|
නිර්මාණකරණයේදී අධ්‍යක්ෂවරයාට නිදහස තිබිය යුතුයිප්රදීප් ධර්මදාස
ගෙවුණ සෑම දවසක්ම මට අමතක වෙන්නේ නැහැ. සිනමාපටයක් කරනවා කියලා කියන්නේ හරිම අභියෝගයක්. විශේෂයෙන්ම අප වගේ රටක. බාධක එමටයි. මං සාමාන්‍යයෙන් සීමිත සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගන්න කෙනෙක්.
ප්‍රදීප් ධර්මදාසව අප පළමුව හඳුනා ගන්නේ නිවේදකයකු ලෙසිනි. පසුකාලිනව ඔහුගේ රංගන ප්‍රතිභාව අපි දුටුවෙමු. අනතුරුව ප්‍රදීප් අධ්‍යක්ෂණයට පිවිසියේය. අනෙක් ක්ෂේත්‍ර තුළ සක්‍රීයව කටයුතු කළත් ඔහුගේ එකම හීනය වී තිබුණේ අධ්‍යක්ෂවරයකු ලෙසින් සිය නිර්මාණශීලිත්ය හුවා දැක්වීමයි. ප්‍රදීප් මේ වනවිට තම එම අරමුණ සාක්ෂාත් කොට හමාරය. එහෙයින් ප්‍රදීප් සමඟ කතා කළයුතු දේ බොහොමයි. ඉතින් ප්‍රදීප් කලකට පස්සේ? ඔව්. කොහොමද මේ දවස්වල ඔබේ වැඩ කටයුතු? මං අධ්‍යක්ෂණය කළ අයිස්ක්‍රීම් චිත්‍රපටයේ රූගත කිරීම් ඉවරයි. මේ වනවිට එහි පසු නිෂ්පාදන කටයුතු කරනවා. ඒ වගේම මගේ බොංචිගෙදර ඉන්ද්‍රජාල කියන ටෙලි නාට්‍යහි විකාශය අවසන් වුණා. ඒ වගේම මගේ තවත් නාට්‍යයක් විකාශයවීමට නියමිතයි. ඔය අතරේ තවත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට ලක ලැහැස්ති වෙනවා. අයිස්ක්‍රීම් හි වැඩ නිම වෙන්නත් කලින්? මට හිතෙනවා එක දිගට සිනමාව වෙනුවෙන් වෙහෙස වුණොත් හොඳයි කියලා. අයිස්ක්‍රීම් චිත්‍රපටයේ වැඩ කිසිසේත්ම දෙවැනි තැනට දාලා නැහැ. ඒකෙ වැඩ නිම කරන ගමන් අනෙක් නිර්මාණයට හිත යොදවනවා. සිනමා අධ්‍යක්ෂණයට ඔබ වැඩි වශයෙන් යොමු වන්නට මොකක්ද හේතුව? ඇත්තෙන්ම සිනමාව කියන්නේ හරි නිදහස් මාධ්‍යයක්. අධ්‍යක්ෂවරයාට හිතේ හැටියට නිර්මාණකරණයේ යෙදෙන්න පුළුවන්. අනික මගේ අවසාන බලාපොරොත්තුව වුණෙත් සිනමා අධ්‍යක්ෂවරයකු හැටියට නමක් දිනාගන්න එක. ඒ ගැන හිතලා සිනමාවේ රැඳී සිටිනවා.
මෙතෙක් ඔබ කළ ටෙලි නිර්මාණ හිතේ හැටියට නෙවෙයිද අධ්‍යක්ෂණය කළේ? මං මේක චෝදනාවක් විදිහට නෙවෙයි කරන්නේ. බහුතරයක් නාලිකාවලට ටෙලි නාට්‍ය කරද්දී ගන්න ඕනෑ ඔවුුන්ට ඕනෑ නළු නිළියන්ව. කතා සංකල්පය වුණත් එහෙමයි. ඒ අයට ඕනෑ ඕනෑ විදිහට වෙනස්කම් කරන්න අපි ලැහැස්ති වෙලා ඉන්න ඕනෑ. මට ඒ ක්‍රමය හරි අමාරුයි. චිත්‍රපට එහෙම නැහැ. ඊට හාත්පසින්ම වෙනස්. අධ්‍යක්ෂවරයාට ඕනෑ කතාව, අධ්‍යක්ෂවරයාට අවශ්‍ය නළු නිළියන්ව ගන්න පුළුවන්. අධ්‍යක්ෂවරයකු හැටියට තමන්ට අවශ්‍ය දේ තම නිර්මාණය තුළදී කරන්න බැරි නම් වැඩක් නැහැනෙ. ඔබ මේ වන විට මෙගා අධ්‍යක්ෂණය අතහැරලාද ඉන්නේ? ඔව්. අවසානයට කළේ හිරු තනි වෙලා නාට්‍යය. බොහෝ වෙහෙසයි ඒ නාට්‍ය කරපු කාලය. ඇති වුණා මට. අයිස්ක්‍රීම් ගලා යන්නේ මොන වගේ කතා තේමාවක් ඔස්සේද? කතා තේමාව ගැන කියනවාට වඩා මං කැමැතියි මේක ෆැන්ටසියක් කියලා හඳුන්වන්න. චිත්‍රපටය තුළ ගීත තියෙනවා. සමහර විට හින්දි දමිල චිත්‍රපටයක් වගේ. හදවතටම මේ සිනමාපටය දැනේවි. ඔබ කියන්නේ අයිස්ක්‍රීම් චිත්‍රපටය නරඹද්දී ප්‍රේක්ෂකයා ඒ තුළ ජීවත්වේවි කියලද? එහෙම වෙයි කියලා හිතනවා. අයිස්ක්‍රීම් හැඩ කරන නළු නිළියන් කවුද? හේමාල් රණසිංහ, ජයලත් මනෝරත්න, සරත් කොතලාවල, රුක්මල් නිරෝෂ්, දමිතා , බිමල් ආදී පිරිස තමයි ප්‍රධාන. කෝ ඔබ තුළ සිටි දක්ෂ නිවේදකයා? ගොඩක් කාලෙකින් නිවේදන කටයුතු කළේම නැහැනෙ. නමුත් මා තුළ තවම ඒ හැකියාව තියෙනවා. මගේ අරමුණ වුණේ මේ පැත්තට එන්න. එහෙම්මම නිවේදන කටයුතුවලින් ඈත් වුණා. රංගනයෙන්ද එලෙසින්මයි? රඟපෑවෙත් නැහැ. මේ ළඟදී මගේ බොංචි ගෙදර ටෙලි නාට්‍යයේ චරිතයක් මැව්වා එහි කතා රචක මංජුල වෙඩිවර්ධනගේ දැඩි පෙරැත්ත නිසා. ඔබේ රූපය මේ වන විට ප්‍රේක්ෂකයන්ගෙන් ඈත්වෙලා කියලා හිතනවාද? මං හිතනවා නැහැ කියලා. මගේ රූපය බොහෝ දෙනකුට මතක ඇති. නමුත් ඔබේ ජනප්‍රියත්වය අඩු වෙලා? දැන් මං ඉන්නේ තිරය පිටුපසනේ. තිරය ඉදිරියේ ඉන්න අය තමයි පේ‍්‍රක්ෂකයන්ට මතක. මං හිතන්නේ නැහැ සඳගලතැන්න නාට්‍යයෙවත් මං රඟපෑවා කියලා මිනිස්සුන්ට මතක ඇති කියලා. අප රටේ චිත්‍රපට ලෝකය තුළ යම් යම් අර්බුද තිබෙනවා. ඒත් ඔබ ඒ ක්ෂේත්‍රයෙහිම නියැලෙනවා. ඇයි ඒ? මං පිළිගන්නවා චිත්‍රපට ක්ෂේත්‍රය තුළ අර්බුද තියෙනවා කියලා. නිසි ක්‍රමවේදයක් නැහැ චිත්‍රපට තිරගතවීමේදී. නමුත් එහෙමයි කියලා ක්ෂේත්‍රය අතහැරලා ඉන්න බැහැනෙ. කොහොම කොහොම හරි නිර්මාණ කරන්න ඕනෑ. නැත්නම් පැවැත්මක් නැහැ. ඔබ හිතනවද ලංකාවේ සිනමාව වෙනස් වෙන්න ඕනෑ කියලා? අනිවාර්යයෙන්ම අද වනවිට බංග්ලා දේ්ශයේ පවා සැලකිය යුතු මට්ටමක සිනමාවක් ගොඩනැඟිලා තියෙනවා. අපේ රටේ එහෙමවත් නැහැ. සාම්ප්‍රදායික රාමුවෙන් මිදිලා අපි අලුත් මානයන් සොයා යා යුතුයි. එතකොට අපට දියුණුවක් දකින්නට පුළුවන්. කියන්න කනගාටුයි අපි තවමත් කරන්නේ ඉන්දියන් චිත්‍රපට කොපි කරන එක. ඔබට යළිත් නිවේදන කටයුතු සඳහා ආරාධනා ලැබුණේ නැතිද? සෑහෙන්න ආරාධනා ලැබුණා. නමුත් ගියේ නැහැ. දැන් නුහුරුයි වගේද? එකත් එකක්. දැන් තියෙන සිස්ටම් එක ඇතුළේ මං වගේ නිවේදකයකුට ඉඩක් තියනෙවද කියලා සැකයක් තියෙනවා. මොකද මං සිංගිල්ෂ් නිවේදකයකු නෙවෙයිනේ. ඒ හින්දා මං ඒ ආරාධනා ප්‍රතික්ෂේප කළා. අයිස්ක්‍රීම් චිත්‍රපටය කරන්න ගිහින් වෙච්ච අමතකම නොවන මතකය මොකක්ද? ගෙවුණ සෑම දවසක්ම මට අමතක වෙන්නේ නැහැ. සිනමාපටයක් කරනවා කියලා කියන්නේ හරිම අභියෝගයක්. විශේෂයෙන්ම අප වගේ රටක. බාධක එමටයි. මං සාමාන්‍යයෙන් සීමිත සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගන්න කෙනෙක්. එහෙම කරන්න ගියාම තවත් ප්‍රශ්න වැඩියි. ඒ හේතුවෙන් සිනමාපටය තුළ ගෙවුණු දවස් හැම එකක්ම අමතක වෙන්නේ නැහැ. කොයි කාලේ විතරද අයිස්ක්‍රීම් නරඹන්න පුළුවන් වන්නේ? දිනයක් වකවානුවක් තවම නැහැ. ළඟදීම කියලා තමයි කියන්න වෙන්නේ. ඔබේ පවුලේ විස්තර කතා කළොත්? මගේ බිරිය දිනුජා. ඇය වෛද්‍යවරියක්. කලක් ඇයද නිවේදිකාවක ලෙසින් කටයුතු කළා. අපේ පුංචි කැදැල්ලට පුතාලා දෙදෙනෙක් ඉන්නවා. බොහොම සතුටින් අපි කාලය ගත කරනවා. |