වර්ෂ 2016 ක්වූ  ජූනි 29 වැනිදා බ්‍රහස්පතින්දා




‘අසුරු සැණින් එක මොහොතකදී’ ගීතය මට වාසනාව ගෙනාවා

‘අසුරු සැණින් එක මොහොතකදී’ ගීතය මට වාසනාව ගෙනාවා

ප්‍රවීණ ගායිකා යමුනා විමෝදනී

මාව රූපයෙන් දැකලා නැති වුණත් මගේ හඬ ඇසූ බොහෝ රසිකයන්ගේ සිතේ මේ ගීතය ඇඳුණා. ගීතය ප්‍රචාරය වුණාට පසුව කාලෙකින් තමයි මාව රසිකයන් හඳුනාගත්තේ. දැන් පරපුරත් මේ ගීතය ගායනා කරනවා. ඒ කාලේ මට ගොඩක් පත්තරවලින් ජනප්‍රියත්වය ලැබුණා. ඒ කාලේ තිබුණ පත්තරවල ගායක ගායිකාවන්ගේ පින්තූර දාලා අදහස් යනවා. ඒවගෙන් මට සෑහෙන ප්‍රතිචාරයක් ලැබුණා.

ඒ 1976 වසරේ දිනයකි. තම පියාගේ සුරතේ එල්ලෙමින් ගුවන් විදුලියට පා තැබූ ඇයට එදින විශේෂිත දිනයක් විය. ඒ ගුවන් විදුලියේ සරල ගී ගායිකාවක ලෙස පැවැත් වූ ගායන පරික්ෂණයයි. ගායිකා දිපාල් නාග් ඉන්දියානු ජාතික පරික්ෂකවරිය ඉදිරියේ ගී ගැයූ ඇය ගුවන් විදුලියේ සරල ගී පරික්ෂණය සමත් වන්නේ 'ඒ' ශ්‍රේණියේ ගායිකාවක ලෙස අභිෂේක ලබමිනි. එතැන් පටන් ගායිකාවක ලෙස තම ගමන ඇරැඹූ මේ වාසනාවන්තියගේ ගායන දිවියට මේ වන විට හතළිස් වසරකි. ඇය යමුනා විනෝදනී නම් වන්නීය.

සංගීත දිවියට හතළිස් වසරක් සමරනු වස් ඇය 'අසුරු සැණින් මියැසි ගී මිහිර' රසිකයන් වෙත පුද දෙන්නට සූදානම් වන්නීය. මේ මස 30 වැනිදා සවස 6.30 ට මරදාන ටවර් රඟහලේදී ඇය ගීතවත් වන්නේ ඔබ මා වෙනුවෙනි. යමුනා සමඟ යෙදෙන මේ කතාබහ ඒ නිමිත්තෙනි.

'අසුරු සැණින් ගී මියැසිය' ඔබේ ගායන දිවියේ විශේෂ කඩඉමක්?

ඔව්. රසිකයන් වෙනුවෙන් ගී ප්‍රසංගයක් කරන්න ඕනෑ කියලා හිතයට හුඟක් කාලෙක ඉඳලා තිබුණු අදහසක්. ඒ අවස්ථාව මේ 30 වැනිදා එළැඹී තිබෙනවා.

වසර හතලිහක් පුරා ගායනා කරන එක පහසු නැහැ?

සරල ගී ගායිකාවක් විදිහට ක්ෂේත්‍රයට එක්වෙලා වසර හතළිහයි. නමුත් මම ගීත ගායනා කරන්න පටන් ගත්තේ අවුරුදු පහේ ඉඳලයි.

ඒ අතීතය ගැන දැනගන්න කැමැතියි?

මගේ තාත්තා ලෙස්ලි අශෝකා. ඔහු සංගීත ශිල්පියෙක්, වාදකයෙක්. ගුවන් විදුලියේ වැඩ කළා. ඒ වගේම ගෙදරදීත් සංගීත පුහුණුවීමේ නිතරම තාත්තා සිදු කරනවා. මේ ජීිවිතේ අපිට කුඩා කාලේ ඉඳලම හුරුයි. පොඩි දවස්වලදීම මගේ අම්මා නැති වුණා. ඉතින් පියාගේ සෙවණ යට තමයි අපි ලොකු මහත් වුණේ. තාත්තාගේ සංගීතය ඔස්සේ තමයි ගායිකාවක ලෙස මගේ ජීවිතය සැකසෙන්නේ.

ඔබ යුගයෙන් යුගය රැඳෙන ගීත කිහිපයකම හිමිකාරියක්?

ඔව්. ආදරය, විරහව හැමදේම වෙනුවෙන් මම ගීත ගැයුවා. ඒ අතර අදටත් ඒ ගීත නැවුම්ව ඇහෙනවා. පරපුරෙන් පරපුර ඒ ගී වැලඳ ගන්නවා.

'අසුරු සැණින් එක මොහොතකදී
කාලය නැවැතී යළි ඇරැඹී
විශ්වය අලුතින් බිහි වේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා . . .'

මේ ගීතයට හැදාමත් එක වගේ ප්‍රතිචාර තිබෙනවා. ඒ වගේම මා ගැයූ 'ප්‍රේමයයි වෛරයයි අතරේ' ගීතයත් කාලය අතික්‍රමණය කරමින් යුගයෙන් යුගය රසිකයා වැලඳ ගන්නවා. වෙලාවකට හිතෙන්නේ එය මගේ වාසනාව නේද කියලයි. මට වාසනාව ගෙන ආ ගීතය ලෙස අදටත් මා සලකන්නේ 'අසුරු සැණින් . . .' ගීතයයි. එය සංගීතවත් කළේ මගේ පියා ලෙස්ලි අශෝකා. පද රචනය ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකා, වැඩසටහන් සම්පාදිකා කුසුම් පීරිස්ගේ.

ඔබේ සංගීත දිවියට විශ්ව විද්‍යාලයත් ආලෝකයක් වුණා?

ඔව්. මම සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ එවකට සිටි හොඳම ගුරුවරුන් යටතේ සංගීතය හැදෑරුවා. බී. වික්ටර් පෙරේරා, පී. වී. නන්දසිරි, සනත් නන්දසිරි, විජේරත්න රණතුංග වැනි ප්‍රවීණයන්ගෙන් සංගීත අධ්‍යාපනය ලබන්නට මම වාසනාවන්ත වුණා.

'අසුරු සැණින්' ගීතයට ඔබ වඩාත් කැමැති ඔබට වාසානාව ගෙන ආ ගීතය බවට පත්වීමට හේතු මොනවාද?

මේ ගීතය මට ලැබෙන්නේ කුසුම් අක්කාගෙන්. ඇගෙන් ගීතයක් ලියා දෙන්න කියා මම ඉල්ලීමක් කළා. ඒ විදියට තමයි මට මේ ගීතය ලැබුණේ. ඒ වගේම එම ගීතය පුරාම තිබෙන්නේ යොවුන් ප්‍රේමය සැබෑවෙලා - පැතුම් ඉටු කරන ලෙස කරන ඉල්ලීමක්. පවිත්‍ර චේතනාවක්. එනිසා මමත් මගේ රසිකයන් වගේම මේ ගීතයට ආදරෙයි. කුසුම් අක්කා මේ ගීතය කුමන හේතුවක් නිසා ලිව්වාදැයි තවමත් මම දන්නේ නැහැ.

මේ ගීතය ගැයූ මුල් දවස්වල ඔබට ලැබුණු ප්‍රතිචාර මොන වගේද?

මාව රූපයෙන් දැකලා නැති වුණත් මගේ හඬ ඇසූ බොහෝ රසිකයන්ගේ සිතේ මේ ගීතය ඇඳුණා. ගීතය ප්‍රචාරය වුණාට පසුව කාලෙකින් තමයි මාව රසිකයන් හඳුනාගත්තේ. දැන් පරපුරත් මේ ගීතය ගායනා කරනවා. ඒ කාලේ මට ගොඩක් පත්තරවලින් ජනප්‍රියත්වය ලැබුණා. ඒ කාලේ තිබුණ පත්තරවල ගායක ගායිකාවන්ගේ පින්තූර දාලා අදහස් යනවා. ඒවගෙන් මට සෑහෙන ප්‍රතිචාරයක් ලැබුණා.

ඔබට 'පේ‍්‍රමයයි වෛරයයි අතරේ' ගීතය ලියුවේ ප්‍රේමකීර්ති ද අල්විස්. ඔහුගේ ගීතය ගැනත් දැනගන්න කැමැතියි?

ප්‍රේම් අයියගේ ගීතයක් ගයන්න ලැබෙන එකත් වාසනාවක් ලෙසයි මම දකින්නේ. දවසක් ප්‍රේම් අයියා හමු වු වෙලාවක මමත් ගීතයක් ඉල්ලුවා. කවුරුන්ට හෝ ඔහු ලියූ ගීතයක් එපා කියලා නැවත ගෙනත් දී තිබුණා. ඔහු මට ඒ ගීතය ගයන්න කිව්වා. මගේ පියා ලස්සනට සංගීතවත් කළා. ඒ ගීතය තමයි අද 'ප්‍රේමයයි වෛරයයි' ගීතය ලෙස කවුරුත් අහන්නේ.

ඔබ ගුවන් විදුලියට එක් වූ ඒ අතීතය ගැනත් දැනගන්න කැමැතියි?

මම 1981 වසරේදී තමයි ගුවන් විදුලියේ ගීත සම්පාදන නිලධාරිනියක් ලෙස එකතු වෙන්නේ. අද වනවිට එහි සහකාර අධ්‍යක්ෂවරියක් (සංගීත) ලෙස කටයුතු කරනවා.

ගුවන් විදුලිය ඔබේ සංගීත ජීිවිතයට බලපෑවේ කොහොමද?

මම නිතරම හිතන්නේ මම ගොඩක් වාසනාන්තයි කියලා. මගේ ඇස් දෙකෙන් ගුවන් විදුලියේ හිටපු දැවැන්තයන් මම දැකලා තිබෙනවා. ඔවුන් ඇසුරු කරමින් ගුරුහරුකම් ලබාගන්න හැම විටම මට හැකි වුණා. නිවේදකයන්, සංගීත ශිල්පීන්, වාදකයන්, නාට්‍යකරුවන්, නිෂ්පාදකයින් ඒ කාලේ නිතරම රැඳුණේ ගුවන් විදුලියේ. ඒ අය හරිම වැදගත් සොඳුරු චරිත. ඒ අයගේ ඇසුර ලැබීමත් සමඟ අපේ ජීවිත පෝෂණය වුණා.

ගායක ගායිකාවන් නිතර දෙවේලේ ඇසුරු කරන්න ලැබුණු නිසාම ඔබත් කැමැති ගායකයෙක් හෝ ගායිකාවක් ඇති?

ඔව් මම ගායිකාවක වුවත් අදටත් මම සෝමතිලක ජයමහ ගායකයාගේ හඬට, ගායනයට හුඟක් ආදරේ කරනවා. එතුමා විරහ ගීත බොහොමයක් ගායනා කර තිබෙනවා. ඒ හඬට ඒ ගීත ඉතාම උචිතයි.

ඔබ ප්‍රවීණ ගායිකාවක් වුවත් ප්‍රසංග වේදිකාවේ හෝ රියැලිටි විනිශ්චය මණ්ඩලවල දකින්න නැහැ?

ඒකට හේතුවක් තිබෙනවා. ප්‍රසංග වේදිකාවේ ගීත ගයන්න ආරාධනා ලැබුණොත් යනවා. නමුත් කුඩා කාලේ ඉඳලම අපි හැදුණේ වැඩුණේ පියා එක්ක. අම්මා කුඩා කාලෙදිම නැතිවුණු නිසා අපේ ආරක්ෂාව සහ රැකවරණය ගැන තමයි තාත්තා නිතරම හිතුවේ. එයින් අධ්‍යාපනයට මුල්තැන දීලා රැකියාවට ආව පසුව ඒ හැම දේම සමබරව කරගන්න මට සිදු වුණා.

ඔබ ගැන සතුටුද?

ඇත්ත. මම හැමදාමත් මම ගැන තමයි සුතුටු වුණේ. අදටත් ඕනෑම දෙයකට ආරාධනාවක් ලැබුණොත් යනවා. ආරාධනා නොලැබුණා කියලා දුකක් නැහැ.

ඔබේ පවුලේ තොරතුරු?

මගේ මහත්තයා නෙවිල් පෙරේරා. ඔහු ව්‍යාපාරිකයෙක්. ලොකු පුතා පුණිල හසන්ත පෙරේරා. ඔහු ජ්‍යෙෂ්ඨ බැංකු නිලධාරීවරයෙක් ලෙස කටයුතු කරනවා. පොඩි පුතා තර්ෂණ මාධව පෙරේරා. ඔහු සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ සිසුවෙක්. ඔහු මාත් සමඟ මේ ප්‍රසංගයේ ගීත ගායනා කරනවා.

ඔබේ ජීවිතයේ අමතක නොවන අත්දැකිම් මොනවාද?

මේ ගමන එන්නට මට ගුරුවරුන් වූ අය වගේම මගේ ගෙදර සියලු දෙනාම මට හැමදාමත් අමතක නොවන අත්දැකීම් තමා.