|
අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්
'නිධානය මම කැමරාව මෙහෙය වූ මා වඩාත්ම මහන්සි වූ චිත්‍රපටය. ඒ චිත්‍රපටය ශ්‍රී ලංකවේ හොඳම චිත්‍රපටය ලෙස සිනමා විචාරකයන් අගය කළා. වැනිසියේ ජාත්‍යන්තර චිත්‍රපට උලෙළකදී නිධානය Silver Lion of st. mark සම්මානයත් දිනා ගත්තා. 1995 ලෝක සිනමාවට වසර 100 ක් පිරීම නිමිත්තෙන් හොඳම චිත්‍රපට 100 තෝරන ලද අවස්්ථාවේ එයට ඇතුළු වූ එකම ශ්‍රී ලාංකීක චිත්‍රපටයත් නිධානය. හැබැයි ශ්‍රී ලංකාවේ චිත්‍රපට උලෙළවල හිටිය සිනමාව ගැන බොහෝ ඇසූපිරූ තැන් ඇති විචාරකයෝ මේ චිත්‍රපට අගය කරල අධ්‍යක්ෂණයට (ලෙස්ටර්), තිර නාටකයට (තිස්ස), රඟපෑම (ගාමිණී හා මාලිනී), සංගීතය (කේමදාස) සඳහා සම්මාන දුන්නත් කැමරා ශිල්පියා හැටියට මට සම්මාන නොදීමට වග බලා ගත්තා. හැබැයි මගේ කැමරා ප්‍රතිභාව අහස උසට වර්ණා කළා. 1972 වසරේ විචාරක හා ලේඛක සංගමය මගේ හැකියාවට පුංචි සැනසිලි තෑග්ගක් බඳු සහතිකයක් දීලා මගේ කුසලතා අවතක්සේරු කළා'. හරියටම මීට වසරකට පමණ පෙර 2016 මැයි මස මැද හරියේදී අපේ රටේ විශිෂ්ටතම චිත්‍රපට කැමරා ශිල්පියකුව සිටි එම්. ඇස්. ආනන්ද මා සමඟ පැවසුවේය. ඔහු මට අවසන් වරට හමු වූයේ කොළඹ රැජින වීදියේ ක්වින්ස් කෝට් හි නිවසේදීය. ඒ වන විට කැනඩාවේ පදිංචිව සිටි ඇගේ වැඩිමහල් දියණිය වූ ශ්‍යාමා ආනන්ද (පෙරේරා) ද පැමිණ සිටියාය. තරමක අසනීපයෙන් බස්තමක ආධාරයෙන් තම උපස්ථායක අමිල සමඟ ආලින්දයට පැමිණි ඔහු සුපුරුදු නිහතමානී සිනා රැල්ලකින් මා පිළිගත්තේය. මාත්, ආනන්දත් අතර ඇසුර ' නිධානය' චිත්‍රපටය රූ ගැන්වීම දක්වා ඈතට දිව යයි. එදා ගාමිණී ෆොන්සේකා රඟපෑ දර්ශනයක් රාජගිරිය් ඔබේසේකර වලව්වේදී රූගත වෙමින් තිබිණ. මම සරසවිය පුවත්පතේ කැමරා ශිල්පී බන්දු එස්. කොඩිකාර සමඟ 'නිධානය' රූගත කරන හැටි ගැන විශේෂාංගයක් ලිවීමට එහි ගියෙමි. රූපගත කර මඳ විවේකයක් ලද විරාමයකදී ගාමිණී විසින් කැමරා ශිල්පී ආනන්ද මට හඳුන්වා දෙන ලදී. මේ ඇසුර කූටප්‍රාප්තිය වුයේ ඔහු විසින්ම කැමරාව මෙහෙයවා, අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය කළ 'චණ්ඩි ශ්‍යාමා' චිත්‍රපටය කරන කාලයේදීය. මම ඒ චිත්‍රපටයට පුවත්පතින් ප්‍රචාරය ලබා දුනිමි. 1975 වසරේ සුමිත්‍රා පීරිස් හාපුරා කියා අධ්‍යක්ෂණය කළ 'ගැහැනු ළමයි' චිත්‍රපටයේ රූපගත කිරීම් මා බැලීමට කළුඅග්ගල පිහිටි පාසලකට ගියේ විවාහ වූ අලුත නිසා බිරිඳ දමයන්ති සමඟය. එහිදි එහි රඟපෑ ශ්‍යමා ආනන්ද මගේ බිරිඳගේ හිතවතියක් වූවාය. සුමිත්‍රා මහත්මිය විහිළුවකට මෙන් කී 'ඇයි දමයන්තිටත් චිත්‍රපටයේ ශ්‍යාමා, වසන්තිලා එක්ක රඟපෑමට පුළුවන්නේ' කතාවෙනි. 'අනේ ඔව්, දමයන්තිත් එන්න රඟපාන්න' ශ්‍යමා බලකර සිටියාය. මේ අනුව දමයන්ති විජයලතාගේ චරිතය ශ්‍යාමා හා වසන්ති සමග රඟපෑවාය. එය සුළු චරිතයකි. එහෙත් එදා සිට ශ්‍යාමා හා අප අතර ඇති සම්බන්ධය සුළු එකක් නොවීය. අපි ඔවුනගේ ඇරැයුම අනුව කොළඹ ඩාලි පාරේ පිහිටි එම්. එස්. ආනන්දගේ නිවසට නිතර යාමට අවස්ථාව ලදිමු. ශ්‍යාමාගේ මව වු වයලට් ආනන්ද මහත්මිය අපට උපරිම ආගන්තුක සත්කාර කළාය. රසමසවලුවලින් සංග්‍රහ කළාය. ශ්‍යාමා හා දමයන්ති මෙන්ම ආනන්ද හා මා අතර සමීප ඇසුර ශක්තිමත් විය. හැම විටම ආනන්ද තරුණයකු ලෙස කඩිසරව අප හා එක් විය. සිනමාවේ රස තොරතුරු කීවේය. මධුවිත සන්තර්පණය වන අපට කාලය ගත වන බව නොදැනුණි. ආනන්ද ගාමිණීගේ සමීප හිතවතකුව විය. නිධානයට ආනන්දට සම්මානයක් නොලැබීම ගැන වඩාත් සංතාපයට පත් වූයේ ඔහුය. 'උඹට ඉදිරියේ සම්මානයක් ඕනෑ නම් කරන්න දෙයක් තියෙනවා. උඹේ 'ආනන්දන්' කියන නමේ 'න්' කපලා 'ආනන්ද' කියලා හදා ගනින්' ගාමිණී වරක් කීවේය. ආනන්දන් වූ ඔහු එදා සිට ආනන්ද විය. 1933 අප්‍රේල් 21 වෙනිදා යාපනේ උපත ලැබූ ඔහු දෙමටගොඩ ශාන්ත මැතිව්, දෙමටගොඩ ශාන්ත ජෝන් හා කොළඹ ආනන්ද විද්‍යාලවල අධ්‍යාපනය ලැබුවේය. ඔහු තම කුඩා කාලය පුංචි බොක්ස් කැමරාවක් සමඟ ගත කළ බවත්, එයින් ගත් ඡායාරූප බලා අපමණ සතුටක් ලබා ඇත. ඔහු එකල ගුවන් නියමුවකු වීමට සිහින මැවූ බව ප්‍රවීණ චිත්‍රපට කැමරා ශිල්පී එම්. ඩී. මහින්දපාලට කියා තිබුණි. 'මම පුංචි කාලේ අසිමිතව චිත්‍රපට බැලුවා. විශේෂයෙන් ඉංග්‍රීසි හා ද්‍රවිඩ චිත්‍රපට. වැඩ වියට පත් වුණාම චිත්‍රපටයක කැමරාව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕන වුණා. 1951 වසර් බී. එස්. මානි කියන ඉන්දීය කැමරා ශිල්පියා ලංකාවට ආවා 'බණ්ඩා නගරයට පැමිණීම' කියන චිත්‍රපටය රූපගත කරන්න. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කරපු රාජා වහබ් හා ඒ. බී. රාජ් යටතේ ආධුනිකයෙක් හැටියට වැඩ කරන්න අවස්ථාව ලබා ගත්තා. ටික කලකින් මට කැමරා සහායකයකු හැටියට වැඩ ඉගෙන ගත්තා' ආනන්ද අතීත කතාව අපට වරක් විස්තර කළේය. ආනන්ද ඉන්පසු එදා රෑ (1953) ප්‍රේම තරගය (1953) චිත්‍රපටල සහාය කැමරා ශිල්පියා හැටියට අවස්්ථාව ලැබී ඇත්තේ ඒ. බී. රාජ් නිසාය. මේ නිසා වසර 3 ක් මදුරාසියේ නැප්චුන් චිත්‍රාගාරයේ ඔහු පුහුණුව ලබා ගත්තේය. මේ සඳහා ඔහුට අනුග්‍රහ දක්වා ඇත්තේ සිලෝන් තියටර්ස් කළමනාකාර අධ්‍යක්ෂ ඇස්. සෙල්ලමුත්තුය. පසුව ආනන්ද බොම්බෙ චිත්‍රාගාරයක පුහුණුව ලබා ගත්තේය. ආනන්ද ලංකාවට පැමිණි විගස කිරිල්ලපනේ ලංකා චිත්‍රාගාරය ද ඇරඹිණ. එහි ප්‍රධාන කැමරා ශිල්පියා වීමේ භාග්‍ය ලැබුණේ ඔහුටය. හාපුරා කියා 1959 වසරේ 'අවිශ්වාසය' ප්‍රධාන කැමරා ශිල්පියා වූ ඔහු පිරිමියෙක් නිසා, දරුවා කගේද, දීපශිඛා, සංසාරේ, කළ කළ දේ පළ පළ දේ, මංගලිකා, හඳපාන, සෙනෙහස, ප්‍රියංගා චිත්‍රපටවල කැමරාව මෙහෙයවා තමා අධ්‍යක්ෂණය කළ සිතක මහිම, ඇතුල්වීම තහනම්, ප්‍රවේශම් වන්න, සත පනහ ඇතුළු මගේ නංගි ශ්‍යාමා, චණ්ඩි ශ්‍යාමා ඇතුළු චිත්‍රපටවල කැමරාව මෙහෙය විය. ලංකා චිත්‍රාගාරයේ වෙස් ගැන්වීම් සහායකුව සිටි ලෙනින් මොරායස් ද රියදුරකු, ශබ්ද සහායකුව සිටි එම්. ඒ. ගෆූර් තම කැමරා ශිල්පීන් ලෙස පුහුණුව ලබා දුන් අතර ඔවුන් පසු කලෙක ප්‍රධාන කැමරා ශිල්පීන් වී සම්මාන ලබන විට ආනන්ද ලොකු සතුටක් ලැබූ බව අපට පැවසුවේය. ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපටවලදී ගීතයට විශේෂ තැනක් දුන් බව දක්නට ලැබෙයි. 'සිතක මහිම' චිත්‍රපටයේ එන 'මධුරයාමේ' (ආර්. මුත්තුසාමි හා සුජාතා අත්තනායක) නිල්වලා පෙත්තේ (ජෝතිපාල හා සුජාතා) 'කවුද මේ ලෝකේ' (බෙග්) පායන පුන් සඳ නීලාකාසේ (සුජාතා) 'සත පනහ' චිත්‍රපටයේ චන්ද්‍රයාමේ රෑ පායා ආවා (ජෝතිපාල හා සුජාතා) ඔබ පානා ඔය බැල්මේ (මුත්තුසාමි සහ සුජාතා) 'මල් සරාට ප්‍රේම ලෝකේ' (සුජාතා), ඇතුල්වීම තහනම් චිත්‍රපටයේ 'දුර ගිය නොබලම යනවා' (ජෝතිපාල හා සුජාතා) 'තරුණ නෙත් මංගල්ලේ' (ජෝතිපාල හා සුජාතා) ප්‍රවේසම්වන්න චිත්‍රපටයේ එන ආදරේ සිහිනයකි (ජෝතිපාල හා සුජාතා) යන ගීත අතිශයින් ජනප්‍රිය විය. ආනන්ද අධ්‍යක්ෂණය කළ චිත්‍රපට ද බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපටය. ආනන්ද විශිෂ්ට කැමරා ශිල්පියකු ලෙස නියත විවරණ ලබන්නේ ලෙස්ටර් ජේම්ස් පිරිස්ගේ 'ගොළු හදවත' චිත්‍රපටයෙනි. 'ගොළු හදවතේ' රූපගත කිරීමට ලොකු අභියෝගයක් වූ බව ඔහු අපට කීය. 'මේ චිත්‍රපටයේ පාසල් දර්ශන රූපගත වුණේ පන්නිපිටියේ ධර්මපාල විද්‍යාලයේ. පන්ති කාමරයේ බිත්තිත් සුදුයි. පාසල් ළමුන් ඇඳල හිටයෙත් සුදු යුනිෆෝම්. මම අභියෝගය ජය ගත්තා. නිධානයේ මා කැමති දර්ශනය ගාමිණී මා මාලිනී සමඟ පෙනී සිටින නැටුම් දර්ශනය. ඒක ගාමිණීගේ සිතේ ඇති වූ සිහිනමය අවස්ථාවක්. මාලිනී පුටුවකට වී බලා සිටින අතර ගාමිණී නැටුම කරන්නේ තනිවමය. ඒ වගේම ගාමිණී රාත්‍රී කාලයේ ජනේලයෙන් එන සඳ එළියෙන් නිදා සිටින මාලිනීගේ බෙල්ලේ තිබෙන උපන් ලප තුන දර්ශනයක් මා ආලෝකය පාලනය කරමින් රූගත කළ දර්ශනයක්' ආනන්ද කීවේය. 1964 වසරේ සිතක මහිම' නිෂ්පාදනය කිරිමට ඔහුට වැය වූයේ රුපියල් ලක්ෂ 1 1/2 ක් බව පැවසූ ආනන්ද එදා ටෝනි රණසිංහට රුපියල් 10,000 ක්ද, මාලිනීට රුපියල් 5000 ක් ප්‍රවේසම්වන්න චිත්‍රපටයට ගෙවූ බවත් අපට පැවසුවේය. 'සතපනහ' චිත්‍රපටයට එදා ගාමිණීට ගෙවා ඇත්තේ රු: 15,000 කි. සන්ධ්‍යාට රු: 5,000 කි. එදා ඒ මුදලේ ලොකු වටිනාකමක් තිබූ බව පවසන ඔහු 'සත පනහ' චිත්‍රපටයේ ලාභය රු: 50,000 ක් බවද පැවසුවෙය'. 'චණ්ඩි ශ්‍යමා' චිත්‍රපටයෙන් රුපියල් ලක්ෂ 70 ක ලාභයක් තිබූ බව ද පැවසුවේ ආනන්දගේ බිරිඳ වයලට් මහත්මියයි. ලෙස්ටර්ගේ 'අක්කර පහ' චිත්‍රපටයේ ද කැමරා ශිල්පියා වූයේ ආනන්දය. ආනන්ද හා වයලට් විවාහ ජිවිතයට 61 ක් වසරක් පිරී තිබිණි. ඔවුන් ජීවත් වූයේ අද ඊයේ විවාහ වූ යුවළක් මෙනි. ඔහුගේ ජීවිතය බිරිඳ හා දියණියන් දෙදෙනා වූ ශ්‍යමා හා කාන්තිය. ඔවුන්ගේ මිනිබිරි මුණුබුරන්ට ඔහු අසීමිත ලෙස ආදරය කළේය. ඔහුගේ ප්‍රියතම මිතුරා වූයේ ශ්‍යාමාගේ සැමියා වූ සාලියයි. සාලිය හා විහිළු තහළු කරන ආනන්ද ඔහු සමග සණ්ඩු කිරීමට ද අමතක නොකළේය. තම අවසන් කටයුතු සඳහා කල්තබාම අවමංගල්‍ය සමාගමකට මුදල් ගෙවා තිබූ බව ආනන්ද මට කීවේය. 'මගේ යුතුකම් දැන් ඉවරයි. මම මරණයට ලෑස්ති වෙලා ඉන්නේ' 2016 මැයි 23 වෙනිදා අවසන් වරට හමු වූ විට කිවේය. ඔහු මිය ගියේ 2016 ජූනි 24 කිසිම සම්මානයක් නොලබාය. මගේ සමිප මිතුරකු වූ ඔහුගේ වියෝව දුකකි. ආගන්තුක සත්කාරයට අග තැන්පත් කවදත් සැහැල්ලුවෙන්, තරුණයකු මෙන් ව්‍යායාම කරමින් සිටි ඔහු රත්තර මිනිසෙකි. |