වර්ෂ 2016 ක්වූ  ජූනි 29 වැනිදා බ්‍රහස්පතින්දා




ජනපති අතින් ධර්මසේන පතිරාජයන්ට ප්‍රණාම

ජනපති අතින් ධර්මසේන පතිරාජයන්ට ප්‍රණාම

විශිෂ්ට සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ පනස් වස් සිනමා දිවිය සමරනු වස් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරන ලද පතීට පනහයි ප්‍රණාම උළෙල ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා හලේ දී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.


අනේ මගේ නඩුව අසනු එච්.එස්.පෙරේරා බිරිය රාණිගෙන් ඉල්ලීමක්

නැසීගිය චිත්‍රපට නිෂ්පාදක එච්. එස්. පෙරේරාගේ ආදරණිය බිරිය හදිසියේම සරසවියට පැමිණියා. ඇය මෙලෙස පැමිණියේ එච්. එස්. ට වූ අසාධාරණයක් පිළිබඳ අපට පවසන්න.

එච්. එස්. අන්තිමයට නිෂ්පාදනය කළ චිත්‍රපටය වුණේ ඇද්දා ලණුව දැම්මා කොඩිය චිත්‍රපටයයි. එය නිර්මාණය කරලා මේ වන විට වසර හතකටත් අධිකයි.

චිත්‍රපටය තිරගත වන්නටත් මත්තෙන් එහි ඩී. වී. ඩී. අයිතිය නීත්‍යානුකූල නොවන අන්දමින් ලබාගත් දෙදෙනෙකු ගැන මට දැනගන්නට ලැබුණා. මේ අය කොළඹ මල්වත්ත පාරේ සී. ඩී. ව්‍යාපාරිකයෝ. මම ඔවුනට කතා කරලා මේ ගැන ඇහැව්වා. ඔවුන් කියනවා එච්. එස්. ඇද්දා ලණුව දැම්මා කොඩිය චිත‍්‍රපටය ඔවුනට විකුණුවලු රුපියල් ලක්ෂයකට. මං ඇහැව්වා ඒ සම්බන්ධ ලියකියවිලි තියනවද කියලා. එහෙම ඒවත් නැහැ. අනික චිත්‍රපටයක් රුපියල් ලක්ෂයකට විකුණනවද? හරිම විහිළු කතාවක්නෙ. එච්. එස්. චිත්‍රපට කළේ මගෙත් එක්ක හවුලේ. ඔහුගේ චිත්‍රපට සමාගමේ සෑම ලියකියවිල්ලකටම මමත් අත්සන් කළ යුතුයි. අනිවාර්යයෙන්ම මේ චිත්‍රපටය විකුණන්න බැහැ මගේ අත්සන නැතුව. අන්තිමේ මට ඔවුන් තර්ජනය කරන්න ගත්තා. ඒ අය අහනවා ඔයාට මොනවද මේ ගැන අයිතියක් තියෙන්නේ කියලා. මට නැත්නම් කාටද එච්. එස්ගේ නිර්මාණ ගැන අයිතියක් තියෙන්නේ. මං අන්තිමේ ඔවුන්ගේ ගෙවල් හොයාගෙනත් ගියා. නීතිය ඉදිරියටත් ගියා. කිසිම පිළිතුරක් ලැබුණේ නැහැ. ඔවුන් පවා හරි ලියකියවිල්ලක් ඉදිරිපත් කළේ නැහැ. මේක හරිම අසාධාරණයක්. දුවගේ ඉඩමත් විකුණලයි එච්. එස්. ඔය චිත්‍රපටය හැදුවේ. දැන් දුවත් ඉන්නේ කුලියට. අගෝස්තුවේ චිත්‍රපටය එළියට එනවා. ඒ හරහා ලැබෙන මුදලින් එච්. එස්. අරගෙන තියෙන ණයෙන් බේරලා ඔහුගේ ආත්මයට සැනසීමක් දෙන්නයි මං අපේක්ෂා කරන්නේ. ඒත් වුණේ හරිම අකරතැබ්බයක්. මේ වෙලාවේ මං ඉල්ලීමක් කරනවා ඇද්දා ලණුව චිත්‍රපටයේ හරි අයිතියක් කාට හරි දීලා තියෙනවා නම් ලියකියවිලි සහිතව මට ඉදිරිපත් කරන්න. 0711879994 අංකයට මේ ගැන කිව හැකියි.


 

සුඛෝපභෝගී සිනමා සමාජයක් බම්බලපිටියේ

මෙරට සිනමා ලෝලීන්ට නවමු අත්දැකීමක් ලබාදෙමින් අති සුඛෝපභෝගී සිනමා ශාලාවක් බම්බලපිටියේ මෙල්බර්න් මාවතේ පසුගියදා විවෘත විය. මථුරා සිනෙසිටි ෆිල්ම් ක්ලබ් යනුවෙන් නම් කොට ඇත. සුප්‍රසිද්ධ මථුරා අවසන්හල අධිපති සහ සිනෙ සිටි සිනමා සංකීර්ණයේ අධිපති බුද්ධි කිර්තිසේනගේ සංකල්පයකට අනුව නිම වුණු මෙහි කැමැති ආහාර වේලක රස විඳින ගමන් සිනමාපටයක් නැරැඹීමට අප සිනමා පේ‍්‍රක්ෂකයන්ට අවකාශය සපයනු ඇත. මෙය මෙරට ප්‍රථමවරට ෆිල්ම් ක්ලබ් සංකල්පය යටතේ ඉදි වූවකි.


වැලිකතර හෙට සිට යළිත්

විශිෂ්ට සිනමාවේදී ආචාර්ය ඩී. බී. නිහාල්සිංහයන්ගේ විශිෂ්ටතම සිනමා නිර්මාණයක් වු වැලිකතර (ප්‍රථම පුළුල් තිර වෘත්තාන්ත චිත‍්‍රපටය) ඩිජිටල් තාක්ෂණයෙන් ප්‍රතිස්ථාපිතව මේ මස 30 වැනිදා සිට තිරගත කෙරේ.

කොළඹ රීගල් ඇතුළු සී. ඊ. එල්. ප්‍රදර්ශන මණ්ඩලයේ සිනමාහල් 24 කදී සීමිත දින ගණනකට ප්‍රදර්ශනය වන වැලිකතර සිනමාපටයෙහි කතාව, දෙබස් තිර රචනය ආචාර්ය තිස්ස අබේසේකරගෙනි.

සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, සුවිනීතා අබේසේකර, දේවිකා කරුණාරත්න, පියසේන අහංගම, ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර, චන්ද්‍රා කළුආරච්චි, එල්සන් දිවිතුරුගම, බුද්ධි වික්‍රම, මාක් ඇන්තනි ඇතුළු නළු නිළියන් රැසක් රඟපාන වැලිකතර හි සංගීතය සෝමදාස ඇල්විටිගලගෙනි. අමරදේවයන් මෙහි පසුබිම් ගායනයෙන් දායක වී ඇත.

වැලිකතර කැමරා අධ්‍යකෂණයෙන්, සංස්කරණයෙන් සහ නිෂ්පාදනයෙන් නිහාල්සිංහ දායක වී ඇත. ෆෝ ඉන් වන් සංසදයේ සංවිධානයෙන් වැලිකතර ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කරන්නේ ද වීඩියෝ ටීම් ආයතනයයි.


සෞන්දර්යාභිමානි කලා උලෙළ 03 වැනිදා

සෞන්දර්ය විශ්වවිද්‍යාලය පූර්ණ විශ්ව විද්‍යාලයක් බවට පත්වීමේ සංවත්සර සැමරුම වෙනුවෙන් සංවිධානය කළ සෞන්දර්යාභිමානි 2017 කලා උලෙළ එළැඹෙන ජූලි මස 3 වැනිදා සෞන්දර්ය විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වේ. විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් ගේ සහ ආචාර්යවරුන්ගේ දායකත්වයෙන් චිත්‍ර, මූර්ති, නාට්‍ය, නර්තන සහ සංගීත නිර්මාණ මෙන්ම විවිධ සංස්කෘතික අංගවලින් මෙය සමන්විත වේ. එයට අමතරව සාර්ක් කලාපීය රටවල් අටක ප්‍රවීණ චිත්‍ර ශිල්පීන්ගේ නිර්මාණවලින් යුත් සිතුවම් දැක්මක් ද මෙහිදී පැවැත්වේ.