වර්ෂ 2016 ක්වූ  ජූනි 29 වැනිදා බ්‍රහස්පතින්දා




මොනවද මේ රියලිටි සංඛ -කිංස්ලි නිනෝ ලයිව් ගැන සුහද කතාබහක්

සංඛ දිනෙත් සහ ප්‍රවීණ මාධ්‍යවේදී කිංස්ලි රත්නායක පසුගිය දවසක අපූරු කතාබහක යෙදුනා. මේ කතාබහ www.sarasaviya.lk  මගින් නරඹන්නට පුළුවන්

මොනවද මේ රියලිටි සංඛ -කිංස්ලි නිනෝ ලයිව් ගැන සුහද කතාබහක්

සංඛ - ඇත්තටම මමයි කිංස්ලි අයියයි හම්බ වෙන්නේ සෑහෙන කාලෙකට පස්සේ.

කිංස්ලි - පොඩි කාලෙ ඉස්කෝලේ යන කාලේ හම්බුණාට පස්සේ.

සංඛ - ඒ වගේ කාලයක් වෙනවා.

(දෙදෙනාම සිනාසෙයි)

සංඛ - ඇත්තටම මට කිංස්ලි අයියත් එක්ක මෙහෙම එක මේසෙ වාඩි වෙලා කතා කරන්න හම්බ වෙලා නෑ.

කිංස්ලි - ඒ කලෙ මේස තිබුණෙ නෑනෙ (හිනාවෙමින්)

සංඛ - (හිනාවෙමින්) ඔව්, මේස තිබුණෙත් නෑනෙ. මං ඇත්තටම කිංස්ලි අයියගෙන් අහන්න හිටපු දේවල් ටිකක් තිබුණා. මං හිතනවා මේ කෝපි එක බොන ගමන් අයියගෙන් ඒ දේවල් ටික අහගන්න පුළුවන් වෙයි කියලා. අපිට අවිවාදයෙන්ම පිළිගන්න සිද්ධ වෙනව, රේඩියෝ සංස්කෘතිය ඇතුළේ ගෙනාපු පාරම්පරික සම්ප්‍රදායික මාවත වෙනස් කරලා, රේඩියෝ එක ඇතුළේ නව නැම්මක් ගන්න ඔයා හේතුපාදක වෙනව සහ ඔයා අද වෙන කොට හේතු පාඨයක් වෙලත් ඉවරයි. මේ රේඩියෝ එක ඇතුළේ ඔයා කරන චේන්ජස්, මේව ඔයා සැලසුම් කරල ද කරේ, එහෙමත් නැත්තන් ඒව ඔයාගේ ඇඟෙන් ආපු දේවල්ද?

කිංස්ලි - මුල ටික අහං ඉන්නැද්දි මට මාව කොනිත්තල බලන්නත් හිතුණා, මං මැරිල ද කියලා බලන්න. මොකද මිනිස්සු මැරුණම කරන සුබ කථනයක් මුල ටිකේ ගියේ (හිනාවෙමින්).

(දෙදෙනාම සිනහ වෙයි)

කිංස්ලි - සංඛ දෙවෙනි ටික වැදගත් මට හිතෙන්නේ. අර මුල ටික අමතක කරමු. මොකද කාලෙත් එක්ක තීරණය වෙයි අපි වැඩක් කරා ද නැද්ද කියන එක. කොහොමද චේන්ජ් එකක් ගන්නෙ. නැත්තං කොහොමද බොක්ස් එකෙන් එළියට එන්නේ කියන එක, එතකොට නිර්මාණාත්මක හැඩතල කලින් ප්ලෑන් කරල කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. රියැලිටි ෂෝ එකක නම්, අපි දුවගෙන යනවා නම් අපි නවතින තැන තීරණය කරන්න වෙනවා. ඒවා ඔක්කොම ස්ක්‍රිප්ටඩ්, අපි හිතාගෙන හිටියට රියැලිටි ෂෝ මාරයි. ඒ වෙලේ හිතිච්ච වෙලාවට මේ හිතුණ ගමන් නැඟිටින වෙලාවට ඇඳ උඩ කැමරාවක් තියෙනවා කියල, එහෙම නෑ. කිඹුහුමක් යැව්වත් එකේ ඩෙසිබල් ගාන මෙච්චරයි කියලා නැතත්, කිඹුහුම යවන එක ස්ක්‍රිප්ට් එකේ තියෙන්න ඕනි. තමන් දැනගන්න ඕන ෆෝම් එක මොකක්ද කියලා. ඒ ටික තමයි හෝම් වර්ක් කරල කරන ටික. හැබැයි හෝම් වර්ක් නොකරන දේ තමයි, ස්ක්‍රිප්ට් එකේ නැති ටික. ඒකත් මෙහෙම මෙහෙම වෙන්න ඕනි.

සංඛ - ඒ කියන්නේ මාර සංකලනයක්. මේ කරන සෙල්ලම ඇතුළේ මං හිතන්නේ ඒ වෙලාවෙ දැනෙන ෆීල් එක, අපි ළඟ තියෙන විෂය කාරණාව, ඊට පස්සේ ඒ විෂය කාරණාව ප්‍රායෝගිකව කොහොමද ගොඩ දාන්නේ, ඊට පස්සේ ප්‍රායෝගික කරණයේදී අපිට සඩ්න්ලි ඔළුවට එන්නේ මොකක්ද, මේක මාර ගේම් එකක් නේද අයිය කියන විදියට?

කිංස්ලි - මං මේ කල්පනා කරේ ඔයා මං කියන දේ ආපහු ඔයා හොඳට කියනවා, ඔයාට සින්දු කියන්නත් වගේම හොඳට එනවුන්ස් කරන්නත් පුළුවන්නෙ. ප්‍රශ්න අහන්නත් පුළුවන්නෙ. ඔයා කොහොමද ෆීල්ඩ් එකට එන්නෙ.

සංඛ - ඔව් ඇත්තටම කිංස්ලි අයියා මං ඉන්ඩස්ට්‍රි එකට එන්නේ සිරස සුපර් ස්ටාර් කම්පිඩිෂන් එකෙන්.

කිංස්ලි - ඒකෙන්ද ඉස්සෙල්ලම එන්නේ?

සංඛ - නැහැ, මම සෑහෙන තරගවලට ගිහිල්ලා තියෙනවා. ගොඩක් අය දන්නේ මම සුපර් ස්ටාර් සීසන් 2 - එකෙන් ආව කියලා.

කිංස්ලි - නෑ ඇත්තටම ඔයාගේ ෆැෂන් එක, ඔයාගේ ඕරා එක වෙනස්නෙ. ඔයා වෙනම විදියකටනෙ ආවෙ.

සංඛ - ඔව්, ඇත්තටම ඊට කලින් ගොඩක් තරගවලට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මම සිරස සුපර් ස්ටාර් සීසන් 1 එකටත් ඇවිල්ලා තියෙනවා.

කිංස්ලි - ආ . . .

සංඛ - ගොඩක් අය ඒක දන්නේ නෑ. අනෙක මට ඒක කියන්න චාන්ස් එකක් ඇවිල්ලත් නෑ. මං හරි ආසාවෙන් කියන්නේ සීසන් - 1 එකේ මං අන්තිම 100 දක්වා විතරයි එන්නේ. සීසන් - 1 එකෙන් අයින් වුණාම සීසන් - 2 එකෙන් මං නැවතත් එනවා.

කිංස්ලි - පළවෙනි එකට එනකොට ඔයා දන්නවද රියැලිටි ෂෝ කියන්නේ මේව, ඔය ගොල්ලන්ට මෙච්චර කාලයක් මේවත් එක්ක ඉන්න වෙනවා, ඔයාගේ ජීවතේ වෙනස් වෙනවා, මේ ඔක්කොම දන්නවද? තේරුණාද?

සංඛ - ඒක මාර චේන්ජ් එකක්. ඒ චේන්ජස් හරිම සුන්දරයි කිංස්ලි අයියේ. ඒ චේන්ජස් ගැන කතා කරන්න ගියොත් ඒව මාර චේන්ජස්.

කිංස්ලි - නැහැ, ඔයගොල්ලන්ව ෆිසිකලිත් චේන්ජ් කරානෙ නේද? ඔයගොල්ලො අඳින පලඳින විදිහ, ඇවිදින විදිහ, කැමරාවලට පේන විදිහ, ඔක්කොම ඒ ටික හැදුවනෙ ඔයගොල්ලන්ගෙ.

සංඛ - ඔව්. අන්න ඒක තමයි දැන් ඇත්තටම අයිය කථා කරපු චේන්ජස් සහ අයියා කතා කරපු සුබවාදී දේවල්. හැමෝම ඒව දැක්ක සහ හැමෝටම ඒව දැනුණා. ලංකාව සංගීතය කර්මාන්තයක් විදියට හැදෙන්න හෝ ක්මාන්තයක් විදියට මේකෙ පවතින්න හෝ අපේ රටට අවශ්‍ය කරන ක්‍රමයක්. සිස්ටම් එකක් නැහැ. ඉතින් ඒකට මාර උත්තරයක් අපිට හම්බ වෙනවා මේ රියැලිටි කොන්සෙප්ට් එකකින්. යම්කිසි තැනකට ඒක ගේනවා.

කිංස්ලි - හ්ම්.

සංඛ - හැබැයි එතැනින් එහාට මේක අරන් යන්න අපිට ගොඩක් ස්ට්‍රගල් කරන්න වෙනවා.

කිංස්ලි - දැන් ඔය වගේ ෂෝ ගොඩක් තියෙනවා. පස්සේ කාලකෙදී මේ මීඩියා උගන්නද්දී එහෙම ඔය රියැලිටි ෂෝ මාතෘකාවක් වෙනවා. ඒ කියන්නේ මිනිස්සුන්ව මෙහෙම රවට්ටන එක සාධාරණද? ඒක මීඩියා එතික්ස්වලට එකඟද? සරු ඩයොලොග් එකක් ක්‍රියේට් වෙනවද ස්ක්‍රීන් ටයිම් එකේ? මිනිස්සු වාඩි වෙලා බලන් ඉන්නව. හැබැයි ඉවර වුණාම පුස්සක්. මොකක්ද මේ වුණේ මේකේ අපි මේ නාට්‍යයක්ද බැලුවේ? එහෙම බැලුවම සකලවිධ කලාවම මාර ප්‍රශ්නයක්. ඒ කියන්නේ මිනිස්සු අන්දනව වගේ එකක්නෙ කරන්නේ. හැබැයි ඒක මැද්දේ ප්ලේ වෙන කට්ටියගේ ජීවිත කවුද හැන්ඩ්ල් කරන්නේ.

සංඛ - ඒක ඇත්ත.

කිංස්ලි - ජනප්‍රියත්වයත් දෝතින් අරන් එනව ඊළඟ සීසන් එක පටන් ගන්නකන් විතරයි ඒක තියෙන්නේ. ඒ වගේ මේ රියැලිටි ගැන තියෙන ඩයලොග් එකේදී අපිට ප්‍රශ්නයක් එනව මේක පිටපතක් ලියල ඒක ඇතුළේ ජීවිත ප්ලේ කරවන එක හරි ද කියලා. ටෲමන් ෂෝ එකේ තියෙන කතන්දරේ තමයි එහෙම ගර්භාශෙ ඉඳන්ම කුලියට ගත්තොත් චැනල් එකකින් මොකක්ද වෙන්නේ කියන එක. ඇත්තටම ෆිල්ම් එකක් ඇතුළේ ඒක කථා කරාට අද ඒක වෙන්නේ නැද්ද කියල හොයල බැලුවොත්, ඒ කියන්නේ මිනිස්සු හුස්ම ගන්න විදිහ, ආගම ධර්මය, දොට්ට පිලට යන එක මේ හැම එකක්ම රියැලිටිවල කොටසක් ද කියල. මට මතකයි කොහෙද මන්ද එක තැනක සාකච්ඡාවක් ආව ‘රියැලිටිවලින් බේරිලා ජීවත් වෙන්න පුළුවන් තැනක් තියෙනවද?’ කියලා. දන්නෙම නැතුව අපි පාරේ යද්දී ගන්නව රියැලිටියකට. විනාඩි පහක් ඇතුළත මේ බුරන බල්ලව පවා මට මාර්කට් කරන්න පුළුවන් රියැලිටි ෂෝ එකක් ඇතුළේ.

සංඛ - ඇත්තටම අපි දෙන්න අද හම්බ වෙන්නෙත් රියැලිටි ෂෝ එකක් හා සම්බන්ධව සමගාමීව ගිය වැඩක් නිසානෙ. ඇත්තටම කිංස්ලි අයියා මොකද හිතන්නේ රියැලිටි ෂෝ එකක් හ සමාන චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න ලැබීම ගැන.

කිංස්ලි - මගේ නිවේදක ජීවිකාවෙ එක කොටසක් තමයි නිවේදකයෙකුට යන්න පුළුවන් හැම තැනකටම නිවේදකයෙක් විදියට යනව කියලා. නිවේදකයෙකුට පෙනී ඉන්න පුළුවන් වෙරළෙද, ගහක් උඩද, පිටරටකද නිවේදකයා විදියට ඒ තැන්වලට මං යනවා. එතෙන්දි මට ආරාධනාවක් ආවා මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ඇතුළු අනෙක් තරුණ කණ්ඩායම මාත් එක්ක අනෙක් චිත්‍රපටයෙත් වැඩ කරපු කට්ටිය මගෙන් ඇහුව ‘අයියෙ මේකෙ පොඩි කැරැක්ටර් එකක් තියෙනවා කරමුද?’ කියලා.

සංඛ - හ්ම් . . . කිංස්ලි අයියා මොකද හිතන්නේ මේ තිසර ඉඹුලාන ‘ටෲමන් ෂෝ’ කියන රියැලිටි ෂෝ එක ලංකාවේ පොළවෙ ගඳ සුවඳත් එක්ක සම්මිශ්‍රණය කරන විදිය සහ ඒක ලෝක ලයිස් කරන එක ගැන.

කිංස්ලි - මං දකින දෙයක් තියෙනවා, අපි මේකට ළඟම උදාහරණෙ ගමුකො ‘ස්ලම් ඩෝග් මිලියනයර්’ එතකොට ‘ හූ වෝන්ට්ස් ටු බි අ මිලියනයර්’ කියන රියැලිටි ෂෝ එක බේස් කරලෙන ඒකෙන් ප්‍රතිපාදනයක් ඇති කරගන්නවා ‘ස්ලම් ඩෝග් මිලියනයර්’ චිත්‍රපටය. එතකොට මම ‘හූ වෝන්ට්ස් ටු බී අ මිලියනයර්’ ආශාවෙන් බලපු නැති කෙනෙක් වුණාට මම ‘ස්ලම් ඩෝග් මිලියනයර්’ බොහොම ආශාවෙන් බලපු කෙනෙක්. ඒ වගේ රූපවාහිනී වැඩසටහන් මාලාවක් අරගෙන එකෙන් හදපු කතාවක් මේක. ඒ කියන්නේ කතා ඇතුළේ කතා මේව. කතාව කිව්වොත් රහ නැහැ. මේක මේ වර්ගමූලය හොයලා එතකොට අතන අරය කොහොමද කියල පූර්ව අපරසංධි ගළපල, පෙර ආත්මෙ පතාගෙන ආපු එකක් නේද මෙතැන තියෙන්නේ. එච්චර හිතන්න ඕනි නෑ. මේක ගෙදර යන කොටත් හිනා වේවී කල්පනා කර කර යන්න පුළුවන් කතාවක්. හැබැයි හරි ලස්සනයි. ඒ කියන්නේ සමහර තැන්වලදී මෝටර් බයිසිකල් රේස් එකක් බලල යද්දී බයිසිකල් ටිකේ සද්දේ ඇහෙනවා වගේ වෙනවා. අන්න ඒ වගේ තමයි අපිට රියැලිටි එකක් බැලුවම ඇඟට යම් අවේගයක් එනවද, ඒක ළමයි ගත්තේ කොහොමද, ඊට පස්සේ තමන් ඒ විදියට ප්‍රැක්ට්‍රිස් කරන්නේ කොහොමද? ළමයින්ගේ ජීවිත චේන්ජ් වෙන්නේ කොහොමද? මේක මේ පණිවිඩ දෙන එහෙම සීන් මුකුත් නෑ. හැබැයි පොපියුලර් කල්චර් එකේ වැඩක්. මම තිසරලත් එක්ක වැඩ කරද්දී එකයි මම විරුද්ධ වුණේ. මොකද මට සිගරට් පොවන්න හදපු එකට. අපි දෙන්නට වැඩ කරන්න පුළුවන් කම්ෆර්ට් සෝන් එක තිබුණෙත් එතනයි. මොකද මං මගේ ප්‍රතිපත්ති කඩන් නෑ. තිසර තිසරගේ ලයින් එකෙන් එළියට එන්නේ නෑ. හැබැයි අපි දෙන්නට එකතු වෙන්න පුළුවන් එක තැනක් තියෙනවා. අපි දෙන්නම කම්ප්‍රමයිස් කරනව හරි මං මේක කරන්නම්, හැබැයි මං සිගරට් බොන්නේ නෑ කියලා. හරි ඔයා සිගරට් බොන්න එපා. මං ඔයාට ලොලිපොප් කවනව කියලා කිව්වා.

සංඛ - අපි ඔක්කොම එක ටීම් එකක් නේද ඇත්තටම. තිසරත් ඇත්තටම මාව හොයාගෙන එන්නේ ඇත්තටම මං හිතින්නේ නෑ තිසරටත් ඕනි වෙන්න ඇති කියලා මේකට අර මහා සංගීත අධ්‍යක්ෂවරයා කියන භූමිකාවක්. එහෙම ඕනි වුණා නම් මං ගාවට එන්න ඕනි නෑ. ලංකාවෙ එහෙම සංගීත අධ්‍යක්ෂවරු දෙයියන්ගෙ පිහිටෙන් ඉන්නවා. මං හිතන්නේ තිසරට ඕනි කරල තිබ්බේ තිසරගෙ ඇම්මට ඒ වෙලාවෙ සපෝර්ට් කරගන්න පුළුවන් හොඳ මියුසික් මං හිතන්නේ. මං දන්නේ නෑ කොහොමද ඒක වුණේ කියලා. මට ඒ වෙලාවේ තිසර දීපු බ්‍රීෆ් එකට තමයි මං වැඩ කරේ. ඒ චිත්‍රපටය දිහා බලන් ඉන්න කොට මට ඇස් දෙක පියා ගන්න හිතෙන්නේ නෑ. මොකද ඒ චිත්‍රපටයේ යන පොඩි පොඩි කෑලි කෑලි ගානේ මට මතක් වෙනව අපි ඒ කාලේ ජීවිතේ ස්ට්‍රගල් කරපු විදහ.

කිංස්ලි - මං බලා ඉන්නෙ ඕකේ අනිත් පැත්ත. ඔව් එක පැත්තකින් ඔයාගේ ජීවිත කතාව ඔයාට දැනුණ වගේ දැනෙයි ෆීල්ඩ් එකේ කට්ටියට. මම දකින්නේ මේ කොල්ලො ටික චිත්‍රපට ලෝකෙට ඇවිල්ලා මේ ජීවිත ගෙවෙන්නේ ගස් ගල් යට නෙවෙයි වැඩපුරම ලයිට්, කැමරා පිටිපස්සේ තමයි මේ අයගෙ තරුණ කාලේ බාගයක්ම ගෙවිල ඇත්තේ. එතකොට මේ වගේම තව කට්ටි කට්ටි ඉන්නවා. මේ වගේ කල්ට් එකක් තියනවානේ චිත්‍රපට ලෝකේ. ඒ ගොල්ලො අතරේ මේ ෆිල්ම් එක රිලීස් වුණාට පස්සෙ මේ ගොල්ල වැරැදි ෆ්‍රේම් එකක් අරන් තියෙන්නේ. ඒ ෂොට් එක වැරැදියි, හෙන ට්‍රැඩිෂනල් ෂොට් කඩල ඇති මට තේරෙන විදියට මේ මුව්මන්ට් එක ඇතුළෙ. මේක දැක්කම ටෙලිවිෂන් කට්ටියත් මේගොල්ලොත් එක්ක හැප්පෙයි ඉස්සරහට. මොකද ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් එකේ ස්ටෝරි ලයින් එක හරි හැබැයි ටෙලිවිෂන් ෆ්‍රේම් නෙවෙයි තියෙන්නෙ. ටෙලිවිෂන් එකක යන වැඩසටහනක් ගැන චිත්‍රපටයක පෙන්නනවා. එතකොට ඒක අයිති වෙන්නේ ටෙලිවිෂන්ද? එහෙම නැත්නම් හයිබ්‍රිඩ් ද මේක කියල. එතකොට එන මේ ඩයලොග් එක මෙයාලව ඊළඟ චිත්‍රපටයකට ගෙනයයි ඩෙෆිනිට්ලි.