වර්ෂ 2016 ක්වූ  ජූනි 29 වැනිදා බ්‍රහස්පතින්දා




කාලයකට පසු එකම වහලක් යට අද ඔක්කොම එකතු වෙනවා

කාලයකට පසු එකම වහලක් යට අද ඔක්කොම එකතු වෙනවා

ශ්‍රී නිමල් පද්මකුමාර

ටික කාලයකදි දොස්තර මුදලිනායක මහත්තයා නිහඬවනවා. ඒ වගේම මුවන්පැලැස්ස නාට්‍යය නම තියෙන ගම් පවා බිහි වෙනවා. ඒ නිසා චරිත වෙනස්වීමත් මේ කාරණාත් නිසා නැවතත් මුවන්පැලැස්ස නමින් ගුවන්විදුලි නාට්‍යය ප්‍රචාරය වීමට පටන් ගන්නවා. ඊට පසුවයි මේ කාලයේ මූං අරුක්ගොඩ අතුරුදන් වන්නේ. එසේ වන්නේ ඔහු හතරවැනි පිටපතත් ලියලයි. හතරවැනි පිටපතේයි ජන්තු කියන චරිතය පැමිණෙන්නේ. එහි ජන්තුගේ චරිතයට වික්ටර් මිගෙල් තෝරා ගැනෙන්නේ මාවයි. මා ජන්තුගේ චරිතයට වසර විසිපහක් කටහඬ ලබාදෙනවා.

‘මුවන්පැලැස්ස’ ගුවන්විදුලි නාට්‍යයේ ‘කදිරා’ නමින් මුළු මහත් ශ්‍රී ලාංකික ශ්‍රාවකයන්ගේ හදවත දිනූ ඔහු ශ්‍රී නිමල් පද්ම කුමාර ය. ඔහු ලියූ ‘නිවේදක වෘත්තියට පිවිසුමක්’ කෘතිය එළිදැක්වීමත්, නිවේදක ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිවේදක - නිවේදිකාවන් ඇගයීමත්, වික්ටර් මිගෙල් මහතා ලියූ ‘මුවන්පැලැස්ස’ නාට්‍යය පිටපත් ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට නිල වශයෙන් භාරදීමත් මේ මස 29 වැනිදා අද පස්වරු 2.30ට මහවැලි කේන්ද්‍රයේදී සිදුවෙයි. මේ සිදුවන කාර්ය පිළිබඳ විමසීමට අප එහි පිවිසි අවස්ථාවේ ඒ උලෙළ පිළිබඳත්, ‘මුවන්පැලැස්ස’ ගුවන්විදුලි නාට්‍යයේ අතීතය පිළිබඳත් ශ්‍රී නිමල් පද්ම කුමාර ‘සරසවිය’ සමඟ සුහද කතාබහක යෙදිණි. එවේලෙහි කිසිම මාධ්‍යකට නොකියූ කතා බොහොමයක් ඔහු හෙළිදරව් කළේ මෙලෙසිනි.

29 වැනිදාට කාර්යයන් ත්‍රිත්වයක් සිදුවීමට නියමිතයි. ඒ කටයුතු සංවිධානය වී තිබෙන්නේ කෙසේ ද?

මා ලියූ ‘නිවේදක වෘත්තියට පිවිසුමක්’ කෘතිය එළිදැක්වීමත්, නිවේදක ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිවේදක - නිවේදිකාවන් ඇගයීමත්, වික්ටර් මිගෙල් මහතා ලියූ ‘මුවන්පැලැස්ස’ නාට්‍යය පිටපත් ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට නිල වශයෙන් භාරදීමත් යන කටයුතුයි එදිනට කෙරෙන්නේ. මේ වැඩසටහනේදී ප්‍රධාන දේශනය පවත්වන්නේ අශෝක තිලකරත්න මහත්තයා. විජේරත්න වරකාගොඩ මහත්තයා ගුවන්විදුලියේ අතීත රසමුසු සිදුවීම් යනුවෙන් අතීත මතකය අවධි කරනවා පමණක් නොවෙයි, ඒ කාලයේ නිවේදක නිවේදිකාවන්ගේ කාර්යභාරයත් මතකයට නඟාවි. ඊට පසුව ගුවන්විදුලි නිවේදක වෘත්තියේ අද සහ හෙට පිළිබඳව කතාබහක යෙදෙන්නේ භාෂිණී සමරසිංහ මහත්මියයි. වැඩසටහන අවසාන වන්නේ ජයන්ත පීරිස් මහත්තයාගේ ස්තුති කතාව කිරීමෙන් පසුව ජ්‍යෙෂ්ඨ ශිල්පීන් හා ශිල්පිනියන් සියල්ලන්ගේ ම එකමුතුවෙන් ගනු ලබන සමූහ ඡායාරූපයකින්. ඒත් සමඟ ම එහි පැමිණෙන අනෙක් අයටත් ඔවුන් සමඟ ඡායාරූප ගැනීමට යම් ඉඩහසරක් ලබාදීමට අප කැමැතියි.

‘නිවේදක වෘත්තියට පිවිසුමක්’ කෘතිය එළිදැක්වන්නේ වර්තමානයේ මාධ්‍යවලට පිවිසෙන නවකයන් මූලික කරගනිමින්ද?

එදිනට එළිදක්වන පොත ගැන සඳහන් කළොත් නිවේදන වෘත්තියට පිවිසෙන්න ඉන්න අයට හා එහි පිවිසුණු නවක තරුණ - තරුණියන්ට මේ පිළිබඳ මූලික දැනුමක් ලබා ගැනීමට සිංහල භාෂාවෙන් ලියැවුණු පොතපත ඇත්තේ නැහැ. ඒ නිසා එදිනට එළිදැක්වෙන ‘නිවේදක වෘත්තියට පිවිසුමක්’ කෘතිය ඔවුන්ට අත්පොතක් ලෙස පරිහරණය කළ හැකිවේවි. මේ පොත ලිවීමේ අදහස මගේ සිතේ පහළ වන්නේ ජයන්ත සුබසිංහ මුහුණු පොත හරහා කරන යෝජනාවකින්. ඒ මා එක්තරා පුවත්පතකට දේශපාලනයේ විවිධ අතීත තොරතුරු අලළා ලියන ලද කොළම කියවන ඔහු එය පොතක් ලෙස පළ කරන්නැයි කරන ඉල්ලීමෙන්. ඒ අනුවයි මා ‘නිවේදක වෘත්තියට පිවිසුමක්’ යන පොත ලිවීම ආරම්භ කරන්නේ.

ඔබ ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිවේදක - නිවේදිකාවන්ද ඇගයීමට ලක්කරනවා?

එදිනට ඔවුන් කැඳවා හරසර දැක්වීමට, මගේ ගෞරවය පිදීමට මට හැකි නම් මා එයයි ලබන එකම සතුට වන්නේ. අනෙක් කාරණය නම් කාලයකට පසුව එක ම වහලක් යටට මේ සියල්ලන් ම එකමුතු වන මොහොතක් උදාවීමයි. ගුවන්විදුලි ඉතිහාසයේවත් මේ සියල්ලන් ම එක ම වහලයක් යටට එකතු වූ බවක් මා අසා නැහැ. එවැනි ඓතිහාසික අවස්ථාවකුයි එදිනට මේ උදා වන්නේ. එදිනට මට කළ හැකි අයුරින් මා ඔවුන්ව ඇගයීමට ලක්කරනවා. ඒ ඔවුන්ට පුංචි තිළිණයක් පුද කරමින්. ජයන්ත පීරිස්, බර්ටි ගලහිටියාව, සුමනා ජයතිලක, ආරියසේන මිල්ල විතානාච්චි, අශෝක තිලකරත්න, රත්නාලංකා අබේවික්‍රම, ලැම්බට් පෙම්මාවඩු, අරුණ ඩයස් බණ්ඩාරනායක, ගුණතුංග කේ. ලියනගේ, නිව්ටන් ගුණරත්න, නඩරාජා සිවම්, දයා අබේසේකර, නන්දා ජයමාන්න, රම්‍යා වනිගසේකර, විමලදාස පෙරේරා, විජේරත්න වරකාගොඩ ඇතුළු කිහිපදෙනෙකුයි එදිනට ඇගයීමට ලක්වන පැරැණි ශිල්පීන් හා ශිල්පිනියන් වන්නේ.

‘මුවන්පැලස්ස’ ගුවන්විදුලි නාට්‍යය පිටපත් ජනගත කිරීමකුත් සිදුවන්නේ කුමන ආකාරයෙන්ද?

‘මුවන්පැලස්ස’ ගුවන්විදුලි නාට්‍යය ලියූ වික්ටර් මිගෙල් මහත්තයාගේ සමුගැනීමත් සමඟ එහි පිටපත ලිවීමට මට ආරාධනා ලැබෙන්නේ ඔහුගේ පවුලේ අයගෙන්මයි. ඒ අනුව මා ‘මුවන්පැලැස්ස’ ලියන කාලයේ වික්ටර් මිගෙල් මහත්තයා ලියූ ‘මුවන්පැලැස්ස’ නාට්‍යය පිටපත්වල රෝනියෝ කර නිර්මාණය කරන ලද පිටපත් තොගයක් මට ලැබෙනවා. ඒ සියල්ල අද දක්වා ම මා අරක්ෂාකාරී ලෙස සුරක්ෂිත කර ගන්නවා. එලෙස ඒවා මා සුරක්ෂිත කරන කාලය වසර විසි දෙකක්. මේ සියල්ල මා ළඟ තිබෙනවාට වඩා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ තිබීම වඩාත් වැදගත් බවයි සිතුවේ. ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමිය සමඟ කතාබහ කිරීමෙන් පසුව පොත එළිදැක්වෙන දවසේදී ම ඔවුන්ට වික්ටර් මිගෙල් මහත්තයාගේ පවුලේ අය ඉදිරිපසදී මේ පිටපත් ටික නිල වශයෙන් භාරදීමත් එදිනට සිදුවෙනවා.

වික්ටර් මිගෙල් මහත්තයාගේ පවුලේ අය වගේ ම ඔහුත් ඔබට දිනෙක මුවන්පැලැස්ස ලියන්න හැකි බව පවසනවා නේද?

මා කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඩිප්ලෝමාව කරන කාලයේ නිබන්ධය ලිවීමට තෝරා ගන්නේ මුවන්පැලැස්ස හරහා සිදුවුණු සමාජ හා සංස්කෘතික බලපෑමයි. ඒ පොත වික්ටර් මිගෙල් මහත්තයාට කියැවීමට ලැබෙන්නේ මේ අතරයි. එය කියැවූ ඔහු පුදුම වී විහිළුවට අපූරු කතාවක් පවසනවා. ඒ “අයිසේ තමුසේ හරි ඒවානේ ලියලා තියෙන්නේ. මේ ලියලා තියෙන දේවල්වල විදියට, මම මළොත් තමුසෙට ‘මුවන්පැලැස්ස’ත් ලියන්න පුළුවන්නේ.” කියලා. පසුව ඔහු හෘදයාබාධයක් හැදිලා මියයනවා. ඒ 94 වසරේ. ඉන්පසුව ඔහුගේ දෙණ ඉදිරියේ පවුලේ අය මගෙන් ඉල්ලා සිටියේ ‘මුවන්පැලැස්ස’ දිගටම ලියමින් ඉදිරියට අරගෙන යන ලෙසයි. ඔවුන් දුන් පිටපත්වල දර්ශන අංක පිරික්සමින් මා මුවන්පැලැස්ස ලියන කාලයේ ඒ මඟින් ගත් යෙදුම් වැනි දේ බොහෝයි.

මුවන්පැලැස්ස ආරම්භ වන්නේ බොහොම කාලයකට ඉස්සරයි?

1971 වසරේ මාර්තු මාසයේ 12 වැනිදායි දොස්තර මුදලිනායක මහත්තයා මුවන්පැලැස්ස රචනා කරන්නේ. එය අතිශය ජනප්‍රිය නාට්‍යයක් බවට පත්වෙනවා. එහෙත් ඔහු ටික කලකට පසු විදේශ රටක පදිංචියට යෑම නිසා සිදුවන්නේ මුවන්පැලැස්ස නැවතීමයි. ඒ සඳහා තිබුණු ඉල්ලීමත් එක්ක නැවතත් මුවන්පැලැස්ස ආරම්භ කීරීමට තීරණය කරන පාලන අධිකාරිය ඒ සඳහා පිටපත් ලිවීමට දෙදෙනෙකුට පවරනවා. ඒ ධර්ම ශ්‍රී මුණසිංහට හා වික්ටර් මිගෙල් මහත්තයාටයි. ඒ අතරින් තෝරා ගැනෙන්නේ වික්ටර් මිගෙල් මහත්තයා ලියූ පිටපතයි. මේ නිසා ඔවුන් දෙදෙනා අතර යම් නොහොඳ නෝක්කඩුවක් ඇති වීමට තරම් බලපාන්නේ ඒ කාරණයයි. එතැනින් පසුව ඔහු මුවන්පැලැස්ස දිගට ම ලියනවා.

යළිත් මුවන්පැලැස්සට ගැටලුවක් පැන නැඟෙනවා ද?

ඒ ගැටලුව පැන නැඟෙන්නේ දොස්තර මුදලිනායක මහත්තයා එන්තර වාසියක් එවීමත් සමඟයි. ඒ ගැටලුව විසඳන්නේ වික්ටර් මිගෙල් මහත්තයායි. ඔහු සතියකින් මුවන්පැලැස්ස අනෙක් පිට හැරවීමත් සමඟයි එය සිදුවන්නේ. එහිදි ආරච්චිලට තනතුරු උසස් වීමක් ලැබීමත් සමඟ වෙනත් යායකට පදිංචියට යෑමත් හා එහිදි ඔවුන්ගේ තනතුරුත් සමඟ නම් වෙනස් වීමෙන් සිදුවන මේ වෙනස මඟින් මුවන්පැලැස්ස වෙනස්ම නාට්‍යයක් බවට පත්වෙනවා. ඒ ආරච්චිල කෝරළේ මහත්තයා බවට පත්වීමත්, එතනහාමි, මැණිකේ බවට පත්වීමත්, කදිරා, ඩිංගි ගුරුන්නාන්සේ ආදී නම් වෙනස් වීමත් මඟින්. ඊට පසුවයි මුවන් පැලැස්ස, ගෝනන්පැලැස්ස නමින් නම් වන්නේ. ඒ නමින් සති හතරක් ප්‍රචාරය වීමෙන් පසුව යළිත් නව මුවන්පැලැස්ස නමින් ඒ ගුවන්විදුලි නාට්‍යය ප්‍රචාරය වීම ආරම්භ කරන්නේ නීති උපදෙස් මතයි. මෙහෙම කාලයක් යනවිටයි එහි අනුග්‍රාහකත්වය දක්වන ලින්ටන්ස් අධිපති මුනිදාසද සිල්වා මහත්තයා මූ. අරුක්ගොඩ මහත්තයා සමඟ එකතු වී මුවන්පැලැස්ස සිනමාවට නැඟීමට සම්බන්ධ වන්නේ. එහි චිත්‍රපට තිරරචනය ලියන්නේ ධර්ම ශ්‍රී මුණසිංහ මහතායි. ඒ අනුව ඔහු ලියූ චිත්‍රපට කතාව අනුවයි මුවන්පැලැස්ස ගුවන්විදුලි නාට්‍යය ලියැවෙන්නේ.

ඒ අතර කදිරා මියයනවා?

ඔව්. ටික කාලයක් ගියාට පස්සේ කදිරාගේ චරිතය මියයනවා. ඒ චරිතයට හඬ දෙන්නේ වික්ටර් මිගෙල් මහත්තයායි. කොහොම නමුත් යම් මැදිහත්වීමකුත් සමඟ අවසානයේ කදිරා මියයනවා. ඒ සතියේ සඳුදා ‘මුවන්පැලැස්ස’ ගුවන්විදුලි නාට්‍යයේ කදිරා මියයනවා. ඒ සතියේ ම සිකුරාදා මුවන්පැලැස්ස 1 චිත්‍රපටය ප්‍රදර්ශනය වුණා. ඊට පසුව යළිත් පෙර පරිදිම ධර්ම ශ්‍රී මුණසිංහ මහතා ලියන පිටපතට පරිබාහිර චරිත ද එකතු කරමින් නව මුවන්පැලැස්ස නිර්මාණය වුණා.

ඒත් අප කුඩා කාලයේ ගුවන්විදුලි නාට්‍ය අසන්නේ මුවන්පැලැස්ස යන නාමෙයන්මයි?

ටික කාලයකදි දොස්තර මුදලිනායක මහත්තයා නිහඬවනවා. ඒ වගේම මුවන්පැලැස්ස නාට්‍යය නම තියෙන ගම් පවා බිහි වෙනවා. ඒ නිසා චරිත වෙනස්වීමත් මේ කාරණාත් නිසා නැවතත් මුවන්පැලැස්ස නමින් ගුවන්විදුලි නාට්‍යය ප්‍රචාරය වීමට පටන් ගන්නවා. ඊට පසුවයි මේ කාලයේ මූං අරුක්ගොඩ අතුරුදන් වන්නේ. එසේ වන්නේ ඔහු හතරවැනි පිටපතත් ලියලයි. හතරවැනි පිටපතේයි ජන්තු කියන චරිතය පැමිණෙන්නේ. එහි ජන්තුගේ චරිතයට වික්ටර් මිගෙල් තෝරා ගැනෙන්නේ මාවයි. මා ජන්තුගේ චරිතයට වසර විසිපහක් කටහඬ ලබාදෙනවා.

මුවන්පැලැස්ස සඳහා සහභාගි වන සියලු ශිල්පීන් එකමුතු වූ තැන සිදුවුණු විශේෂ දේත් බොහොම තිබෙනවා ද?

මුවන්පැලැස්ස පටිගත කිරීම විනෝද සමයක්. ඔවුන් සියල්ලන්ම මට වඩා වැඩිමහලු වුණත් ඒ සියල්ලන් ම සිටින්නේ පාසල් යන ළමයින් වගෙයි. රස කතා විමානයයි. ඊට හපන් එය නිෂ්පාදනය කළ පී. වැලිකල මහත්තයා. ඔහුත් ඒ අතර සිටිමින් මේ කතාබහට හවුල් වෙනවා. මේ සියල්ලන්ගේම කතා නිසා වෙලාව යනවා දැනෙන්නේ නැහැ.ටික වේලාවකට ගිය පසුව ගැමුණු විජේසූරිය මහත්තයා අසන්නේ “මිස්ටර් වැලිකල දැන් මුවන්පැලැස්සේ රෙකෝඩින් කවදද?” කියලයි. එවිටයි ඔන්න රෙකෝඩින් ගැන වැලිකල මහත්තයාට මතක් වෙන්නේ. “අ... අයිසේ ගන්නවා ඔය පිටපත් ටික දැනටම හොඳට ම ලේට් අයිසේ ගන්නවා... ගන්නවා ඔය පිටපත් ටික” කියමින් ඔහු අනෙක් පැත්තට දුවන අයුරු මට අද වගේ මතකයි. කිසිම දවසක පුහුණුවීම් තියන්නේ නැහැ. එක්වරමයි පටිගත කිරීම් සිදුවන්නේ. එවැනි කතා රැසක් සමඟයි මුවන්පැලැස්ස පටිගත කිරීම් එකල සිදුවුණේ.