වර්ෂ 2016 ක්වූ  ජූනි 29 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

ප්‍රතිචාර


සු. මි තරුව

ලොකු පොඩි සියලු දෙන සමඟින් සුමිතුරුව

කිසි වෙනසක් නොවන සේ කටයුතු කෙරුව

ඔබගේ වියෝව නෙත කඳුලැල් පිරුව

මුසපත් වුනෙමි අදහා ගන්නට බැරුව

හදින් සිය ඇසුරට පත් අයෙකුටම හැම

කළ සේවය අගෙයි නිමවන තුරු දිවි ගමනේ ඉම

බැලුවිට ගැලූ මිනිසත්කම ලබැඳීකම

ඔබ වැනි සොඳුරු මිනිසෙක් නොදුටුවෙමි මම

විමල් රණසිංහ

ග්‍රෑන්ඩ්පාස්

කොළඹ


අනුලා ඔබට සුඛී දිඝායුකෝ භව

එදා දම්මි - සුගත් ආදර අන්දරය ඔස්සේ තාරුණ්‍යයේ නොමැකෙන මතක සටහන් තැබූ අනුලා කරුණාතිලකට සුඛී දිඝායුකෝ භව. 'පරසතු මල්', 'මී මැස්සෝ', 'පාරා වළලු', 'නෑදෑයෝ', 'නාරිලතා', වැනි සිතුවම්පට ඔස්සේ ඔබගේ විශිෂ්ට රංගනයන් දුටුවෙමි.

එස්. ඒ ප්‍රේමලතා

රුක්ගහ තොටුපොල

බණ්ඩාරගම


රොෂාන් ප්‍රනාන්දු ඔබ විශිෂ්ටයි

මීට විසිපස් වසරකට පෙර සංගීත ලොවට පිවිසෙමින් පියවරෙන් පියවර සාර්ථක වී මෙරට මෙන්ම විදේශයන්හි පවා ඉහළ ප්‍රේක්ෂක අවධානයක් දිනාගත් එකම සංගීත කණ්ඩායම ප්ලෑෂ් බැක් බව සඳහන් කරමි. එයට නායකත්වය දෙමින් මියුරු ගීත ගයනා රොෂාන් ප්‍රනාන්දු ඔබේ හැකියාවද විශිෂ්ටයි. ඔබට හදවතින්ම ආශිර්වාද ගෙනෙමි.

මිල්ටන් ප්‍රනාන්දු

නව එක්සත් මාවත

මුදුකටුව


හෙළ සිනමාවේ නිළි රැජන

හෙළ සිනමාවේ නිළි රැජන, ගීත කෝකිලාවිය රුක්මණී දේවිය අද මාධ්‍යය තුළින් ගිලිහී යනවා දැයි සැකයක් පවතී.

ආරියදාස පිංදෙණිය

බටවල

පාදුක්ක


ප්‍රථම රංගනය ජයගත් දිනිති

ප්‍රථම රංගනයෙන් අසීමිත ජනප්‍රියත්වයක් දිනා ගත් රංගනයේ දස්කම් පෙන්වන දිනිති වල්ගමගේ 'හාරකෝටිය' ටෙලි නිර්මාණයට ගෙන එන්නේ ඉහළ වටිනාකමකි. ඉදිරියේදී අති දක්ෂ චරිතාංග නිළියක ලෙසින් සාර්ථක වීමට වරම් ලැබේවා. ජනප්‍රිය කිරුළ හිමි වේවා.

නිමල් කුලසේකර

අඟුලාන


ශ්‍යාම් ඔබේ රැඟුම් අගෙයි

ශ්‍යාම් ප්‍රනාන්දුගේ රංගනය ඉතාම තාත්විකයි. ඉතා උසස් මට්ටමේ රංගන ශිල්පියෙක් ලෙසින් තමාට ලැබෙන චරිතයට සාධාරණයක් ඉටු කරන්න හැකි බව 'ඔබ නැතුව ඔබ එක්ක', 'ප්‍රේමය නම්' චිත්‍රපට ඔස්සේ ඔහු මනාව පෙන්වා දුන්නා.

කෙනත් පෙරේරා

වැලිගම්පිටිය

ජා-ඇල


සොබා රූ ගෙනන ආදරණීය ශ්‍රී ලංකා

ස්වාධීන රූපවාහිනි සේවයෙන් විකාශය කෙරෙන 'ආදරණීය ශ්‍රී ලංකා' වැඩසටහන කදිමයි. එය මඟින් එක් දිස්ත්‍රික්කයක් තෝරාගෙන එහි ස්වභාව සෞන්දර්යය නැරඹීමට සැළැස්විම ප්‍රියජනක ආශ්වාදයක් ගෙන එයි.

දිනේෂ් ගුණසේකර

නූපේ

මාතර


හොඳම නළුවා ජැක්සන්

වේදිකාව, ටෙලි නාට්‍ය, සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම හොඳම නළුවා ජැක්සන් ඇන්තනි ය. වේදිකාවේ 'මාරාසාද්', 'මධුර ජවනිකා', 'ධවභීෂණ' මෙන්ම 'පළිඟු මැණිකේ', 'ඇල්ල ළඟ වලව්ව', 'වෙද හාමිනේ' වැනි නිර්මාණ අපට අමතක නැත.

සරත් සේනාධීර

කල එළිය

ජා-ඇල


ටෝනි සමුගෙන දෙවසරයි

සිංහල සිනමාවේ අග්‍රගණ්‍ය රංගන ශිල්පී ටෝනි රණසිංහයන් දෙව්මව් තුරුලට ගොස් දෙවසරකි. ආදරයෙන් එතුමා සිහිපත් කරමි.

එච්. ඒ ජයසේන

රණාල


අමරණීය සුනිල් මෙහෙවර

සිනමා විචාරකයකු, සිනමා ගත් කතුවරයකු, හා පුවත්පත් කතුවරයකු ලෙස සිනමාව, කලාව වෙනුවෙන් අමිල මෙහෙයක් ඉටු කළ සුනිල් මිහිඳුකුල සූරින්ගේ හදිසි වියෝව අප හද තුළ ඇති කළේ කම්පනයකි. මෙතරම් ඉක්මනින් ඔහු අපගෙන් වෙන්ව යතැයි කිසි දින නොසිතුවෙමි. අවංකවත්, සෘජුවත් තම අදහස් පළ කළ සුනිල් මිහිඳුකුලයන් නොමැති අඩුව පිරිමසාලිය නොහැකිය. රසිකයන්ගේ ද ළෙංගතු මිතුරකු වූ ඔහුගේ පෑන් තුඩෙන් ලියැවුණු රසවත් හරවත් ලිපි නිමා වුවත් ඔහු කලාවට කළ මෙහෙවර අමරණීය යි.

ධර්මා ඒකනායක

මාතලේ


අයිරින් ද අල්විස් හට උපකාර වෙමු

"දෑස පා සිනා කියන රහස තේරුණා" යන ජනප්‍රිය ගිතයෙන් සුවහසක වූ රසික රසිකාවන් ඉතා ආදරයෙන් වැළඳ ගත් ප්‍රවීණ ගායන ශල්පී අයිරින් ද අල්විස් ගායන ක්ෂේත්‍රයට ජීවය දුන් ශිල්පිණියකි. අද වන විට අසරණව සිටින ඇයහට පිළිසරණක් වීම ඇයට කරනා මහඟු සේවයකි.

එච්. ඉන්ද්‍රපාල

ශ්‍රී සංඝමිත්තා මාවත

මුංහේන


සසර සේයා

'සසර සේයා' මේ දිනවල විකාශය වන ජනප්‍රිය ටෙලි වෘත්තාන්තයකි. දක්ෂ නළු නිළි පිරිසක් රඟන එය විශ්මයක් සේම භීතියක් ගෙනේ. රොෂාන් පිලපිටිය, ජනක කුඹුකගේ, අමිල අබේසේකර, රිතූ ආකර්ෂා ගේ රංගනය විශිෂ්ටයි. තීක්ෂණ අනුරාධ සහ චේතනා රණසිංහ විසින් සිදු කෙරෙනා තේමා ගීත ගායනද විශිෂ්ටයි. නවක සංගීත අධ්‍යක්ෂ ආශා රාජපක්ෂ හටද නිෂ්පාදනය විනෝජා නිලන්තිගේ නිෂ්පාදනයටද පැසසුම් කරමි.

ක්ලෝඩ් ලිවේරා

නාලිනී ද ලිවේරා

මීගමුව


ඕෂධීට සුබ පැතුම්

පසුගියදා යුරෝපයේ පැවති විවාහක රූරැජන තරගාවලියේදී වැඩිම ජනතා මනාපයක් ලබමින් කිරුළු පැළඳී ඕෂධී හේවාමද්දුම ගේ හට සුබ පැතුම්.

තිලකරත්න විල්වල

මැණිකේ විල්වල

තටාකය පාර

කෑගල්ල


සිංහලයේ මානව වංශය අගෙයි

ප්‍රාග් හෙතිහාසික පුරා විද්‍යාවේ සිට සිංහල රාජාවලිය තෙක් තොරතුරු අපට ලබාදීමට සිංහලයේ මානව වංශය වාර්තා වැඩසටහන මඟින් ස්වාධීන රූපවාහිනි සේවය දරන උත්සාහය ප්‍රශංසනීය යි. බොහෝ දුෂ්කරතා විඳීමින් අහසේ සිට ද, ජලයේ කිමිදෙමින්ද, ගිරි දුර්ග ද, ගල්ගුහා තුළින්ද ගමන් ගනිමින් කැමරාකරු ඇතුළුව සියලුම ශිල්පීන්ට අපේ ප්‍රණාමය.

ඩඩ්ලි ගෝමස්

කටුබැද්ද

මොරටුව


නෙළුම් රන් තරු වියනට එන්න

වෙලෙඳ සේවයේ 'රන් තරු වියන' ඔස්සේ අප ඇමතූ නෙළුම් කළුබෝවිලගේ හඬපසුගිය වැඩසටහන්වලින් අපට අසන්නට නොලැබුණි. නෙළුම් නැවතත් 'රන් තරු වියනෙන්' අප අමතන්න.

ජයන්ත අමරතුංග

චන්දන පොකුණ

පොළොන්නරුව

ආදරණීය ප්‍රින්ස්

ඔබ පෑ පෙම් සිනා

කොහේදෝ සැඟ වුණා

සුවඳ දී මලක් සේ

මිලින වී ගිලිහුණා . . .

ගීත ඇසේ සසර පුරා

විහිදී සවන් පුරා

ඔබගෙන් ඇසෙනා ඒ ගී අහලා

සිත සුවපත් වේවි . . .

බලා සිටිමි දෑස් අයා

යළි රුව දකින තුරා

ඔබ මුවඟේ රැඳී

පෙම් ගී ඇසුමට

කුමරුණි සසර පුරා . . .

සමන් ගාල්ලගේ

කැටපල

ගනේගොඩ


සු.මී ගෙන් අහන්න

අපි නොයෙක් ප්‍රශ්න ඇවෙමු. ඔහු ඉතා රසවත් සරල පිළිතුරු දුණි. එහෙත් අද ඔහු නැත. ජීවිතය යනු එය යි.

මල් ලස්සනයි සුවඳයි. පරවී යයි. ඉන් පසු ඒ මලෙන් පලක් නැති. එහෙත් ගුණයෙන් පිරි මිනිසුන් මිය නොයති. ඔහු ද එසේ යැයි සිතේ. ධනය, බලය, කුලය, ජාතිය, තනතුරු මරණයට බලනොපායි. ඇරයුම් ලැබුණු සැණින් යා යුතුව ඇත. ලෝ දහම එය යි. සුනිල් මිහිඳුකුල මහතා ණෙනි ඔබට නිවන් සුව.

සුජාතා ගුණවර්ධන

කඩවත


කලා හැකියා සපිරි බුවිනි

බුවනි දියලගොඩ ඔබට රංගනයේ මෙන්ම නිවේදන ක්ෂේත්‍රයේ ද හැකියාව තිබෙන බව පෙනේ. ඔබ එය ඉටුකරන අයුරු අපූරුයි. නිරතුරුව පියකරු සිනහවකින් මුව සරසාගෙන සිටින ඔබ දැකීමත් සතුටක්. බුවනි ඔබට සුබ අනාගතයකට සුබ පැතුම්.

සුසිලා පතිරාජ

පුබුදුගම

උස්වැටකෙයියාව