වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 07 වැනිදා බ්‍රහස්පතින්දා




වැලිකතරක අභිරහස් මෙහෙයුමක්

වැලිකතරක අභිරහස් මෙහෙයුමක්

    

මිච් රැල් ගේ මව සහ පියා රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වන්නේ, ඔහුගේ වයස අවුරුදු දහහතරක්ව තිබියදීයි. දැන් මිච්ගේ වයස අවුරුදු විසිතුනකි. ත්‍රස්ත ප්‍රහාරයක් හේතුවෙන් ඔහුට තම පණ මෙන් ආදරය කළ පෙම්වතියද අහිමි වන විට ඔවුන් විවාහ ගිවිස ගත්තා පමණි.

මිච්, තම පෙම්වතිය තමාට අහිමි කළ සතුරන් සොයා යන විටදී සිදු වන්නේ තවත් අහඹු සිදුවීමකි. අමෙරිකාවේ මධ්‍යම රහස් ඔත්තු ඒජන්සියේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා අයරින් කෙනඩි විසින් ඔහු රහසිගත මෙහෙයුමක නිලධාරයකු ලෙස බඳවා ගනී.

පසුව ඔහු පුහුණු කිරීම සඳහා සීතල යුද්ධයේ දක්ෂ හමුදා නායකයකු වන ස්ටෑන් හර්ලි යටතට යොමු කරවයි. යුද සහ සිවිල් ජනයා ඉලක්ක කරමින් එල්ල කිරීමට නියමිත ප්‍රහාර වැලක් පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම මොවුන් දෙදෙනා වෙත භාර කෙරේ. ඒ අනුව මැදපෙරදිග ලෝක යුද්ධයක් ඇති කිරීමේ අභිරහස් මෙහෙයුමක් ව්‍යාර්ත කිරීම දැන් ඔවුන් හමුවේ ඇත.

හෙට (සැප්තැම්බර් 15) සිට American Assassin නමින් නවතම හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටයක් දිගහැරෙන්නේ මෙලෙසිනි. ත්‍රාසය රැගත් දේශපාලන නවකතා රචනයෙහි ජනප්‍රිය වින්ස් ෆ්ලින් විසින් රචිත American Assassin නවකතාව පාදක කොට ගෙන නිර්මාණය කෙරුණු American Assassin  චිත්‍රපටය අධ්‍යක්ෂණය මයිකල් ක්වෙස්ටා විසිනි.

මයිකල් ක්වෙස්ටා, Homeland, Blue Bloods, Dexter, Six Feet Under  වැනි ශ්‍රේණිගත කිරීම්වල ඉහළටම පැමිණි රූපවාහිනි කතාමාලා රැසකටම අධ්‍යක්ෂණයෙන් දායක වී ඇති අධ්‍යක්ෂවරයෙකි. L.I.E., Kill the Messenger, Roadie  ඔහුගේ අනෙකුත් සිනමා අධ්‍යක්ෂණයන් වේ.

American Assassin චිත්‍රපටයේ මිච්ගේ චරිතයට පණ පොවන්නේ, ඩිලන් ඔබ්‍රියන් විසිනි. ඔහු හොලිවුඩයේ ඉහළ ජනප්‍රියත්වයක් දිනා ගත්තේ The Maze Runner  චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතය වන තෝමස් ලෙසිනි.

ස්ටෑන් හර්ලි ලෙසින් ප්‍රවීණ නළු මයිකල් කීටන්ද අයිරින් කෙනඩි ලෙසින් සානා ලාතන් ද රංගනයෙන් දායක වේ. වින්ස් ෆ්ලින්ගේ කෘතිය ඇසුරෙන් American Assassin  චිත්‍රපටයේ තිරරචනයට ස්ටෙෆන් ශිෆ්, මයිකල් ෆින්ච්, එච්ඩර්ඩ් ස්වික් සහ මාර්ෂල් හර්ෂොවික් දායක වී ඇත.

චිත්‍රපටයේ නිෂ්පාදන කාර්යය ආරම්භයේදී මිච්ගේ චරිතයට, ක්‍රිස් හෙම්ස්වර්ත්ගේ නම සහ හමුදා නිලධාරි ස්ටෑන් හර්ලි ගේ චරිතයට බෲස් විලීස්ගේ නම යෝජනා වී තිබුණි.

රූගත කිරීමේ කාල වකවානු පිළිබඳ ගැටලුවක් නිසා ක්‍රිස් මෙයින් ඉවත් වූ අතර ස්ටෑන් හර්ලි ගේ චරිතය මයිකල් කීට්න් වෙත භාර කෙරිණි.

මෙහි රූගත කිරීම් 2016 වසරේදී සිදු කෙරුණේ, ලන්ඩනය, රෝමය සහ මෝල්ටාවේ අගනුවර වෙලීටාහිදිය.