|
මෙවර රයිගම් ටෙලීස් හි හොඳම නැඟී එන නළුවා වුණේ සජිත අනුත්තර. නැඟී එන නිළිය නදීශා මධුශානි රූපසිංහ. ඉතා හොඳ පැහැදිලි ගමනක් ඇති මේ දෙපොළ ගැන ක්ෂේත්‍රය තුළ මතු බලාපොරොත්තු තැබිය හැකි බවට කිසිදු සැකයක් නැහැ. ඉතින් අප ඔවුන්ට මේ ඉඩ වෙන් කළා. සම්මානයක් ගැන මගේ පොඩි බලාපොරොත්තුවක් තිබුණානදීශා මධුශානි රූපසිංහටෙලි නාට්‍ය රංගනයට ලැබුණු ප්‍රථම සම්මානයසජිත අනුත්තර
* ටෙලි නාට්‍ය රංගනය වෙනුවෙන් සජිත ගත්තු පළමුවැනි සම්මානය නේද මේ? ඔව්. සිනමාපට වෙනුවෙන් මං සම්මාන අරගෙන තියෙනවා. ඒ පුංචි කාලේ. තරුණ වියට පත්වුණාට පස්සේ ගත්තු පළමුවැනි සම්මානයත් මේක තමයි. * බොහිමියානුවා ටෙලි නාට්‍යයේ රංගනය වෙන්වෙන් තමයි ඔබ මෙලෙස නැඟී එන නළුවා බවට පත් වුණේ? මෙහිදී ඒ නාට්‍ය කණ්ඩායමට ස්තුති වෙන්න ඕනෑ. බොහිමියානුවා පිටපත රචනා කළේ නාමල් ජයසිංහ අයියා. මං ඉතාමත් ගරු කරන චරිතයක් තමයි ඔහු. තවත් විදිහකින් කිව්වොත් මං නාමල් අයියගේ රසිකයෙක්. එවන් වූ අයකුගේ නිර්මාණයකට මං සහභාගි වුණේ ඉතාමත් කැමැත්තෙන්. * නමුත් මං අහලා තියෙනවා ඔබ ටෙලි නාට්‍ය රංගනය හරියට මඟ හරිනවා කියලා? ඒක ඇත්ත. තවම එහෙමයි. ඊට හේතුව මං කැලණිය විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව උපාධිය හැදෑරීම. ෆුල්ටයිම් මං එයට කාලය යොදවනවා. * ඔබේ අප්පච්චි ජැක්සන් ඇන්තනි නේද ඔබට වැඩිපුරම බල කෙරුවේ බොහිමියානුවා නාට්‍යයෙහි රඟපාන්න කියලා? අප්පච්චි මට කිව්වා මේ නාට්‍යය බාරගන්න කියලා. පිටපත ලැබුණුු දවසේ ඉඳලා ඔහු චරිතය ගොඩ නඟන්නට මට උදව් කළා. ටෙලි නාට්‍ය විකාශය වෙද්දී මගේ රංගනය අපප්ච්චි කිහිප සැරයක්ම දැකලා තිබුණා. ඔහු නිතරම කිව්වේ ඔහු කැමැතිම රංගන ශෛලියකට මං රඟපානවා කියලා. * කවදද අප්පච්චිගෙන් අන්තිමයට බැනුම් ඇහැව්වේ? මං ගෙදරට නොකියා සැලොන් එකට ගිහින් කොණ්ඩ මෝස්තරයක් දාගත්තා. අන්න එදා තමයි අප්පච්චි මට අවසන් වතාවට දොසක් කිව්වේ. මගේ මූණටම කිව්වේ නැහැ. වහෙන් ඔරෝ මගේ කොණ්ඩෙ ගැන කිව්වා. * බොහිමියානුවා රඟපාද්දී හිතුණද ඒ චරිතය සම්මානනීය වේවි කියලා? කොහෙත්ම නැහැ. * ඔබ සම්මානය ගන්නවා බලන්න ඔබේ අම්මා කුමාරි මුණසිංහ ආවේ නැත්තේ ඇයි? ඇය හොඳටම අසනිප වෙලා හිටියේ. තවමත් එහෙමයි. ඒ තත්ත්වය මත රයිගම් උලෙළට ඇයට එන්න බැහැ. ආනත් හරිම වෙහෙසට පත්වේවි. මොකද ක්ෂේත්‍රයේ අය කතාබහ කරද්දී කතා නොකර ඉන්නත් බැහැනෙ. * නමුත් ඔබේ අම්මා රයිගම් බලන්න යන්න ලැහැස්තිත් වුණාලු නේද? ඔව්. සාරියත් ඇන්දා. මමම තමයි කිව්වේ අම්මට ගෙදර නවතින්න කියලා. අප්පච්චි මට දෝෂාරෝපණය කළා අම්මව ගෙදර නවත්වන්න හදපු එකට. ඒත් ඇය එදා ගෙදර හිටපු එක තමයි හොඳ. මං සම්මානෙ අරන් ගෙදර ආවේ එදින පන්දර දෙකට විතර. එතකොටත් අම්මා ඇහැරිලා. ඇයට මං සම්මාන ගන්න අයුරු වීඩියෝ ක්ල්ප් එකක් මඟින් එවෙලේ පෙන්නුවා. * මේ දිනවල ප්‍රේමය අත්විඳිමින් සිටිනවා කියලා ආරංචියි? ගොඩක් හොඳට ප්‍රේමය අත්විඳිනවා. ඇය ක්ෂේත්‍රයේ කෙනෙක් නම් නෙවෙයි. නමුත් මට පුදුම විදිහට සපෝර්ට් කරනවා. මේ වන විට මං ප්‍රේමයේ මුල් අවධිය තමයි ගත කරන්නේ. හරිම සුන්දරයි. සජිතගෙන් පසුව අප නදීෂාව කතාබහට එකතු කරගත්තා.
* සජිත වගේම නදීශාත් ටෙලි නාට්‍ය වෙනුවෙන් ගත් පළමු සම්මානය නේද මේ? ඔව් අයියේ. * ඔබව සම්මානයට පාත්‍ර කළ වන් වේ නාට්‍ය ගැන මතකය අවධි කළොත්? මට ඒ නාට්‍යයට කතා කළේ එහි සහාය අධ්‍යක්ෂවරයා. නාට්‍යයෙහි මගේ චරිතයේ නම සේපාලිකා. නර්ස් කෙනෙකුගේ චරිතයක්. මේ චරිතය ගොඩ නඟා ගැනීමට අධ්‍යක්ෂ ලලිත් රත්නායක මහතා බෙහෙවින් උදවු කළා. ඒ සහාය මත මං රංගනයේ යෙදුණා. * පුංචි හෝ බලාපොරොත්තුවක් තිබුණද මේ චරිතයට සම්මානයක් ලැබේවි කියලා? බොරු කියනනේ මොකටද හිතේ පොඩි අදහසක් තිබුණා. * සම්මානය ගත්ත වෙලාවේ මොනවද හිතුණේ? ගොඩක් ලොකු සතුටක් දැනුණා. ඒ වෙලාවේ මට මතක් වුණේ මගේ අම්මවයි, තාත්තවයි. ඔවුන් මට මේ ක්ෂේත්‍රය තුළ නමක් හදාගන්න මුල ඉඳලම උදව් කළා. සැමියාවත් මේ මොහොතේ මතක් කළ යුතුමයි. * නදීශා ක්ෂේත්‍රයට පැමිණි ආකාරය මතක් කළොත්? මං ඉගෙන ගත්තේ ගාල්ල ශ්‍රී හර්දයේ කන්‍යාරාමයෙන්. උසස් පෙළට නාට්‍ය හා රංග කලාව ඉගෙන ගත්තා. මේ කාලයේදී මට හමුවෙනවා මුදුරංජිත් සිල්වා කියන ගුරුවරයා. ඔහු තමයි මට මේ ක්ෂේත්‍රය ගැන සියලු ගුරුහරුකම් දුන්නේ. පසුකාලීනව මාව තේරුණා සෞන්දර්ය විශ්වවිද්‍යාලයට. ඔය කාලයේදීම වීදි නාට්‍යවලට සහ රාජ්‍ය නාට්‍ය උලෙළට යොමු කළ නාට්‍යවලට රංගනයෙන් දායක වුණා. කාලයක් වේදිකාවෙහිම රඟපෑවා. මේ දිනවල මං ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ හංකිති දහතුන වේදිකා නාට්‍යයට එකතු වෙලා රට වටා සංචාරයේ නියැළෙනවා. අලුපාට හීන තමයි මගේ පළමු නාට්‍යය. අනතුරුව කුණු දැමීම තහනම්, තුංමංතැන්න, අප්පච්චි ආදී ටෙලි නාට්‍යවලත් තන්හා රතී රඟා චිත්‍රපටයත් රඟපැවා. * මේ වන විට ඔබ ගුරුවරියක්? ඔව්. මට සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංග කලා උපාධියත්, කැලණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධියත් මං සම්පූර්ණ කරලයි තියෙන්නේ. මේ ළඟදී තමයි ගුරු පත්වීම ලැබුණේ. * වන්වේ නාට්‍යහි සේපාලිකාට පණ පොවන්න ගිහින් වුණු අමතකම නොවන අවස්ථාව ගැනයි මං අවසන් කොට අහන්නේ? එක දර්ශනයක් තිබුණා මට උලුවස්සක එල්ලිලා කෑගහන්න. පිටපත කියවලා සහ අධ්‍යක්ෂවරයාගෙන් උපදෙස් ලබාගෙන මං ඊට පෙනී සිටියා. වන් ටේක් එකෙන්ම ඒක ගත්තා. මං හිතුවේ නැහැ වන් ටේක් එකෙන් ඒක මට කරන්න පුළුවන් වේවි කියලා. නමුත් මං ඒක කළා. අධ්‍යක්ෂවරයා ද බෙහෙවින් සතුටු වුණා ඒ රංගනයට.
|