වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 07 වැනිදා බ්‍රහස්පතින්දා




මම ආවේ මේකට කැමැතිද අහන්න

මම ආවේ මේකට කැමැතිද අහන්න

'උඹ චුට්ටං මුදලාලි ගේ කෙල්ල එක්ක එහෙ මෙහෙ යනවා කියලා ආරංචියි'

උණු උණු වේ බොන්නට ගත් තේ කෝප්පය එකවරම උගුරට ගියේ ඇඟ සීතල කර ගෙන යැයි විනෝද්ට එකවර සිතිණ.මෙච්චර දවාලක මේ තරම් උණු තේ කෝප්පයක් මෙතරම් සැහැල්ලුවෙන් උගුරෙන් පහලට යතැයි ලක්ෂ්මන් ප්‍රශ්ණය නගන තුරු නිකමටවත් විනෝද්ට නොසිතිණ.

චුට්ටං මුදලාලියැයි පැවසුවේ බිනරි ගේ තාත්තාටය.මුලින් චූටි පසුව චුට්ටේ විය.චුට්ටේ හැඩ වුණේ චුට්ටං වෙමිනි.මේ ඔක්කොම පලාතේ මිනිසුන්ගේ නම් ගම්ය.උප්පැන්න සහතිකයේ නම නොවේය.

චුට්ටං බොරැල්ල හංදියේ අඹ ලෑල්ලෙන් පටන් ගත් බිස්නස් එක දැන් පිටකොටුවේ පළතුරු ලෑල්ලකට ව්‍යාප්ත විය.චුට්ටං ට මුදලාලි පට්ටම ලැබුණේ එහෙමය.බිනරි ලස්සනට ඉන්නේ හැමදාම පළතුරු කන්නට ලැබෙන නිසායැයි වරක් කොල්ලෙක් කොලොප්පමට කීවේය.

'එහෙනම් වවුලොත් ලස්සනට ඉන්ඩ එපායැ'.

විනෝද් පැවසුවේ බිනරි කෝප ගන්වන්නටය.කෝප වන විට ඇයගේ මුහුණ රතු වෙයි.ඊළඟ විහිළුව රතු වන මුහුණ ගැනය.

විනෝද් ලක්ෂ්මන් හමුවන්නට හිත හදා ගත්තේ පෙර දිනයේ බිනරි සමග කළ කතා බහෙන් අනතුරුවය.

'මට නාට්‍යයක් කරන්ඩ ඕනෑ'

විනෝද් පැවසුවේය.බිනරිට හිනා ගියේ ඒ නිසා නොවේ.කිරි තේ කෝප්යේ පාට රැවුලක් මෙන් ඔහුගේ මුහුණේ ඇඳී තිබුණ එක ගැනය.ඇය තමා විහිළුවට ගෙන ඇතැයි විනෝද්ට සිතිණ.

'එක්කෝ ඕන නෑ'

ඔහු පැවසුවේ හිස් මංඩි ටික එක උගුරට ගිල දමමිනි.

'ඉතින් පටන් ගන්න එක නේ තියෙන්නේ'

බිනරි පැවසුවාය.එයට පෙර සිනමා උත්සවයේ පිරිස සමග ඇර ගත් කේන්තිය තමා පිටින් අරිනු ඇතැයි ඇයට සිතින.

'පටන් ගන්න සල්ලි ඕනෑ'

මේ වගේ වැඩකට තාත්තාගෙන් සල්ලි ඉල්ලා ගන්නට බැරි බව බිනරි සහ සුද්දෙන්ම දන්නා කරුණකි.තාත්තා දැන් දැන් ගෙදරට සල්ලි දෙන්නේ දෙපාරක් ගැනලායැයි අම්මා පැවසුවාය.පිටකොටුවේ කඩ ලෑල්ලට අමතරව අනුරාධපුරයෙන් ඉඩම් කෑල්ලක් ගන්නට තාත්තාට වුවමනා ව තිබේ.තාත්තාගේ යෝජනා ඔහු විසින්ම ස්ථිර කර ගනු ලැබේ.සෙස්සන්ට තිබෙන්නේ ඒවා අනුමත කරවීම පමණී.ඒ වුනත් තමා ඉල්ලුවොත් කීයක් වත් දෙන්නට තාත්තා මැලි වන්නේ නැත.ඒත් ඈ තාත්තාට බයය.

'කොච්චර විතර යයි ද ?'

ලක්ෂයක් විතර

විනෝද් පැවසුවේ බලාපොරොත්තු ඇතුවය.

ලක්ෂයක්?

ඇය ඇස් උඩ තබා ගත්තාය.එය නම් තාත්තා ගෙන් කියටවත් බලා පොරොත්තු විය හැකි ගාණක් නොවේ.මුලින් රුපියල් ලක්ෂයක් උපයන්නට ඔහු ගත් වෑයම ගැන අසා සිටින්නට වනු ඇත.

'ලක්ෂයක් කියන්නේ අද මහ ගාණක් නෙවේ'

විනෝද් පැවසුවේ බලාපොරොත්ත බිඳ ගනිමිනි.

'කජු ඇට ද කොස් ඇට ද බං ?'

ලක්ෂ්මන් විනොද්ගෙන් ඇසුවේ එයට පසුදාය.ලක්ෂ්මන් ජීවත් වූයේ ඇල්විටිගල මාවතේය.ලක්ෂ්මන් ඇති තැන එසේ වුවත් නැති තැන පොලි ලකීය. නැත්නම් ලක්ස්මා ය. ලක්ස්මන් අය්යා කියන්නේ එහෙමත් එකෙකි. ඔහු මුලින් රස්සාව කළේ වැල්ලවත්ත රෙදි මෝලේ ය.හැමදාම රෑ දහය වන විට කොළඹ ම දෙදරවමින් ඇසුණු රෙදි මෝලේ වැඩ පංගු ගැන ලොවට පැවසූ සංගුව එක දවසක සදහටම නිහඬ විණ.ඒ නිස්සද්ද වුණ දවසේ අවුරුදු දහයක් පහලොවක් ලක්ෂ්මන් බඩ වියත රැක ගත් රෙදි මෝලේ රස්සාවට ද කණ කොකා හැඬුවේය. ඔලුව ගියත් කඳ කෙලින් කර ගන්නා ජාතියේ මිනිහකු වන ලක්ෂ්මන් ඩුබායි ගියේය.ඒ මෙරටින් ඩුබායි ගිය මුල්ම පිරිසට අයත වය. ඔහු යළි ලංකාවට පැමිණියේ අවරුදු තුනකට පසුවය.ගෙනා මුදල් නිකරුනේ වියදම් නොකළ ඔහු පොලියට දෙන්නට පටන් ගත්තේය. මුලින් මුලින් අහල පහල අයට අත මාරුවට පොලී දුන් ලක්ෂ්මන් පසුව බොරැල්ල හංදියේ පේමන්ට් වෙළෙන්දන්ට ණය දුන්නේය.ණය එකතු කරන්නට ත්‍රී වීලරයක් ගත් ඔහු එය දහවල් සවාරියේ යොදවා තවත් ගාණක් හම්බ කර ගත්තේය. දැන් ඔහුගේ බස් දෙකක් නාරාහේන්පිට කොටුව පාරේ දුවයි. ලක්ෂ්මන් විනෝද් ට නෑකමට මාමා කෙනෙක් වෙයි. ඔහු ලක්ෂ්මන් හම්බ වෙන්නට ගියේ එහෙයිනි. ලක්ෂ්මන් ගෙ භාර්යාව සැමියාට තේ කෝප්යක් ගෙන ගමන් විනොද්ට ද තේ කෝප්පයක් ගෙනාවේය.

'දැන් සීනි ආයෙත් ගණං ගිහිල්ලා'

තේ කෝප්පය තොල ගාන අතරේ ලක්ෂ්මන් පැවසුවේය.

ඔය කියන නාට්‍යයට කතාවක් තියෙනවද ?

ලක්ෂ්මන් ඇසුවේ නාට්‍ය කතාවේ වට කිහිපයක් ගිය පසුය.

'ඔව්.පරිවර්තනයක්. රුසියන් එකක්. ගොගොල් ගේ'

ලක්ෂ්මන් සරම උඩට ගෙන පුටුවේ වාඩි වුණේ කකුලක් ඒ මතට නංවා ගෙනය. ඔහුගේ කර මත බැඳී රන් මාලය දිදුලමින් බැබලිණ.

'උඹට රුසියනුත් පුළුවන් ද බං'

'මට බෑ.මං ඒ පරිවර්තන කතාවෙන් තමා නට්‍ය ලිව්වේ'

'දැන් ඔය කවුද ගුගල් ද කියන හාදයාගෙන් අවසර ගන්ඩ ඕනැද ?'

ලක්ෂ්මන් ඇසුවේය. ඔහු කතා කරන විට ගොතයක් මතු වෙයි. එබැවින් සමහර වචන පිටවන්නේ ආයාසයෙනි. ගොගොල් දන්නේ නැති මේ හාදයා සමග කතාවට වැටීමෙන් තමන් කර ගත්තේ මහත් ගොන් කමකි. නිකරුණේ කාලය වැය වුණ එක විතරය.

දැන් ඕකට කවුද ගන්නේ.?

ලක්ෂ්මන් ද වැඩේ අත අරින්නට සූදානම් නැත.

'තවම හිතලා නෑ.'

'මොකද මම එහෙම කිව්වේ.දැන් ඕක කරනව නම්.අපි වයි.එම්.බී.ඒ එක බුක් කරලා.ඕ.අයි.සී මහත්තයාට, අපේ නාගරික මන්ත්‍රිතුමන්ට ගෙන්න ගන්න බලන්න ඕන. නැද්ද මං අහන්නේ?'

ඔහු නැත්ද මං අහන්නේ යැයි පැවසුවේ අසල සිටි කොල්ලකුටය. ඔහු විනෝද්ට වඩා වැඩිමහල්ය.

‘දැන් බලපං. මේ කෝසල මල්ලි තමා මගේ ගණං හිලව් හදන්නේ. දවසට දාහක් හමාරක් ඌටත් හම්බ වෙනවා. ඒ දවස් වල මූත් එහෙම තමා පිච්චර් බලන්නයි. නාට්‍ය බලන්ඩයි. දුන්නා පටෝර් ගාලා කණට දෙකක්.ඔය වැඩ කැරන්නේ. පිච්චරුත් නෑ අරුවත් නෑ. මේවත් නෑ. සයිලන්ස් එකේ වැඩගම ඇඹිලිපිටියේ මං දැන් හිතන් ඉන්නේ හොඳ කෙල්ලකුට බන්දල දෙන්ඩ‘

ඉළංදාරියා අහිංසක පාටින් සිනාසුනි.විය ගහේ බැන්ද ගොනා වගේ ඇති විනොද්ට කෝසල ගැන දුක සිතිණ.

උණු තේ කෝප්පය සීතල වන ප්‍රශ්ණය ලක්ෂ්මන් ඇසුවේ ඒ අතරය.

'නැහැ. ලක්ෂ්මන් මාමේ. එයා මගේ හොඳම යාළුවා'

'හොදම යාළුවා. යකෝ ඒක මාර කතාවක් නේ. ඒයි විමලෝ'

ඔහු ගෙයි වැද ගත් සිය බිරින්දෑ ද ගෙන් වූයේ අරුම පුදුම කතාවක් අසන්නට මෙන්ය. සැර අව්වක් ගෙතුළට එබිකම් කරන බව විනෝද්ට පෙනිණ. මුන්ට දඩයම් කර කර සෙල්ලම් කරන්න සතෙක් හමු වූ ගානය. විනෝද් අසරණ බැල්මකින් විමලා දෙස බැලුවේය. ඇයගේ මුහුණේ තිබුණේ උඬඟු සිනහවකි. ඇයගේ ගෙල බැදි මාලය ද දෑත සැරසූ වළ ලු ද ලක්ෂය ඉක්මවතැයි විනෝද්ට සිතිණ.

'අනුන්ගේ ගින්දර වෙන්ඩැති'

පොලි සල්ලි ගින්දර යැයි ඔහුට පැවසුවේ බිනරිය.

'ඒ වුනාට බලෙන් ගිහින් ණය දෙනවැයි' ඔහු බිනරි සමග තර්ක කළේය.

'විනොද් උඹ චුට්ටං ගෙන් ඉල්ලන්න බැලුවේ නැතෑ?'

විමලා ඇසුවාය.විමලා ආවේ ගාලු පුරෙන් ලු. ඇගේ කතාවේ දකුණු වහර දැක ගත හැක.

'නෑ මං තවම ඇහුවේ නෑ'

'මාමන්ඩි ගෙන් අහන්ඩ තවම ලැජ්ජ ඇති'

ලක්ෂ්මන් හක හක ගා හිනා වුණේය.

'මම ආවේ මේකට කැමැති ද කියලා අහන්ඩ.ලක්ස්මන් මාමා මගුල් කතාවක් ට නෙවේ.කෙල්ලෙකුටයි කොල්ලෙකුටයි හොඳම යාළුවො වෙන්ඩ බැරි ද ? ඒකට ලව් කරන්ඩම ඕනැද? නිදි වදින්ඩම ඕනැ ද?'

විනෝද් නැගිට සිටියේය. මොන ජාතියෙන් වුවත් ඒ වතාවේ ලක්ෂ්මන් ගැස්සින. හිතු තරම් විනෝද් පොඩි එකකු නොවේ.හතර රියන් එවුන් ආම්බාන් වන්නේ මොවුන් ගේ අණටය. අසා තියෙන හැටියට මේකා නාහෙට නාහෙන එකෙකි. මොනවා වුනත් බිරින්දෑ සහ කෝසල ඉදිරියේ නෝන්ඩි වන්නට ලක්ෂ්මන් කැමැති නැත.

'උඹට විහිළුවක් තේරෙන් නැද්ද යකෝ'

ලක්ෂ්මන් පීල්ල මාරු කළේය.

'මාමට මගේ ඇට් කිරිල්ල තේරුණේ නැද්ද'

සිය ස්වරය වෙනස් කළ විනෝද් ඇසුවේය. විමලා ගේ ඇස් උඩ ගියාය.

මං චවනයක් කියන්නම්. මිදුලට බසින විනෝද් දැක ලක්ෂ්මන් පැවසුවේය.

තුන් වන පියවර කොහොමද ලබන සතියේ