|
අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්
කැලෑ හඳේ ජෝන් ජයපාල කෙසේ අමතක කරම් ද?
'ස්ටැන්ලි ඊයේ 'ඔබ්සර්වර්' පත්‍රය දැක්කද?' වෙන්නප්පුවේ ජෝසප් වාස් විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි ෆ්‍රැන්සිස් ඇසුවේ සිය පන්ති මිත්‍ර ස්්ටැන්ලි පෙරේරාගෙනි.
'මම පත්තර පිටුව අරන් ආවා. එවර කතා කළේ පන්තියේ වම් පැත්තේ පුටුවේ සිටි සුගතවර්ධනය. ස්ටැන්ලි පත්තරයේ පළ වී තිබුණ දැන්වීමට ඇස යොමු කළේය. 'ජ්‍යෙෂ්ඨය සමත් තරුණයකු මිනර්වා සමාගම නිපදවීමට අදහස් කරන 'කැලෑහඳ' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා අවශ්‍යව ඇත. වැඩිහිටියන්ගේ මාර්ගයෙන් විමසන්න. මෑතකදී ගත් ඡායාරූපයක් එවන්න.' 'ස්ටැන්ලි මම මේකට ඉල්ලුම් පත්‍රයක් දානවා. මට උඹේ 'බෝ' එක ඕනෑ පින්තූරයක් ගන්න' එසේ කීවේ ෆ්‍රැන්සිස්ය. ස්ටැන්ලි දැන්වීම කිහිපවරක් උනන්දුවෙන් කියවනු දුටු ෆ්‍රැන්සිස් මෙසේ කීවේය. 'ස්ටැන්ලිත් මේකට ඉල්ලන්න' 'මටත් ආසයි මේකට ඉල්ලුම් පත්‍රයක් දාන්න. ඒත් මම ඉ.ඉ.ඛ් විභාගයෙන් ෆේල්නේ' ස්ටැන්ලි එවර කීවේ සංතාපයෙනි. මේ 1951 වසරය. එවර ස්ටැන්ලි විභාගයෙන් ගණිතය අසමත් නිසා ඉ.ඉ.ඛ් විභාගය සම්පූර්ණ නොකිරීමේ පොඩි පරහක් තිබුණි. ඒ කාලේ ෆ්‍රැන්සිස් හා සුගතවර්ධන සමඟ කොළඹ ඇවිත් චිත්‍රපට නැරඹීමට ස්ටැන්ලි පුරුදුව සිටියේය. 'පාසලේ පික්චර් පිස්සන් ලෙස ප්‍රකට සිටි අපි තුන් දෙනා කිංස්ලි සිනමාහලේදී 'කඩවුණු පොරොන්දුව' බැලූ හැටි කවදාවත් අමතක වන්නේ නැහැ. එදා රුක්මණි දේවිගේ රඟපෑමට අපි පෙම් බැන්දා. ඇය ජීවමානව දැක ගැනීමට අපි තුන් දෙනා සිහින මැව්වා. ඒ කාලේ බ්.ඉ.ඛ් විභාගයට නියමිත 'හිඟන කොල්ලා' නවකතාව නියමව තිබුණා. එහි ප්‍රධාන චරිතය වූ මොරිස්ගේ චරිතයට කොතරම් ආදරය කළා ද කිව්වොත් ඒ ඇසුරෙන් පාසලේ වාර අවසානයේ රඟ දැක් වූ නාට්‍යයක මොරිස් ලෙස රඟපෑවා. ඊට වඩා මගේ සිත ගියේ 1951 ඉ.ඉ.ඛ් විභාගයට නියමිත 'කැලෑහඳ' නවකතාවට. එයට තවත් හේතුවක් තිබුණා. අපට සිංහල සාහිත්‍යය ඉගැන් වූ ජේම්ස් ප්‍රනාන්දු ගුරුතුමා 'කැලෑහඳ' ඉගැන්වූයේ එහි නාට්‍යමය අවස්ථා රඟපාමින්. මේ නිසා එහි එන ජෝන් ජයපාලගේ චරිතයේ දෙබස් වැඩි හරියක් මට මතක තිබුණා.' ස්ටැන්ලි වරක් මා සමඟ 'සරසවිය' පුවත්පතේ පිළිසඳරකදී කියා සිටියේය. පත්‍රයේ තිබූ දැන්වීම දැක්කාම ජෝන් ජයපාලගේ චරිතයට ලොල් වූ ස්ටැන්ලිට මීගමුවේ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ නිවස පහසුවෙන් සොයා ගත හැකි විය. එදින බී. ඒ. ඩබ්ලිව්. නොසිටි අතර ඔහුගේ නැගණිය ඩොටී මේ තරුණයා දෙස හොඳ හැටි බලා සිනාසී මෙසේ කීවාය. 'අයියා හොරොම්බාවේ වත්තට ගිහිල්ලා, හෙට උදෙන්ම එන්න.' ස්ටැන්ලි පසුවදා උදෙන්ම මීගමු ගියේය. ඔහු පිළිගත් ඩොටී අක්කා 'ආ එන්න අතුළට' සිනාසෙමින් කීවාය. 'ඇලෝ අයියා, අන්න අර ඊයේ ආපු ළමයා ඇවිත්' බී. ඒ. ඩබ්ලිව්ට කවුරුත් කතා කළේ 'ඇලෝ අයියා' කියාය. ස්ටැන්ලි ළඟට පැමිණි ඇලෝ අයියා ඔහු දෙස විමසිල්ලෙන් බැලුවේය. 'උස කීයද?' 'අඩි පහයි අඟල් පහයි' මේ අතර ඇලෝ අයියාගේ සහෝදරයා ජෝ ජයමාන්න එතැනට පැමිණියේය. 'මෙයා ඩේසිගේ (රුක්මණී දේවි) උසට හරිද?' ජෝ හිස වනමින් එය අනුමත කළේය. තිමොතියස් අර පොත අරන් එන්න' තිමෝතියස් පෙරේරා ඇලෝයිගේ ප්‍රධාන සහායකයාය. ඔහු ගෙට ගොස් රතුපාට මොනිටර් ඇක්සයිස් පොතක් අරන් ආවේය. 'කැලෑහඳේ' දෙබස් ඔහු කියවාගෙන ගියේය. 'මට මේ දෙබස් කට පාඩම්' ස්ටැන්ලි කී විට ඇලෝ අයියා විමතිය පත්ව තිමෝතියස් උඹ මාලිනීගේ දෙබස් කියපං' කීවේය. 'මහත්මයා, මේ මගේ රූපයට මුලා වී කරන්නේ මහා හිතුවක්කාරකමක්. මහත්මයාගේ සිහි විකලය හැරුණුදාට මහත්මයාට මා පෙනේවී, මහත්මයා කන්නට උපන් දිවි දෙනක් හැටියට. ඒක තමා මට බය' තිමෝතියස් කියාගෙන ගියේය. 'මේක හිතුවක්කාරකමක් නෙවෙයි සීදේවි. ඔබ මා ගැන පමණක් මෙහෙම කල්පනා කරන්නේ ඇයි? මා නොලැබුණොත් ඔබට වන පාඩුව? මාලිනී, මගෙන් එහෙම කටයුත්තක් කෙරෙන්නේ නැහැ.' ස්්ටැන්ලිගේ දෙබස් උච්චාරණය හා රඟපෑම ගැන ඇලෝ අයියා සෑහීමකට පත් වු බව ඔහුගේ මුහුණේ සටහන් වී තිබුණි. 'හරි වයස කීයද?' 'අවුරුදු 17 යි' මේ චිත්‍රපටයේ ජෝන් ජයපාල හැටියට රඟපාන්න කැමතිද?' ස්ටැන්ලිට කතා කර ගැනීමට නොහැකි විය. 'ඔව්, ඔව්'. ඉ.ඉ.ඛ් පාස්ද?' 'මේ අවුරුද්දේ විභාගෙ ගන්නේ' 'වැඩිහිටියෝ කැමති වෙයිද මෙයා ඉන්දියාවට ගිහින් රඟපානවට? හැබැයි ඉගෙනීම කඩාගන්න බැහැ' 'මගේ තාත්තා නැහැ. අම්මගෙනුයි, අයියාගෙනුයි අහන්න ඕනෑ' 'එහෙනං ස්ටුඩියෝ එකකින් පින්තූරයකුත් අරන් අයියත් එක්ක ලබන ඉරිදා එන්න' 'මම වෙන්නප්පුවේ ගෙදර ගියේ ජෝන් ජයපාල හිතින් මවාගෙන. බොහොම අමාරුවෙන් අයියා කැමති කරගෙන ඊළඟ ඉරිදා පින්තූරයකුත් අරගෙන ඇලෝ අයියා බලන්න ගියා. එදා යනකොට එඩී ජයමාන්නත් හිටියා. මගේ අයියා දැක්ක ගමන් එඩී 'අයිසේ පෝල්, මයි ගෝඩ්, ආෆ්ටර් ලෝං ටයිම්' කියලා බදා ගත්තා. පෝල් අයියත් එඩීත් මීගමුවේ මාරිස්ටෙලා විද්‍යාලයේ එකට ඉගෙන ගෙන තියෙන්නේ. සියලු දේ හොඳට විසඳුණා. ඊට පස්සේ මම ජෝන් ජයපාල වුණා.' බී. ඒ. ඩබ්ලිව්., ස්ටැන්ලිට රුපියල් 500 ක අත්තිකාරම් මුදලක් දී ඇත. ඒ කාලේ නළු නිළියන්ට චිත්‍රපටය සඳහා තමන්ගේ ඇඳුම් තමන්ම සපයා ගත යුතුව තිබිණි. 'ඒ කාලේ 1952 වසරේ රුපියල් 500 ක් කියන්නේ ලොකු මුදලක්. දැන් මම ඉන්දියාවට යන්න ලෑස්තියි. මේ සල්ලි වලින් ඇරෝ කමිස 2 කුත්, රෝමර් 21 අත් ඔරලෝසුවකුත්, ෆ්ලොරයිඩ් සන්ග්ලාස් එකකුත්, ගැබඩීන් රෙද්දෙන් සූට් එකකුත්, බ්ලැක් ජෝන් වයිට් සපත්තු කුට්ටමකුත් ගත්තා. තව රුපියල් 150 කුත් ඉතුරු වුණා. මාව ජෝන් ජයපාලට තෝරා ගත් බව පත්තරවලින් දැනගත් යාළුවෝ මාව වට කර ගත්තා. මාව කෙළින්ම ටක්ෂොප් එකට ඇදගෙන ගිහින් පාටියක් ඉල්ලුවා. වඩේ, බිස්කට්, මස්කට්, මාළු පාන් සහිත තේවලින් කරපු සංග්‍රහයට රුපියලක් වියදම් වෙන්න ඇති. මම ඉ.ඉ.ඛ් විභාගයට පෙනී සිට අන්තිමදා ඉන්දියාව බලා පිටත් වුණේ' ස්ටැන්ලි අපට කියා ඇත. ඉන්දියාවේදී ස්්ටැන්ලි හා රුක්මණි ගැයූ ප්‍රේම ගීත දෙකක් වර්ණයෙන් රූපගත වී ඇත. සිංහල චිත්‍රපටයක ආ ප්‍රථම වර්ණ ප්‍රේම ජවනිකා මේ බවයි ස්ටැන්ලි පවසා ඇත්තේ. මේ ගීත දෙක නම් 'අන්න සුදෝ අර පාට වළා' හා 'මගේය ප්‍රේම මාලිනී'ය. චිත්‍රපටයේ එන ඇතුළත දර්ශන සිටිඩ්‍රල් චිත්‍රාගාරයේ ද එළිමහන් දර්ශන ලංකාවේ ද රූගත වී ඇත. ජෝන් ජයපාල මාලිනී සොයා නිකිනියානේ සැරසරන දර්ශන රූගතව ඇත්තේ අරණායක සංගිලි පාලම අසලදීය. මේ දර්ශන පසුබිමේ දැක්වෙද්දී ස්ටැන්ලි 'පෙම් අම ධාරා හර්දේ පිරිලා' ගීතය ගයමින් ගමන් කර ඇත. 'කැලෑහඳ' චිත්‍රපට ගතවන බොහෝ අවස්ථාවල නවකතා කතුවර ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා ස්ටැන්ලිට හා රුක්මණීට උපදෙස් දී ඇත. සිංහල සිනමාවේ ජෝන් ජයපාල වූ වර්ණකුලසූරිය ඔස්වත්ත ලියනගේ ඇන්තනි ස්්ටැන්ලි පෙරේරා හෙවත් ස්ටැන්ලි පෙරේරා 1933 මාර්තු 14 වෙනිදා වෙන්නප්පුවේ දුම්මලදෙනියේ උපත ලබා ඇත. හතර දෙනෙකුගෙන් යුත් පවුලක ඔහු බාලයාය. ඔහුගේ පියා මෙදාර්ත පෙරේරා ගමේ පොලිස් නිලධාරියෙකි. මවගේ නම මාර්තිනා වාස්ය. ස්්ටැන්ලි 'කැලෑහඳ' චිත්‍රපටයෙන් ජනප්‍රියත්වයේ මුදුනට නැංගේ රුක්මණී දේවි සමඟ රඟපෑමත් සමඟය. ඉන්පසු අයිරාංගණී, දුප්පතාගේ දුක, සරදම්, සේපාලි, චණ්ඩාලි, සුහද සොහොයුරෝ, සසරක හැටි, හතර මහා නිධානය, හතර පෙරළිය, ළාදළු, ගංතෙර, සොඳුරු යුවළ ඇතුළු චිත්‍රපට 60 ගණනක ඔහු විවිධ චරිත රඟපෑවේය. ඔහු චිත්‍රපටවල රඟපෑ ගීතමය අවස්ථා සිංහල සිනමාවේ අමරණීයත්වයට පත්ව ඇත. 'තරු පායන ආකාසේ', 'රාණි එන්කෝ නැගීම පෙම්' (අයිරාංගණී), 'මේ සෞම්‍ය රාත්‍රිය ගෙවිලා යති' (සේපාලි), 'මැණිකක් රකිනා නා රජිඳෙකු සේ', 'ඈත අහසේ ආලෝකෙ නැඟෙයි', 'සඳෙහි සඳුන් වනේ' (චණ්ඩාලි), 'සුවදෙන සිත සැනසුම්' (ළාදළු), 'උම්බෑ කිය කියා මරණ බයේ' (හතර මහා නිධානය) මේ ගීත අතර සුවිශේෂය. චිත්‍රපට නිළි ගර්ලි ගුණවර්ධන හා විවාහ වු ස්්ටැන්ලි චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ 'ටොම් පචයා' (සම අධ්‍යක්ෂ රෝයි ද සිල්වා) චිත්‍රපටයෙනි. ඉන් පසු 'සඳා' චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ඔහු ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙස ද රූපවාහිනී මාධ්‍යයට එක් විය. ස්ටැන්ලි ගර්ලි යුවළට දියණියන් හතර දෙනෙකි. සන්ධ්‍යා, සද්නා, සබීතා, චන්දිමා අතරින් සිනමා නිළියක් වන්නේ සබීතාය. ඇය ජනප්‍රිය මෙන්ම සම්මානනීය නිළියකි. 2010 වසරේ අරණායක සංගිලි පාලම නවීකරණයෙන් පසු එය විවෘත කිරීමට ස්ටැන්ලිට ආරාධනයක් ලැබිණ. අද මේ පාලම 'කැලෑහඳ සංගිලි පාලම' ලෙස නම් කර ඇත. එහි ස්ටැන්ලි හා රුක්මණී රඟපෑ රූප රාමුවක් සහිත පුවරුවක් ද සවි කොට තිබිණි. වැඩිහිටි මිතුරකු ලෙස ස්ටැන්ලි මිය යන තෙක්ම මගේ හද දිනූ මහත්මා කලාකරුවෙකු වී සිටියේය. ස්ටැන්ලි පෙරේරා යනු කළගුණ දන්නා නිහතමානී කලාකරුවෙකි. තමාට අත හිත දුන් බී. ඒ. ඩබ්ලිව්., රුක්මණී, එඩී ගැන ඔහු පුන පුනා අගය කලේ කෘතගුණ මතක් කරමිනි. මුල් යුගයේ බැබළුණු කොයි නළුවන් තුළත් මේ වෘත්තීය ගරුත්වය හා කළගුණ සැලකීම අනිවාර්යෙන්ම දක්නට ලැබිණ. මහත්මා ගති ගුණවලින්, උතුරා යන මානව දයාවෙන් යුතු මේ මහ නළුවා මිය යන තෙක්ම මනා රූ සපුවෙන් මුල්ම ජෝන් ජයපාල මෙන්ම කඩවසම්ව සිටියේය. 2011 අගෝස්තු 10 වෙනිදා මහත්මා නළුවා අපගෙන් සමු ගත්තේය. |