදෙති. සුමිතුරෝ තිරගත වුයේ 1983 වසරේදීය.


ඩයලොග් චිත්‍රපට නිෂ්පාදනයට පළමු සිනමාපටය එක දවසක් අපි

ඩයලොග් ආයතනය මඟින් ආරම්භ කරන ලද නවතම ටෙලි සිනමා ව්‍යාපෘතියේ පළමු සිනමාපටය ලෙසින් අනුරුද්ධ ජයසිංහගේ එක දවසක අපි සිනමාපටය ඉදිරිපත් කෙරේ. එය විනෝදේ නිෂ්පාදනයකි. ආචාර්ය අරෝෂ ප්‍රනාන්දුගේ විධායක නිෂ්පාදනයක් වන එහි රූගත කිරීම් මේ වන විට අවසන්ව ඇත.


 කවරයේ කතාව

බොහෝ දෙනෙකු බලා සිටියේ සැබෑ ජීවිතයේ පෙම්වතුන් වූ අර්ජුන කමලනාත් සහ අමීශා කාවින්දි විවාහ වනතුරුය. එය එලෙස සිදු විය. එනමුදු මේ ඡායාරූපය චිත්‍රපටයක් උදෙසාය. අර්ජුන, අමීෂා මෙසේ අතිනත ගත්තේ සුරංග ද අල්විස්ගේ නවතම සිනමාපටය වූ කිඩ්නැප් වෙනුවෙනි. මේ මංගල ඡායාරූපයේ සොඳුරු රුවින් මෙවර සරසවියේ මුල් පිටුව සැරසෙයි.