|
කාර්යබහුල වුණත් මං කලාව අමතක කළේ නැහැ
ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී අජන්ත සෙනෙවිරත්න
මම දරුණු විදියට පොත් කියවන්න යොමු වුණේ සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු උසස් පෙළ පන්ති ආරම්භ කරන තෙක් කාලයේදී යි. ඒ වගේම උසස් පෙළ විභාගයෙන් පසුව විශ්වවිද්‍යාලයට යන තෙක් කාලයත් මට පොත් කියවන්න වටිනා කාලයක් වුණා.
කලා ලොවෙන් බැහැර කලාවට ලැදි සුවිශේෂ පුද්ගලයන් සොයා යන ගමනේ දී තවත් සොඳුරු නවකතාකරුවෙක් හමු වුණා. ඔහු නමින් අජන්ත සෙනෙවිරත්න. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී, විෂන් කොම් අනුබද්ධිත ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ලෙසින් කටයුතු කරන ඔහු සාහිත්‍ය ක්ෂේත්‍රයට කෘති ගණනාවක් රචනා කර තිබෙන්නේ කලාවට වූ ලැදියාව නිසාමයි. මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය ලබා වෘත්තිය ඉංජිනේරුවෙක් ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට සම්බන්ධ වූ ඔහු නියෝජ්‍ය කලමනාකරුවකු, සාමාන්‍යාධිකාරි ආදි ලෙසින් තනතුරු දරා වර්තමානයේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයකු ලෙසින් කටයුතු කරනවා. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ දැන් ඔහු ගත කරන්නේ සිය විසිහතර වැනි සේවා වර්ෂය යි. * ඔබේ පාසල් කාලයේ කලා කටයුතු පළමුවෙන්ම සිහිපත් කරමු? මට ජෝන් ද සිල්වා සූරින්ගේ 'උත්තර රාමායනය' වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ රාජකීය විද්‍යාලයේ හය වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන විටදීයි. මම එහි සීතා දේවියගේ පුතෙකුගේ චරිතයක් නිරූපණය කළා. ඒ කාලේ මම රඟපානවාටත් වඩා ආසා කළේ එහි පිටපතට යි. ඉතිං මම ඒ පිටපත බලාගෙන ඉස්කෝලෙදි 'වීර ධනංජය' නමින් වේදිකා නාට්‍ය පිටපතක් ලිව්වා. මගේම අත් අකුරින් ඒ පිටපත ලියූ පොත තාමත් මං ළඟ තියෙනවා. ඒක දැකපු සිංහල ගුරුවයා ඒ ගැන ගොඩක් පැහැදිලා මගේ යහළුන් එක්ක 'වීර ධනංජය' නාට්‍ය ඉදිරිපත් කරන්නත් දුන්නා. ඒක මට ලොකු අත්දැකීමක් විතරක් නෙවෙයි මගේ ජීවිතයේ ලොකු පිම්මක් වගේ දැනුණා. ඊට පස්සේ මට වේදිකා කටයුතු වලට සම්බන්ධ වෙන්න ලැබුණේ නැහැ. මොකද අපේ අධ්‍යාපන ක්‍රමය එහෙම හැදිලා නැහැනේ. ඉගෙන ගැනීම කියන දේ ඔළුවට වැටුණාට පස්සේ විභාග ඔස්සේ කඩඉම් ජයගෙන ඉදිරියට යෑම තමයි එකම උත්සාහය. සාමාන්‍ය පෙළට සූදානම් වෙනවා. උසස් පෙළ කියන්නේ හරියට යුද්ධයක් වගේ. එතැනින් පසු මොරටුව විශ්වවිද්‍යාලයට පැමිණෙනවා. ඉංජිනේරු අංශයට පමණක් වෙන් වූ එහිදී කලාව වෙනුවෙන් ගත කරන කාලය හරිම අඩුයි. හැබැයි විශ්වවිද්‍යාලයෙන් ඉවත් වූ වහාම මුලින්ම ගියේ දහම් පාසලේ උගන්වන්න. රැකියාවක් හොයන එකත් පැත්තකින් තියලා දිනපතා පුවත්පතකට ලිපි ලිව්වා. සාමාන්‍ය තොරතුරු වගේම රටේ කාලීන ප්‍රශ්න ගැනත් තොරතුරු වෙනුවෙන් මගේ ලිපි වෙන්වුණා. ඒ විතරක් නෙවෙයි විද්‍යා පුවත්පතකටත් සතිපතා ලිපි ලිව්වා. ඒ වෙනුවෙන් විද්‍යා ප්‍රබන්ධයකුත් ලිව්වා. ඒ කාලයේදී තමයි මම ලිවීම ගොඩක් ප්‍රගුණ කළේ. නවකතාවකුත් මේ කාලයේදීම රචනා කළත් ඒක පළ කළේ නම්නැහැ. * රැකියාවේ කාර්යබහුලත්වය ඔබේ රචනා කලාවට බාධකයක් වෙලා වගේ? රැකියාවේ කටයුතු නිසා තරමක් කාර්යබහුල වුණා තමයි. හැබැයි මම කලාව සාහිත්‍ය කවදාවත් අමතක කළේ නැහැ. මම නිතරම පොත් කියවන කෙනෙක්. * පොත් කියවන්න පුරුදු වුණේ පුංචි කාලේදිම වෙන්න ඇති? ඔව්. ඒක ඇත්ත. ළමා කාලයේදී මම පොත් කියවපු හැටි මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ කාලයේ ගුණසේන සමාගමේ තිබුණා ළමා පොත් සමාජයක්. සමාජික ගාස්තුව වුණේ සත ගාණක්. තැපැල් කන්තෝරුවට සල්ලි බැඳලා ළමා පොත් ගෙන්වා ගන්නවා. මම ඒ පොත් කියවන්නේ හරිම ආසාවෙන්. එතකොට වයස අවුරුදු හතරක් පහක් විතර ඇති. නමුත් මම දරුණු විදියට පොත් කියවන්න යොමු වුණේ සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු උසස් පෙළ පන්ති ආරම්භ කරන තෙක් කාලයේදී යි. ඒ වගේම උසස් පෙළ විභාගයෙන් පසුව විශ්වවිද්‍යාලයට යන තෙක් කාලයත් මට පොත් කියවන්න වටිනා කාලයක් වුණා. ඒ කාලයෙදී මම පුස්තකාලයේ පොත් එකක් නෑර කියෙව්වා. ඒක මගේ ජීවිතයට විශාල පන්නරයක් වුණා. මගේ තාත්තාත් ගොඩක් පොත් කියවපු කෙනෙක්. එයාගේ පොත් එකතුවේ සේරම වගේ තිබුණේ ඉංග්‍රීසි පොත්. මං හිතන්නේ මටත් පොත් කියවන ආභාෂය එන්න ඇත්තේ තාත්තාගෙන්. කිවීම මිනිසා සම්පූර්ණ මිනිසෙකු කරයි කියන කියමන තාත්තා නිතරම මට සිහිපත් කළ දෙයක්. * කලාව සාහිත්‍යයට ලැදි වුණත් ඔබ උසස් පෙළට තෝරා ගත්තේ ගණිත අංශය? අධ්‍යාපනය කියන දේ ඔළුවට වැටුණාම අපි බලන්නේ එය උපරිමයෙන් ජයග්‍රහණය කිරීම විතරයි. ඒක අපේ මනසේ ක්‍රියාකරන දෙයක්. ඒ අනුව මමත් ගණිත අංශය තෝරා ගත්තා. ඒ ඔස්සේ ඉහළටම ගියා. කනගාටුවක් නැහැ. එහෙම වුණත් කලාවට ලැදියාව ඇඟ ඇතුළේ තියෙනවා. අපි විසින්ම වෙනත් අතකට ක්‍රියාත්මක නොකරන්නට මිනිස් සිරුර තුළ කලාකාමී සිතුවිලි ක්‍රියාත්මකයි. කලාත්මක සිතුවිලි,සෞන්දර්යාත්මක හැඟීම් අමුතුවෙන් උද්දීපනය කළ යුතු නැහැ. එය ඕනෑම අයෙකුගේ මනස තුළ පවතින්නක්. නමුත් බොහෝ දෙනා එයට මතුවීමට ඉඩ දෙන්නේ නැහැ. අපි වෙන වෙන කටයුතු කළත් ඇඟ තුළ තියෙන සෞන්දර්ය, කලාකාමී බව ඉබේම මතු වෙනවා. * ඔබ අතින් රචනා වී ප්‍රථමයෙන්ම එළිදුටු නවකතාව? මගේ ප්‍රථම නව කතාව 'මම අවංකයි'. ඒක එළි දක්වූයේ මීට වසර හයකට පමණ කලින්. 'මම අවංකයි' රචනා කරන්න කලින් මම තවත් නවකතාවක් රචනා කළා. ඒක එළි දක්වන්න අදහසක් ඇති වුණේ නැහැ. 'මම අවංකයි' රචනා කළාට පසුව මට මගේ පොතක් එළි දැක්වීමේ උවමනාව ඇති වුණා. එය එළිදැක්වූයෙත් කර්තෘ ප්‍රකාශනයක් ලෙසින්. 'මම අවංකයි' නවකතාව ලද ඉහළ ප්‍රතිචාර මා ඒ දෙසටම යොමු කළා කිව්වොත් නිවැරදියි. 'මම අවංකයි' නවකතාවට පාදක වුණේ වෛද්‍යවරයකුගේ ආදර කතාවක්. ඒක ආදරයට වෙනස් මානයක් දුන් නවකතාවක්. * ඔබගේ අනෙකුත් කෘති ගැනත් දැන ගන්න කැමැතියි? 'මම අවංකයි' නවකතාවෙන් පසුව මම විද්‍යා ප්‍රබන්ධයක් රචනා කළා. විශ්වවිද්‍යාල ගමනෙන් පසුව විද්‍යා පුවත්පතකට රචනා කළ විද්‍යා ප්‍රබන්ධයම සවිස්තර කරලා 'රිදීහුය බින්ඳා' නමින් එය රචනා කළා. 'දුහුල් සිත්' කෙටිකතා සංග්‍රහයකුත් කළා. 'අපි අපිම' නවකතාව රචනා කළේ මොරටුව විශ්විද්‍යාලය පාදකකර ගෙනයි. එය පළ කළේ සරසවි ප්‍රකාශනයක් ලෙසින්. ඊළඟ නවකතාව 'දැක නුදුටු පෙර නිමිති' නවකතාවෙන් පසුව මම මගේ සාහිත්‍ය දිවියේ විශේෂ ස්ථානයකට පිවිසුණා. 'සිත - මනස සහ නොමියෙන මම' නමින් බෞද්ධ විමර්ශන කෘතියක් රචනා කළා. එහිදී ගතානුගතික බවෙන් මිදී විඤ්ඤාණය අද කාලයේ නවීන සමාජයට ගැලපෙන අයුරින් වෙනස් විදියකට විස්තර කළා. ඒ කෘතිය ලොකු සාර්ථකත්වයක් ලද බව ප්‍රතිචාරවලින් මට දැනුණා. මේ වසරේ මුලදී 'අකාල ප්‍රේම' නමින් නවකතාවක් රචනා කළා. ඊළඟ පොත නුදුරේදීම එළිදක්වන්න සූදානම්. 'රාහුලයෙන් උපන්නා' නම් වූ එහි රාහුල මහතෙරුන් වහන්සේගේ ජීවිත කතාව ඇතුළත්. රාහුල චරිතය තුළත් ඉගෙන ගත යුතු බොහෝ දේ තියෙනවා. රාහුල තෙරුන් මහණදම් පුරන කාලයේ බුදුන් වහන්සේ දුන් උපදෙස් රැසක් සූත්‍ර කිහිපයකම තියෙනවා. එහි බුදු දහමේ හරය ඇතුළත්. ඒ සියල්ල උකහාගෙන මම 'රාහුලයෙන් උපන්නා' නවකතාවක් ලෙසින් රචනා කළා. * මේ වෙනුවෙන් ඔබ බෞද්ධ ග්‍රන්ථ රැසක් පරිශීලනය කළ බවයි පෙනෙන්නේ? ඇත්තෙන්ම. මේ කෘතියට විතරක් නෙවෙයි කලින් රචනා කළ 'සිත - මනස සහ නොමියෙන මම' කෘතියටත් බෞද්ධ ග්‍රන්ථ රැසක් පරිශීලනය කළා. මේ වගේ කෘති රචනා කරනවිට අතන මෙතන තියෙන දේ නිකන් හිතු මනාපෙට අරන් ලියන්න බැහැ. නියමිත මූලාශවලටම යා යුතුයි. * කාර්යබහුල ජීවිතයේ මේ කර්තව්‍ය වෙනුවෙන් කාලය වෙන්කර ගන්නේ කොහොම ද? ඒක ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි. තමන්ට හැකියාව තියෙනවා නම් ඕනෑම කාර්යයකට කාලය ප්‍රශ්නයක් නෙවෙයි. හැකියාවක් නැති කෙනෙකුට නම් එය ලොකු කලබලයක් වේවි. මනස සන්සුන් කරගෙන සිටින කාලය කොපමණද? එය ඒ වෙනුවෙන් ඇති. * ඔබගේ නවකතාවක් ඇසුරෙන් ටෙලිනාට්‍යයක් හෝ සිනමා නිර්මාණයක් කිරීමට ආරාධනාවක් ලැබුණොත්? අපේ රටේ අග්‍රගණ්‍ය නළුවෙක් පවා මට ඒ ආරාධනාව කරලා තිබෙනවා. 'අපි අපිම' නවකතාව ටෙලි නිර්මාණයක් කරන්න සුදුසු කෘතියක්. 'දැක නුදුටු පෙර නිමිති' නවකතාව සිනමා නිර්මාණයකට තමා වඩා ගැලපෙන්නේ. මේ වගේ ආරාධනා ලැබුණත් මම තවම ඒ ගැන අවධානයක් යොමු කරලා නැහැ. එවැනි නිර්මාණයක් කරන්න පුළුවන් නම් එහි ඇති වරදකුත් නැහැ.
|