|
පිය සෙනෙහස තරම් සවියක් දියණියකට තව කොයින්ද
බොර පාට දෑස්, තියුණු කලබළකාරී ඒවා කරකැවෙන්නේම දෙතැනකට. එකක් කැමරා ඇසක්, අනෙක ඒ කැමරාව මෑනු තුරුණු රූ සිරිය. බොර පාට දෑසක් තුරුණු රූ සිරිය පුරා දුවන අන්තරාව නොදැන ඉවත බලාගත් දිගැසියක්. ඒ අවසරයෙන් තටු ලැබූ කාමාතුරයා රිසි සේ රුවැත්තියගේ රූ සිරි සොරකමේ.
‘දුව නැත්නම් උඹ වරෙන් . . .’ හොරෙන් ගත් සේයා රූ පොදු නොකරන්නට නම් කාමාතුරයාගෙන් තැබෙන ලන්සුවක් එසේයි. ඒ නෑඹුල් දෝණියගේ පහස නොලැබෙන තැනට වැඩ සැලසෙන විට කාමාතුරයාගෙන් එන විකල්පයයි. ඊට මේ අම්මලා දූලා කෙසේ මුහුණ දේවිද? වෝකි ටෝකි හඬක් පැතිරේ. කාකි සූට් හැඳගත් පොලිස් නිල දරුවන් ලහිලහියේ රජකාරියේ නිරතව සිටී. ඒ අතරේ අලුත් පොලිස් ස්ථානයක රූපවාහිනී යන්ත්‍රයේ මැවෙන්නේ ඉපැරැණි චිත්‍රපටයක වගතුගය. ගම්බද පෙනුමැති සරම කමිසය හැඳගත් මැදිවියේ පසුවන ව්‍යාපාරිකයෙක් ඉන් උද්දාමයට පත්වේ. අද ඊයේ දුටුවාක් වන් පැහැදිලි මතකයක් ඔහු ඒ සිංහල චිත්‍රපටය පිළිබඳ දිග හරී. පසෙකින් මව් සෙනෙහසකි. අනෙක් පසින් පිය සෙනෙහසයි. හරි වැරැද්ද සහ යහපත - අයහපත ද ඒ අසලම ගැවසේ. ඒ කුමකින් කුමකට නීතිය ඉදිරියේ ජය හිමිවේද? ඒ විනිශ්චයට පෙරාතුව ඒ වටා ගෙතුණු සිනමා රූප පෙළ එළැඹෙන 14 වැනිදා පටන් පුළුල් තිරයේ නරඹන්නට සුවහසක් සිනමා ප්‍රේක්ෂකයන්ට සිරස නාළිකාවෙන් ඇරැයුම් කෙරේ. “ධර්ම යුද්ධය” කොලිවුඩයේ සිනමාවට නම් දැරූවන් සහ ශ්‍රී ලාංකේය දක්ෂ ශිල්පීන් අතින් මෙහෙය වී ලාංකේය ප්රවිණ සහ සම්මානනීය නළු නිළි කැළකගේ රැඟුම් රැගත් සිංහල චිත්‍රපටයයි ධර්ම යුද්ධය. ජැක්සන් ඇන්තනි, දිල්හානි ඒකනායක, ඩග්ලස් රණසිංහ, කුසුම් රේණු, කුමාර තිරිමාදුර, තිසුරි යුවනිකා, විනුම් වන්සදී, ආරියසේන ගමගේ, වසන්ත කුමාරසිරි, අවන්ති අපොන්සු, රොෂාන් පිලපිටිය, ආනන්ද අතුකෝරළ, දනුක දිල්ශාන් ආදීහු ධර්ම යුද්ධයට පණ පොවති. චෙයියාර් රවීගේ අධ්‍යක්ෂණයක් වන ධර්ම යුද්ධය කේ. එස්. චම්මන්ත්රාජ්ගේ විධායක නිෂ්පාදනයකි. කැමරාව ෂන්මුගන් සරවනන්ගේය. ජිතු ජෝශප්ගේ කතාවකි. ගිහාන් රංග බණ්ඩාර සම අධ්‍යක්ෂවරයාය. ප්‍රගීත් එස්. රත්නායකගේ දෙබසින් ද, රාජා සිතුපතිගේ සංස්කරණයෙන් ද, මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ගී පදවලින් ද, මංජුල අයගමගේ කලා අධ්‍යක්ෂණයෙන් ද, ප්‍රියන්ත එස්. වන්නිනායකගේ වෙස් ගැන්වීම්වලින් ද සුරේන් චන්ද්‍රන්ගේ නිෂ්පාදන කළමනාකරණයෙන් ද එළිදුටුවකි ධර්ම යුද්ධය.
|