|
රොබෝවරුන් පෘථිවියට පැමිණෙන රහස කුමක්ද?
පරිගණක අංශයෙන් සිනමා ක්ෂේත්‍රය තුළ තුළ විශාල පෙරළියක් කළ සිනමාපටයක් ලෙස මයිකල් බේ අධ්‍යක්ෂණය Transformers චිත්‍රපට මාලාව හැඳීන්විය හැකිය. 2007 වසරේදී පළමු Transformers චිත්‍රපටය තිරගත වූ අතර Revenge of the Fallen (2009), Dark of the Moon (2011) and Age of Extinction (2014) වශයෙන් එම චිත්‍රපට මාලාවේ අනෙකුත් චිත්‍රපට තිරගත කෙරිණි. මේ වන විට මෙම චිත්‍රපට මාලාව සමඟින් සුපිරි ක්‍රීඩා වාහන එකතුවක්ද එළි දක්වා ඇත. සෑම් විට්රිකි හට පාසැල් වියේදීම පියාගෙන් ලැබෙන වටිනා ත්‍යාගයක් වෙන්නේ සුපිරි මෝටර් රථයකි. එය කාර් එකක් වුව ද ඊටත් වඩා නිර්මාණශීලී වූ රොබෝ කෙනෙකු බවට පත්වීමට එයටහැකියාවක් ඇති බව පසුව සෑම් දැනගනියි. බම්බල්බී නම් වූ මේ රොබෝ පිටසක්වලින් පැමිණි රොබෝවෙකි. මේ රොබෝවට අමතරව තවත් එවැනිම වූ රොබෝවරුන් විශාල පිරිසක් පෘථිවිය වෙත පැමිණ සිටින්නේ ඕල්ස්ට්‍රාබ්ක් නම් වූ ඔවුන්ගේ ආත්මයන් ඇතුළත් වූ උපකරණය අයිති කර ගැනීමටය. මෙහිදී යහපත් වූ රොබෝවරුන් සහ නපුරු වූ ක්‍රියාවන්ට යොමු වූ රොබෝවරුන් අතර අරගලයක් සිදු වන විටදී සෑම් හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ද මේ අතරට මැදි වෙන්න සිදු වේ. ඉන් අනතුරුව සෑම් උසස් අධ්‍යාපනය හදාරණ විටදී ඩිසෙස්ටිකොන්ස් නම් වූ දරුණු රොබෝ යළි පැමිණෙන්නේ ඊජිප්තු පිරමිඩයක් තුළ සඟවා තිබෙන පිටසක්වල ජීවීන් හට අයිති වූ යමක් රැගෙන යාමටය. ඔවුන් ඒ වෙනුවෙන් සෑම්ගේ බුද්ධිය අයුතු අන්දමින් යොදා ගැනීමට තැත් දරයි. පිටසක්වල ජීවින්ට අයත් වූ එම උපකරණයෙන් සූර්යයා පවා විනාශ කළ හැකි බව ඔවුන් වටහා ගනියි. මේ නිසා සෑම් ගේ පවුලේ සාමාජිකයන් යළිත් භීතියට පත් වේ. මෙම සිදුවීම්වලින් නොනැවතෙන දරුණු රොබෝවන්ගේ මීළඟ අරමුණ බවට පත් වෙන්නේ සඳමත දී සැඟවුණු රොබොවරුන්ට අයත් අභ්‍යවකාශ යානාවක් සොයා ගැනීමයි. එහිදී ද ඇතිවන රොබෝවරුන්ගේ ගැටුමට සෑම් හට මැදිවන්නට සිදු වේ. මේ සෑම අවස්ථාවකදීම තම මෝටර් රථය වූ බම්බල්බී ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන්නේය. යළිත් මේ රොබෝවන් මිනිසුන් අතරට පැමිණේ. එහෙත් මේ වන විට වාහන නිර්මාණ ශිල්පියෙක් තම දියණිය සමඟින් රොබෝවන් විනාශ කිරීමේ යන්ත්‍රයක් නිර්මාණය කරමින් සිටියි. Transformers සිව්වැන්න දක්වා සිදුවීම් පෙළ ගැසෙන්නේ මෙලෙසිනි. ඔප්ටිමස් ප්‍රයිම් මේ වන විට නොමැති අතර ප්‍රතිවාදි බලය අතර නැවතත් යුද්ධයක් හටගෙන ඇත. තම ලෝකය බේරා ගැනීමට කේඩි ඊගර්, බම්බල්බී සමඟින් සහයෝගිතාවකට එළඹේ. තාරකා විද්‍යාඥ ශ්‍රීමත් එඩ්මන්ඩ් බර්ටන්, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය විවියන් වෙම්බ්ලි සමඟින් පරීක්ෂණයක් දියත් කරන්නේ, රොබෝවරුන් නිරන්තරයෙන් පෘථිවියට පැමිණෙන රහස සෙවීමේ අරමුණෙනි. Transformers චිත්‍රපට මාලාවේ පස් වැන්න මයිකල් බේගේ අධ්‍යක්ෂණයෙන් The Last Knight රිදී තිරයේ දිග හැරෙන්නේ මෙලෙසිනි. පසුගිය 21 වැනිදා සිට ලොවපුරා තිරගත කිරීම ඇරඹි The Last Knight හිදී පළමු චිත්‍රපට ත්‍රිත්වයේදීම අපට හමු වූ වීරයා සෑම් විට්රිකි දක්නට නොමැති අතර නව වීරයකු කේඩි ඊගර් නමින් මේ ඔස්සේ හඳුන්වා දේ. ආරම්භයට වඩා Transformers: The Last Knight චිත්‍රපටයේදී බම්බල්බීගේ මුහුණේ ස්වරූපය ද මඳක් වෙනස් වී ඇත. මාර්ක් වොල්බර්ග්, ජෝෂ් ඩුහමෙල්, ස්ටැන්ලිටුචී, ඇන්තනි හොප්කින්ස් ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති. පැරාමවුන්ට් පික්චර්ස් බෙදාහරින Transformers: The Last Knight නිෂ්පාදන වියදම ඇ.ඩො මිලියන 260කි. Transformers චිත්‍රපට මාලාවේ ආදායම සහ වියදම ගත්විට පළමුවැන්න ඇ.ඩො මිලියන 150ක් වියදම් කර ඇ.ඩො මිලියන 709ක ආදායමක්ද දෙවැන්නේ ඇ.ඩො මිලියන 200ක් වියදමට ආදායම ඇ.ඩො මිලියන 836ක් විය. තෙවැන්න ඇ.ඩො මිලියන 195ක වියදම වෙනුවෙන් ආදායම ඇ.ඩො බිලියන 1.124 ක්ද සිව්වැන්නේ වියදම ඇ.ඩො මිලියන 210කට ආදායම ඇ.ඩො බිලියන 1.104ක් විය. චිත්‍රපට මාලාව IMDb හි ලබාගත් ලකුණු ප්‍රමාණය පිළිවෙලින් 7.1/10, 6/10, 6.3/10, 5.7/10 සහ 5.4/10 ක් ලෙස වේ. රොටෙන් ටොමැටෝස්හි විචාරක ප්‍රතිචාර පිළිවෙලින් 57%, 19%, 35%, 18% සහ 15%ක් වේ. Transformers: The Last Knight චිත්‍රපටය වෙනුවෙන් ද ලැබෙන විචාරක ප්‍රතිචාර නම් එතරම් යහපත් බවක් නොපෙනේ. නමුත් එහි ආඩම්බර විය හැකි විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග ගැන නම් ඔවුන් ඉතා ඉහළින් වර්ණනා කර ඇති බව පෙනේ. පීටර් ට්‍රැවල්ස් නම් විචාරකයා පවසන්නේ, මයිකල් බේ Transformers චිත්‍රපට මාලාවට නව චිත්‍රපටයක් හඳුන්වා දෙන හැම අවස්ථාවකම චිත්‍රපට මාලාව මිය බයන බවයි. නිව්යෝර්ක් ඔබ්සර්වර් හි විචාරක ඔලිවර් ජෝන්ස් පවසන්නේ මෙහි කතාව තේරුම් කිරීමට ගියහොත් ඉදිරියේදී තමාට වෙනත් චිත්‍රපට කතාවක් තේරුම් කිරීමට නොහැකි වනු ඇති බවයි. නිව්යෝකර්හි රිචඩ් බ්‍රොඩ්ගේ අදහස නම් මෙම සිනමා නිර්මාණය තුළ බොහෝ දේ සිදු වුණ ද කුමක් හෝ හිස් බවක් ඇති බවයි. Transformers පස් වැන්නේදී එකිනෙකට නොගැලපෙන සිදුවීම් දාමයක් අමුණා ඇති බව රීල් නිවුස්හි විචාරක ජේම්ස් බැරර් සඳහන් කර සිටියි. නමුත් විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග ප්‍රේක්ෂකයා ඇද බැඳ තබා ගැනීමට සමත් බවත් ඔහුගේ අදහසයි.
|