වර්ෂ 2016 ක්වූ  ජූනි 29 වැනිදා බ්‍රහස්පතින්දා




Bollywood

දිලීප්ගෙන් තවත් වාර්තාවක්

ලෝ ප්‍රකට තරු මිය ගිය බවට වන ප්‍රචාර දැන් දැන් ඉහළ යන හැඩයි පේන්නේ. පසුගියදා මේ විදියට මියගිය පුද්ගලයකු බවට පත් කළේ ඉන්දීය සිනමාවේ විශිෂ්තම නළුවකු ලෙසින් පුද ලද ප්‍රවීන නළු දිලිප් කුමාර්. දිලීප් කුමාර් සම්බන්ධයෙන් මේ පුවත විශේෂ වෙන්නේ ඔහු මිය ගිය බවට පුවත් කිහිපවරක්ම වාර්තා වීමයි.

තමන් මියගිය බවට වන පුවත ද සමගින් දිලීප් තම ට්විටර් පිටුවේ සටහනක් තැබුවේ, "මම මාධ්‍යයෙන් ඈත්වී සිටියද හදවත ඔබ ළඟයි. ඔබ සැමගේ ආශීර්වාදයෙන් මා හොඳීන් ජීවත් වෙනවා" යනුවෙනුයි.

දිලීප් මරණයට පත් වූ බවට සැලකළ පුවත දුටු සහිරා භානු කම්පනයට පත් වෙලා. දිලීප් කුමාර්ගේ නිවෙසට දුරකථන ඇමතුම් රැසක් ලැබුණු අතර ඒ හැම එකකින්ම විමසුනේ දිලීප් කුමාර් මිය ගිය බව සැබෑවක්ද යන්නයි. දශක හයකට වඩා වැඩි කාලයක් හින්දි සිනමාව වර්ණවත් කළ දිලිප් කුමාර් දැන් ගෙවන්නේ සිය දිවිමඟේ 94 වැනි කඩඉමයි.

"මගේ සෞඛ්‍ය මේ රාමසාන්වල ගොඩක් හොඳ තත්ත්වයක තියෙනවා. දිනපතා ගන්නා ඖෂධ නිසා මට උපවාස කරන්න නම් නොහැකි වුණා. ඒ වෙනුවෙන් අල්ලාහ් දෙවියන් මට සහ සහිරාට සමාව දෙනු ඇති. ඔබ සැමගේ ආදරයට ස්තූතියි" දිලීප් වැඩිදුරටත් තම ට්විටර් පණිවුඩයේ සටහන් කළා.


ආලියාගේ අලුත් පෙම්වතා

පසුගිය වසරේ ෆිල්ම් ෆෙයාර් හොඳම නිළිය ලෙසින් පිදුම් ලද ආලියා භාත් මේ වසරේදී දකින්න ලැබුණේ Badrinath Ki Dulhania චිත්‍රපටයෙන්. මීඟට ඇයගේ දායකත්වය ලැබෙන්නේ මේග්නා ගුල්සාර් අධ්‍යක්ෂණය කරන 'Raazi' චිත්‍රපටයට යි.

'Raazi' චිත්‍රපටයේ ආලියා සමඟින් ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ විකී කෞෂාල්. කාශ්මීරයේ තරුණියක පකිස්තානයේ හමුදා නිලධාරියකු සමඟින් විවාහ දිවියට පත්වන කතාවක් මෙහි ඇතුළත්.

විකී ඉහළ ජනප්‍රියත්වයක් ලැබුවේ 2015 වසරේ තිරගත වූ Masaan චිත්‍රපටයෙන්.

දැන් විකීට වගේම ආලියාටත් ''Raazi' චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කෙරෙන තෙක් ඉවසීමක් නැතිලු. මේග්නා එක්ක වැඩ කරන්න වගේම ආලියා සමඟින් රඟපාන්න ලැබීමත් ලොකු සතුටක් බව විකී පවසනවා. විකී මේ දිනවල සංජේ දත්ගේ ජීවිත කතාව ගෙන එන චිත්‍රපටයේ රූගත කිරීම්වලට දායක වෙමින් සිටින්නේ.


ශ්‍රීගේ රැඟුමට 50යි

ශ්‍රීදේවි හින්දි සිනමාවේ ප්‍රථම සුපිරිතරුව ලෙසින් නම් ලද නිළිය යි. වයස අවුරුදු හතරේදී ළමා නිළියක ලෙසින් සිනමාවට පිවිසි ඇය දෙමළ, හින්දි, මලයාලම්, කණ්ණඩ, තෙළිඟු සිනමා නිර්මාණ රැසකට රංගනයෙන් දායක වුණා. ඇය ප්‍රථමවරට හින්දි සිනමා නිර්මාණයක රඟපෑවේ 1975 වසරේදීයි. දැන් ඇයගේ සිනමා දිවියට වසර පනහක්.

නමුත් තවමත් අලුත් සිනමා නිර්මාණයකට දායක වන විටදී තමන් නවකයකු ලෙසින් දැනෙනා බව ශ්‍රීදේවි පවසනවා.

"ඇත්තටම අවුරුදු පනහක් ගත වෙලා කියලා මට දැනෙන්නේ නැහැ. අලුත් චිත්‍රපටයක් ලැබුණාම මට දැනෙන්නේ මං අලුත් කෙනෙක් වගේ කියලායි" ඇය පවසන්නේ මෙවැන්නක්.

ශ්‍රීදේවිගේ නවතම චිත්‍රපටය Mon ලබන ජූලි මාසයේදී තිරගත වෙන්න නියමිතයි. ඒ ගැනත් ශ්‍රී පැවසුවේ මෙවැන්නක්. "ඒක බොහොම සරළ හැඟීම්බර පවුලේ කතාවක්. මමත් දියණියන් දෙදෙනෙක් සිටින අම්මා කෙනෙක්. ඒ නිසා ඒ කතාවට අනුගත වෙන්න මට අපහසු වුණේ නැහැ. ඒ වගේම Mon කියන්නේ යෞවන යෞවනියන්ට සහ මව්වරුන්ට හොඳ චිත්‍රපටයක්".

1996 වසරේදී බොනී කපූර් සමඟ විවාහයෙන් පසුව 1997 වසරේ සිට සිනමාවෙන් දුරස් වූ ඇය නැවතත් වසර 15ට පසු 2012 වසරේදී English Vinglish චිත්‍රපටයෙන් බොලිවුඩයට පිවිසියා. නමුත් දිගටම සිනමාවේ රැඳී සිටින්න තමාට වුවමනා නොවූ බව ඇය පවසනවා. "දියණියන්ගේ වැඩකටයුතු සමඟින් තව තවත් සිනමා නිර්මාණ භාර ගන්න මට ඕනි වුණේ නැහැ. බොනී Mon චිත්‍රපටයේ කතාව කිව්වාම මට ඒකට ආසා හිතුණා".

ඒවගේම ඇය දෙමළ සිනමාව ගැන සඳහන් කරන්නේ ගෞරවයකින්. "දෙමළ සිනමාවට මම ණයගැතියි. ඔවුන් මගේ හදවතේ විශේෂ තැනක සිටිනවා. දෙමළ සිනමාවේත් මා ආකර්ශනය කරන දෙයක් ලැබුණොත් මගේ දායකත්වය ලබා දෙනවා" ශ්‍රීදේවි පවසනවා.


බිග් බීගේ සතුට

හින්දි සිනමාව ලෝකය පුරා පැතිරී ඇති බව අමිතාබ් බච්චන්හට දැනිලා. බිග් බීට මෙහෙම දැනුණේ තම අලුත්ම චිත්‍රපටය Thugs of Hindostan රූගත කරන අතරතුරදීයි. යුරෝපයේ පිහිටි මෝල්ටා දිවයිනේදී කළ එම රූගත කිරීම සඳහා විදෙස් තරුණ තරුණියන් රැසකුත් දායක වෙලා.

බිග් බී දර්ශන තලයට පැමිණි විගස මේ තරුණ පිරිස ඔහු වටකර ගෙන සිටියදී එතැන හිටපු පෝලන්ත ජාතික තරුණියක් බිග්බී ඉදිරියට ඇවිත් හින්දි සිංදුවකට නටන්න පටන් අරන්. "ඇත්තටම ඔවුන් මා හඳුනාගනිවි කියා හිතුවේ නැහැ. පෝලන්ත ජාතික තරුණියක පැමිණ “Kajra re” සිංදුව කියමින් නර්තනයේ යෙදුණා. ඇත්තටම ඇය ඒ ගීතය ආත්ම විශ්වාසයෙන් හොඳීන් ගායනා කළා. තමන් ප්‍රථමයෙන් නැරඹු හින්දි චිත්‍රපටය Kabhi Khushi Kabhi Gham  බව කසකස්තානයේ තරුණියක පැවසුවා" බිග් බී පවසනවා.

Thugs of Hindostan රූගත කිරීම් සමඟින් තමා ලද මේ අත්දැකීම ඔහු බ්ලොග් පිටුවක සටහන් කළා. ඒ වගේම හින්දි සිනමාව ලෝකය පුරාම ව්‍යාප්ත වීම ගැන විශාල සතුටක් දැනෙන බවත් ඔහු එහි සඳහන් කළා.


Tubelight නිළිය අතුරුදන්

සල්මන් ඛාන්ගේ නවතම චිත්‍රපටය Tubelight පසුගිය ජූනි 23 වැනිදා සිට ලොවපුරා තිරගත කෙරෙනවා. කබීර් ඛාන් අධ්‍යක්ෂණය කළ එහි වියදම ඉන්දීය රුපියල් කෝටි සියයක්. දැනටමත් එහි ආදායම ඉන්දීය රුපියල් කෝටි 127ක් උපයා අවසන්. චීන ජාතික නිළියක වන සූ සූ මෙහි ප්‍රධාන කාන්තා චරිතයකට පණ පොවනවා.

නමුත් Tubelight චිත්‍රපටයේ කිසිදු ප්‍රචාරණ කටයුත්තකට ඇයගේ දායකත්වය ලැබී නැහැ. මෙම චිත්‍රපටය ඉහළ ජනප්‍රියත්වයක් ලබාගත්තද ඇයගේ නොපැමිණීම කාටත් ප්‍රශ්නයක් වෙලා. Tubelight චිත්‍රපටයට තේමාකර ගෙන තිබෙන්නේ 1962 වසර කාලයේදී හිමාල කඳුවැටිය ඔස්සේ වූ ඉන්දියාව සහ චීනය අතර දේශ සීමාව වෙනුවෙන් වූ අරගලය ගැන කතාවයි. ඇතැමුන් පවසන්නේ, අධ්‍යක්ෂ කබීර් ඛාන් මෙම චිත්‍රපටය ඔස්සේ චීනය පිළිබඳ වැරදි ප්‍රතිරූපයක් මවා ඇති බැවින් චීන ජාතිකයන්ගේ හිත් බිඳීයාම නිසා සූ සූගේ පැමිණීම ද සිදු නොවූ බවයි.