වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 07 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

0728384283 ප්‍රතිචාර සඳහා නවතම අංකයක්

අයිරාංගනී සේරසිංහට සියලු දෙවි රැකවරණ

අපේ කලා ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨතම රංගන ශිල්පිනියක වන අයිරාංගනී සේරසිංහ දේශීය කලාව වෙනුවෙන් කළ සේවය අනූපමේය වේ. ඉදිරියටත් එතුමියට කලාවේ පෝෂණය වෙනුවෙන් දායකවීමට වරම් ලැබේවා. සියලු දෙවි රැකවරණ ලැබේවා කියා පතන්නෙමු.

මැණිකේ විල්වල
තිලකරත්න විල්වල
තටාකය පාර
කෑගල්ල


දෙවැනි ඉනිමේ සැමට

දෙරණ ටීවී ඔස්සේ විකාශය කෙරෙන 'දෙවැනි ඉනිම' ඉතාම සුන්දර ටෙලි නිර්මාණයකි. රවීන් කණිෂ්ක පළමු රංගනයෙන්ම තම හැකියාව පෙන්වා ඇත. අන් සියලු දෙනාගේම රංගනයන් අගයමි. දෙවැනි ඉනිම රචනා කරන සමන් එදිරිමුණිට සහ ප්‍රේක්ෂක අප වෙත අලුත් අත්දැකීමක් ගෙන එන දෙරණ නාළිකාවට අපගේ උණුසුම් සුබ පැතුම්.

අංජනී අමරසිංහ
වල්පල


තාරුකා ඉදිරියන්

නව පුරපුරෙන් බිහි වූ දක්ෂ රංගන ශිල්පිනියන් අතරේ තාරුකා වන්නිආරච්චි ඉදිරියෙන් සිටින බව කිව යුතුය. පුංචි තිරයේ මෙන්ම සිනමාවේද දිගු ගමනක යෙදෙන්නට වරම් ලැබේවායි පතමි.

කෙනත් පෙරේරා
වැලිගම්පිටිය
ජා-ඇල


ඔබ නැති පුංචි තිරය

මංජුලා කුමාරි, චතුරිකා පීරිස්, නයනා කුමාරි, නෙහාරා පීරිස්, චන්න පෙරේරා, මේනක රාජපක්ෂ නැති පුංචි තිරය පාළුයි. එදා ඔබේ රැඟුම් දුටු ටෙලි නිර්මාණ තවමත් අප මතකයේ රැඳී ඇත.

කේ. ඩී කරුණාරත්න
නැදිමාල
දෙහිවල


චන්නට සුබ පැතුම්

නර්තනය නිර්මාණශීලිව ඉහළම තලයකට ගෙන ගිය, දක්ෂ නර්තන ශිල්පීන් රැසක් බිහි කළ සිනමාව මෙන්ම විශේෂ අවස්ථා විචිත්‍රවත් කරමින් නර්තනයන් ඉදිරිපත් කළ ජාත්‍යන්තර තලයේ ඇගයීමට ලක් වූ චන්න විජේවර්ධනට මෙරට ඉහළම පිළිගැනීම උපහාරය ලැබේවා.

නිමල් කුලසේකර
අඟුලාන පාර
මොරටුව


රන් ස්වරය ඉඳුනිල්

කලාවේ රන් ස්වරය නම්, ඉඳුනිල් දිසානායක ය. මන බඳීනා සුන්දර සිනහවකින් මුව සරසා ගෙන පැමිණේනන ඇය ඉදිරිපත් කරන වැඩසටහන් නරඹන්නට ප්‍රේක්ෂකයා උනන්දු කරවයි. ප්‍රේක්ෂකයන් ආකර්ශනය කරමින් හරවත් වැඩසටහන් ඉදිරිපත් කිරීම ඇය සතු සුවිශේෂ හැකියාවකි. කවදත් කලාව වෙනුවෙන් මෙහෙරක නිරත ඉඳුනිල්ට ඉදිරියටත් හරවත් වැඩසටහන් සමඟින් අප හමුවෙන්නට ලැබේවා.

එච්. ඉන්ද්‍රපාල
ශ්‍රී සංඝමිත්තා මාවත
මුංහේන


සටන් නළු රෝහිත් මාන්නගේ වෙත

'රාං කුරුල්ලා' සිනමා පටයෙන් රංගනයට එක් වූ රෝහිත් මාන්නගේ 'ප්‍රදීපා', 'අපේක්ෂා' ඇතුළු සිනමා නිර්මාණවල කළ රංගනයන් අපට අමතක නැත. යසපාලිත නානායක්කාරගේ 'ජය ශ්‍රී වේ' කුමරිය චිත්‍රපටයේ දුෂ්ටයා වෙමින් කළ රංගනයද විශේෂයි. චිත්‍රපට රැසක සටන් කළ ඔබ ඉදිරියේදී ද සිනමාව සමඟින් සිටිනු දකින්නට කැමැත්තෙමි.

මිල්ටන් ප්‍රනාන්දු
නව එක්සත් මාවත
මුදුකටුව


අද ගැන දුකක්

එදා ගුවන්විදුලිය 'මධුවන්තී' ගීත 'තරංගනී' වැනි උසස් සංගීත වැඩසටහන් ප්‍රචාරය කළා. හරබර ගී පදවැල් නිර්මාණශීලි දක්ෂ ගායක ගායිකාවන් විසින් ගායනය කළා. ශ්‍රාවක රසඥතාව ඉහළ තලයක රඳවන්නට එම ගී වලින් ලද පිටුවහල ඉහළයි. එදාට වඩා තාක්ෂණයෙන් ඉතාම ඉහළින් සිටින වර්තමානයේ එවැනි වූ වැඩසටහන් නිෂ්පාදනය නොවීම කනගාටුවට කරුණකි.

අනුර කුලවර්ධන
රදාවාන


අලුත් ගීත රැගෙන එන්න

"දීග නොයන් රත්තරනේ", "සමාව ඉල්ලා දෙපා සිඹින්නට", "මේ දෙව් මැදුරේ" ආදී ජනප්‍රිය ගීත රැසක් රසික අපට දායාද කළ ජනප්‍රිය ගායක ෂෙල්ටන් මුතුනමගේ අයියේ, මන බඳීන හඬක් හිමි ඔබ දැන් නිහඩ බව අපට දැනේ. ගුවන්විදුලියෙන් ඔබේ හඩ නිතර ඇසුනත් අලුත්ම ගීත නිර්මාණ රැඟෙන එනු දකින්නට කැමැත්තෙමි.

ජගත් චන්ද්‍රසිරි
පූජා ජගත්සිරි
මීරිගම
පස්යාල


ස්වේත ගංතීරේ මෙහෙකාරිය

විකාශය අවසන් කළ 'ස්වේත ගංතීර' ටෙලි නාට්‍යයේ නිල්මිණි කෝට්ටේගොඩ පණ පෙවූ භූමිකාව අනාගතයේදී සම්මානනීය වනු ඇතැයි සිතමි. වලව්වේ මෙහෙකාර ස්ත්‍රිය ලෙසින් ඇය කළ රංගනය ප්‍රතිභාන්විතයි.

ඩඩ්ලි ගෝමස්
කටුබැද්ද
මොරටුව


සැමට සුබ පැතුම් ගෙනනා ඔබටත් සුබ පැතුම්

අප සැමගේ හිතවත් කලාකරු සිරි කහවල හදිසි අනතුරකට ලක් වූ පුවත අසා කම්පනයට පත් වීමු. සෑම කලාකරුවකුගේම උපන්දිනයට උදෑසනින්ම දීර්ඝායුෂ පතමින් සුබ පැතුම් ගෙනන සිරි කහවලට ඉක්මන් සුවය ලැබේවා.

නීලා ඉන්ද්‍රාණි වීරපුර
දලුපත
මීගමුව


සිරි අයියාට දෙවි රැකවරණ

අපගේ උපන්දිනය දා හිමිදිරියෙන් අප අමතන සිරි කහවල අයියේ, ඔබට සියලු දෙවි රැකවරණින් ඉක්මන් සුවය ලැබේවා.

සුනිල් බී වේහැල්ල
ගෝනපොල


සකල කලා සංසදයට ප්‍රණාමය

කලාකරුවකු විසින් කලාව උදෙසා කළ සේවය ඔහු හෝ ඇය මිය යන්නට පෙර දැක ගැනීමට ලැබීම ඔවුන් ලබන ඉහළම දායාදය බව මගේ හැඟීමයි. 'කෝපි කඩේ' ටෙලි නිර්මාණය ඔස්සේ අප වෙත රස වින්දනයක් ගෙන ආ කේ. ඒ පියකරු කලාකරුවා වෙනුවෙන් උපහාර පිදීම පිළිබඳ ශ්‍රී ලංකා සකල කලා සංසදයට මාගේ ප්‍රණාමය.

දයාරත්න ගනේගොඩ
දළුගම
කැළණිය



ආලකමන්දාවට තුති

මේ වන විට ජීවිතයේ සැඳෑ සමය ගත කරන රංගන ක්ෂේත්‍රයට හාස්‍යය රැගෙන ආ බර්ටි ගුණතිලක පිළිබඳ ආලකමන්දාව ඔස්සේ වැඩසටහනක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් ජාතික රූපවාහිනියට අපගේ ස්තූතිය. එතුමන් කුඩා වියේ පටන් නළුවකු දක්වා පැමිණි ගමන් මඟ දැන ගැනීමට ලැබීම සතුටකි.

දිනේෂ් සුබසිංහ
නූපේ
මාතර


ආදරණීය පියා

'ධර්ම යුද්ධය' නම් චිත්‍රපටයේ ආදරණීය පියෙකුගේ චරිතය අපූරු ලෙසින් ගෙන එන ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තනී වෙත අපගේ සුබ පැතුම්.

ක්‍රිෂා ක්‍රිෂාන්ති
දළුවකොටුව


වෙනින් කවුරුත් නොව

කලක වාණිජ සිනමාවේ අමතක නොවන පෙරළිකාර අධ්‍යක්ෂවරයකුව සිටියේ වෙනින් කවුරුත් නොව ලෙනින් මොරායස් ය.

සුගත් ගමගේ
කල්මුණේ පාර
අම්පාර


අනර්කලී ආකර්ෂා වෙත

තවදුරටත් විදෙස්ගතව නොසිට මෙරටට පැමිණ රසික නෙත් වසඟ කරවන රංගනයන් ඉදිරිපත් කරන ලෙසද ඉල්ලා සිටිමි.

සුනිල් චන්ද්‍රසේකර
යාගොඩමුල්ල
කොටුගොඩ


හෙන්රි ජයසේන අපූරු රංගධරයා

බැස්ටියන් කෝරළගේ හෙන්රි රුද්‍රිගු ජයසේන නම් ඔහු වේදිකාව, සිනමාව සේම ප්‍රංචි තිරය ඔස්සේ ද තම අපුරු රංගනයන් ගෙන් ප්‍රේක්ෂකයන් රස ගැන් වූ රංගධරයෙකි. 'මනරංජන වැඩ වර්ජන', 'අහස් මාලිගා', 'සිරි සඟබෝ', 'හුණුවටයේ කතාව' වැනි වේදිකා නිර්මාණ ඔස්සේ අප ලද සතුට වචනයෙන් කියා නිම කළ නොහැක. 'ගම්පෙරළියේ' පියල් ලෙස කළ ප්‍රේමාන්විත රංගනය අපට කිසිදා අමතක නොවේ. ජීවයෙන් ඔබ අප අතර නැතත් හෙන්රි ජයසේන නම් අපූරු රංගධරයා තවමත් අප අතර සිටියි.

ලක්ෂ්මන් රණසිංහ
හේකිත්ත
වත්තල


සුන්දර නෙතූ

'නෙතූ' ටෙලි නිර්මාණයේ අවසාන රූප රාමුව සුන්දරයි. ටෙලි නිර්මාණයට දායක වූ සියලුම ශිල්පීන් තම කාර්යය මනාව ඉටුකොට ඇති බව දැනේ.

එස්. ඒ ප්‍රේමලතා
රුක්ගහතොටුපොල
බණ්ඩාරගම


දැන් පෝලිම් නැහැ

ඉතා කඩිනමින් චිත්‍රපට බෙදා හැරීමට ගත් තීරණය වෙනුවෙන් චිත්‍රපට සංස්ථාවේ වත්මන් සහභාපති සහ හිටපු සභාපති තුමන්ලාහට ස්තූතිය පුද කරමි. වසර කිහිපයක් පෝලිමේ සිටි චිත්‍රපට නරඹන්න ලැබීම සතුටකි.

දිනේෂ් ගුණසේකර
මාතර


සුමිත්තගේ මෙහෙවර

සුමිත්ත අමරසිංහ අපට සිටි ඉතා දක්ෂ සම්මානනීය චිත්‍රපට කැමරා අධ්‍යක්ෂවරයෙකි. 'පරසතුමල්', 'හන්තානේ කතාව', 'රන් සළු', 'සාරවිට', 'ආරාධනා', 'සසර චේතනා', 'අහස් මාලිගා' ඇතුළු චිත්‍රපට රැසක කැමරාව මෙහෙය වූ ඔහු සිනමාව වෙනුවෙන් කළ මෙහෙවර අමරණීය වේ.

ආනන්ද වික්‍රමාරච්චි
ඉහළ තල්දූව