වර්ෂ 2016 ක්වූ  ජූනි 29 වැනිදා බ්‍රහස්පතින්දා




සුමීගෙන් අහන්න

‘ළඳුනේ’ ගීතය මුලින් ගැයුවේ එඩ්වඩ් ද?

නාවින්නේ කමල් රූපසිංහ

ප්‍රශ්නය - 'මිස්ටර් බීන්' වැනි දක්ෂ විකට නළුවන් අපිට නැහැ නේද?

පිළිතුර - ඇයි අපි ගැන අවතක්සේරු කරන්නේ? ඔබට මතක ද නිහාල් සිල්වා මීරිගම දුම්රිය එනතුරු දුම්රියපොළේ සිට ඉදිිරිපත් කරන එක පුද්ගල විකට රංගනය. ඒක මොන තරම් හාස්‍යෝත්පාදක ද?

මත්තේගොඩ අජිත් ජෝතිය කරසිංහ

ප්‍රශ්නය - 'ළඳුනේ' ගිතය මුලින්ම ගායන කලේ එඩ්වඩ් ජයකොඩි යැයි කියන්නේ ඇත්තද?

පිළිතුර - ඔහුට තමයි ගායනය සඳහා ආරාධනා කර තිබුණේ. ඒත පටිගත කරන දිනයේ එඩ්වඩ් නොපැමිණීම නිසා ඒ ගීතයේ සංගීතඥ ප්‍රේමසිරි කේමදාස ක්ෂණිකව ගත් තීරණයකට අනුව එවක වාදක මණ්ලයේ සිටි අමරසිරි පීරිස් ලවා මේ ගීතය ගායනා කෙරෙව්වා. ඇත්තටම අමරසිරි මතු වුණේ ඒ ගීතයෙන්.

මීගමුව ඩබ්ලිව්. ලෙනාඩ් ප්‍රනාන්දු

ප්‍රශ්නය - 'ද ග්‍රේට් එස්කේප්' චිත්‍රපටයේ රඟපෑවේ ස්ටීව් මැක්වින් ද? චාල්ස් බ්‍රොන්සන් ද?

පිළිතුර - දෙදෙනාම රඟපෑවා.

අත්තනගල්ලේ විමලසේන හපුතන්ත්‍රි

ප්‍රශ්නය - ප්‍රසංගයක් සඳහා ග්‍රේෂන් ආනන්ද ගැයු පහත සඳහන් ගීවල පද රචකයන්ගේ නම් අවශ්‍යව තිබෙනවා. ඒ ගීත කීපය මෙසේය. 'මනාලියක් සඳ වාගේ', 'බාලේ පුංචි කාලේ අපේ', 'ගී ගයා', 'සතුටින් නිදැල්ලේ', 'හවසට පායා'.

පිළිතුර - පිළිවෙළින් උපාලි ධනවලවිතාන, ෂෙල්ටන් වීරරත්න, ආනන්ද බණ්ඩාර කේ. විජේතුංග, හේමසිරි හල්පිට, කේ. ඩී. කේ. ධර්මවර්ධන.

මාතලේ ධර්මා ඒකනායක

ප්‍රශ්නය - මෙරට රූගත කළ 'කහ බළල්ලුු' චිත්‍රපටයේ රඟපෑ සිංහල නළු නිළියන් කවුද?

පිළිතුර - ආනන්ද ජයරන්න, ජෝ අබේවික්‍රම, වින්ස්ටන් සේරසිංහ, එච්. ඩි. කුලතුංග, චන්ද්‍රිකා ලියනගේ, පෝල් ඊක්මන් රඟපෑවා.

කඩවත පහළ බියන්වල භද්‍රා බියංකා මධු

ප්‍රශ්නය - මිල්ටන් මල්ලවආරච්චිගේ ගී ඔහුගේ හඬට වඩාත් ලංව ගායනා කරනේනේ පුතු රනිල් ද? මුණුබුරු පවන් ද?

පිළිතුර - පවන්ගේ ගී ඇසෙද්දී හරියට මිල්ටන් ජීවමානව ගායනා කරනවා වගේ මට දැනෙනවා.

වත්තල හේකිත්තේ ලක්ෂ්මන් රණසිංහ

ප්‍රශ්නය - මොහිදින් බෙග් ගයන 'ප්‍රේම ගඟේ මැණික් වාගේ' ගීතය හින්දි චිත්‍රපට ගී අනුකරණයක්ද?

පිළිතුර - ඔව්. එය 'අල්බේලා' චිත්‍රපටයේ ගී තනුවක්.

උතුරු කළුතර තොටුපළ පාරේ සිරි අබේසේකර

ප්‍රශ්නය - කැමිලියා මල (සින්ඩ්‍රෙල්ලා) ගීතය ගයන්නේ කසුන් කල්හාර ද? කිත්සිරි ජයසේකර ද? එහි පද රචනය කාගේද? ඒ ගීය ගැන ඔබේ අදහස් දක්වන්න.

පිළිතුර - ඒ ගීතය ගයන්නේ කිත්සිරි. සංගීතවත් කළේ කසුන්. පද රචනය චාමින්ද රත්නසූරිය. මේ ගීිතයේ පොඩි අපූර්වත්වයක් තිබෙනවයි කියලා මට හිතෙනවා.

මාරවිල විජිතලාල් සිල්වා

ප්‍රශ්නය - සරත් සන්දනායක සහ පිරිස ගයන 'වන මල් පිපිදේ - තරු වැල් ලෙල දේ' ගීතය රැගත් චිත්‍රපටය කුමක්ද?

පිළිතුර - සඳ නැඟ එද්දී.

කොළඹ මෝදර එම්. ආර්. සී. ඩයස්

ප්‍රශ්නය - වැඩිම ධාවන කාලයකින් යුතු පසුවාදනය සහිත ගීතය කුමක් ද?

පිළිතුර - ක්ලැරන්ස් විජේවර්ධනගේ 'සිහින ලොවක් දුටුවා මතකයි' ගීතය. එහි පසුවාදනය විනාඩියකට වැඩියි. ඉතාම මිහිරි ඒ වාදනය ක්ලැරන්ස් හා ගිටාර් වාදක ඩික්සන් ගුණරත්නගේ සංගීත ප්‍රාතිහාර්යයක්.

ඉහළ තල්දුවේ ආනන්ද වික්‍රමආරච්චි

ප්‍රශ්නය - අතුල අධිකාරී ගයන 'හිත අස්සට හීන ගොඩක් ගෙනැල්ල දුන්න' නම් වූ රසාත්මක ගීතය ලීවේ කවුද?

පිළිතුර - ආරාධනා ඒකනායක.

සරසවිය හිටපු කර්තෘ සුනිල් මිහිඳුකුල සූරින් විසින් රසික ඔබගේ පැනවලට පිළිතුරු ලෙස ලියන ලද සුමිගෙන් අහන්න ලිපි මාලාව මෙමගින් සදහටම නිමවේ