වර්ෂ 2016 ක්වූ  ජූනි 29 වැනිදා බ්‍රහස්පතින්දා




මේ වැඩ හොඳ නැහැ

මේ වැඩ හොඳ නැහැ

අප සංගීත ක්ෂේත්‍රයේ දෙදෙනෙක් අතර ඇති වූ ගැටුමක් ගැන මූණුපොතේ වැඩි දෙනෙකුගේ අවධානය යොමු වෙලා. පෙර පරපුර සහ නව පරපුර නියෝජනය කරන දෙදෙනෙක්. සමහරු මේ අයගේ මේ මතවාද ගැටුම හඳුන්වා දෙන්නේ මූණු පොතේ අලුත්ම ගහමරා ගැනිල්ල හැටයටයි. මෙලෙස උණුසුම්කාරී ලෙස අදහස් හුවමාරු කරගෙන තිබෙන්නේ නාමල් උඩුගම සහ දුලාජ් ධනුෂ්කයි. දුලාජ් තම මූණු පොතේ ප්‍රසිද්ධ කළා එක්තරා කාරණයක්. ඒ නාමල් උඩුගම තමන්ට තර්ජනය කරමින් බැණ වැදුණ බව. නාමල්, දුලාජ්ට එවපු මැසේජ්වල ඉමේජ් එක පවා ඔහු තම මූණු පොතට එක්කොට තිබුණා. නමුත් අපි හරියටම දන්නේ නැහැ ඒ මැසේජ් එව්වේ නාමල්මද කියලා. මොකද ජනප්‍රිය කෙනෙකුගේ නමින් තවත් මූණුපොත් ගිණුම් තිබෙන්නට පුළුවන්. ඒ වගේම ජනප්‍රිය අයගේ මුණුපොත්වලට හොරෙන් රිංගලා එනමින් චැට් කරන අයත් ඉන්නවනෙ. එහෙම වෙන්නත් පුළුවන්. නාමල් දුරකථනයකින් කතා කොට එලෙස කිව්වා නම් හරියටම කියන්න පුළුවන් ඒ නාමල්මයි කියලා. නමුත් මූණුපෙතේ මැසේජ් එකකින් හරියටම කියන්න බැහැනෙ ඒ කෙනාමද මෙහෙම මැසේජ් කරන්නේ කියලා. නාමල්ව සුද්ධ කරන්නවත් දුලාජ්ට මඩ ගහන්නවත් නෙවෙයි අප එහෙම කිව්වෙ. ඒකනෙ ඇත්ත.

දුලාජ් මෙහෙම නාමල්ට දෝෂාරෝපණය කරමින් මූණුපොතට අදහස් එකතු කොට තිබෙන්නේ කලකට ඉහතදී දුලාජ් විසින් ගැයූ නාමල්ගේ ගීයක් නිසා. අප හමුවීම වෙන් වීමදෝ ආදරේ තමයි ඒ ගීය. දුලාජ් විසින් එය නැවත ගයා පටිගත කොට තිබෙනවා. ඒ නාමල්ගේ අවසරයකින් තොරවයි. දුලාජ් නම් කියන්නේ තමන්ගේ හිතේ උපන් ආසාවට එලෙස කළා කියලා. නාමල් වරෙක කිව්වලු දුලාජ්ගේ හඬින් තියෙන තමන්ගේ ගීතය අන්තර්ජාලයෙන් ඉවත් කරන්නැයි කියලා. දුලාජ් එහෙම කරලා. නමුත් අන්තර්ජාලයෙන් 100% ක්ම එය ඉවත්වෙලා නැතිලු. නාමල් සැරෙන් කියලා තියෙනවා අන්තර්ජාලයෙන් එය 100% ක්ම අයින් කරන්න කියලා. එහෙම කියලයි නාමල් දුලාජ්ට මැසේජ් කරලා තියෙන්නේ. ආයේ තමන්ගේ සින්දු කියන්න එපා කියලා. අප මේ ගැන තවත් අදහස් දක්වනවාට වඩා ඔබටම තීරණය කරන්න ඉඩදෙනවා මෙතැන හරි වැරැද්ද කාගෙද කියලා. ඒ වගේම තවදෙයක් කියන්න ඕනෑ. අපි සාමාන්‍යයෙන් දැකලා නැහැ වෛද්‍යරයෙක් තවත් වෛද්‍යවරයකුගේ වැරැද්දක් ගැන ෆේස්බුක් දානවා. අනෙක් බහුතර ක්ෂේත්‍රවලටත් එහෙයි. නමුත් කලා ක්ෂේත්‍රයේ එකම අංශයක දෙදෙනෙක් මෙහෙම තර්ක කර ගැනීමෙන් වඩාත් හානි වෙන්නේ අපේම කලා කෂේත්‍රයට. එහෙයින් තම තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න තම තමන් විසඳ ගන්නවා නම් කොච්චර හොඳද. අනික හොඳ කටහඬක් තියන දුලාජ් කොලුවා මොකටද අනුන්ගේ සින්දු කියන්න ගියාද මන්දා.