|
හෙටත් තරු පායයි
ලාකේය සිනමාවෙ සන්නද්ධ නාමයන් ගාමිණි පොන්සේකා, ජෝ අබේවික්‍රම, ටෝනි රණසිංහ ,විජය කුමාරණතුංග, මාලනි පොන්සේකා, ස්වර්ණා මල්ලවආරච්චි , ශ්‍රියානි අමරසේන, ගීතා කුමාරසිංහ ,රන්ජන් රාමනායක වැන්නන් බව අවිවාදයක් නොමැත. එහෙත් ඔවුන්වම සිහිපත් කර කර සිටීම තුලින් තව තවත් ආපස්සට යනවා විනා, ඉදිරියට යාමක් සිදු නොවේ. ඔවුන්ව අභිබවා යාමට කිසිවෙකුට නොහැකි බව කියමින් සිටිනවාට වඩා, ඔවුන්ව අභිබවා යෑමට හැකි ශිල්පීන් පිරිසක් , බිහිකළ යුතුය. ඉන්දීය සිනමාව, රාජ් කපූර්, දිලිප් කුමාර්, නාර්ගිස්, වෛජයන්ති මාලා ,රාජේශ් කන්නා, ශර්මිලා තාගෝර් මතම රැදී සිටියේ නැත. ඔවුන් ශාරුක් කාන්, අමිර් කාන්, සල්මාන් කාන්, රිතික් රෝෂන්, කත්‍රිනා කයිෆ්, කරීනා කපූර්, දීපිකා පදුකෝන් ආදිය බිහි කළේය. එම් ජී ආර්, ශිවාජි ගනේෂන්, ජෙමිනි ගනේෂන් , ජයලලිතා, කේ.ආර් විජයා මතම නොරැඳී රැජිනි කාන්ත්, කමල් හසන්, හරහා සුර්යා, විජය, ධනු, අජිත්, වැන්නන් රාශියක් බිහි කළේය. එහෙත් අප පැරැන්නන් මත්තේම රැදී සිටිති. සනත්, ජීවන්, පරපුරෙන් රන්ජන් කමල්, මහේන්ද්‍ර, ජැක්සන්, ශ්‍රියන්ත පරපුරට ගොස්, දැන් අලුත්ම පරමිපරාවකට යස්ටිය මාරු වී ඇත. ඒ අප සිනමාව බාර ගන්නා, නොඑසේ නම් බාර දෙන්නට සිටින අලුත්ම පරපුරය. දැන් තිර කථා ලියවිය යුත්තේ ඔවුන් ඉලක්ක කරගෙනය. පුවත්පත් ප්‍රචාරය දිය යුත්තේ ඔවුන්ව ඉස්මතු වන අන්දමටය. එකල ලංකාව තුල තිබු තරු වන්දනාව යළි මොවුන් වෙතින් ඇති කළ යුතුය. "ගාමිණී, විජය, ජෝලත් එක්ක මේ අයට හැරෙන්නවත් පුලුවන්ද " යන සංකල්පයෙන් අප දැන්වත් බැහැර විය යුතුය. ලෝකයේ හැම රටකම තරු වන්දනාව ඇති කරති. එය බටහිර චිත්‍රපට වේවා, ඉන්දීය චිත්‍රපට වේවා, රඟපන නළු නිළියන් තම සිහින ලෝකය තුල රජ කරවාගන්නට ඔවුන් තවමත් කැමතිය. එහෙත් වර්තමානයේ ලාංකීය සිනමාවෙන් ඒ තත්වය සම්පූර්ණයෙන් බැහැරව ඇති සැටියෙකි. නළු නිළියන්ගේ ඉල්ලුම එන්න එන්නම පහත වැටෙන සැටියකි. ලාංකික නළු නිළියන් අභිබවා, ක්‍රිකට් ක්‍රීඩකයන් පමණක් නොව රියැලටි ගී තරු ඉහළට ආවද, දැන් මිනිසුන් ඒ පසු පස ද යන බවක් පෙනෙන්නට නැත. ඔවුනට ක්‍රිකට් ක්‍රීඩකයනුත්, රියැලටි තරුත් අරහං වී ඇත. යළි සිනමා තරු පිළිබඳ රසික අවධානය ගෙන ගිය හැකි කාලය එලැඹී එනු ඇත. ප්‍රේක්ෂකයාව අලුතින් සිතිය යුතු ආකාරයකට, පුරුදු කළ යුතුය. අපට යළි හොඳ රංගන ශිල්පින් කැලක් බිහිවී ඇත. ඇතැමුන් ආකාර්ෂනීයත්වයෙන් ඉහළය. ඇතැමුන් රංගනයෙන් ඉහළය . තවත් සමහරු, රංගනයෙන් මෙන්ම, ආකාර්ෂනීයත්වයෙන්ද ඉහළය. අප මොවුන් සමග ඉදිරියට යායුතුය . එසේ යායුත්තේ ප්‍රේක්ෂකයාත් සමගය. එලෙසම එකී රංගන ශිල්පීන්ගේ දක්ෂතා මතු කර ගෙනය, අප ඉදිරියට යා යුත්තේ. ඉන්දියාවෙ මෙන් අද ලංකාව තුල නොම්මර ක්‍රමයට නළු නිළියන් නැත. හින්දි සිනමාවේ තවම නොම්මර එක ශාරුක් කාන්ය. දමිල සිනමාවේ තවම නොම්මර එක ලෙස සළකනුයේ රැජිනි කාන්තය.එහෙත් නුදුරු දිනයකදී ඒ තැන් වෙනස් කිරීමට තව දිගු පෙලක් සෑදී ඇත. ලංකාව තුල එවන් තත්වයක් නැත. දැන් අපේ නොම්මර එකේ නළුවා හෝ නිළිය කව්දැයි ඇසුවොත්, කියා ගන්නට කිසිවෙක් නැත. අලුත්ම සිනමා සක්විති, අලුත්ම නිළි රැජන, අලුත්ම සිහින කුමරා, අලුත්ම සිහින කුමරිය කව්දැයි ඇසුවොත් දෙන්නට උත්තරයක් නැත. කව්රු මොන විවේචන කරත් අප යළි ගොඩ නැගිය යුත්තේ මේ ක්‍රමයයි. එකල බොහෝ අයගේ, පසුම්බිවල දමා තිබුනේ අපේ සිනමා තාරකාවන්ගේ පින්තූරය. ගාමිණීගේ, විජයගේ, මාලනිගේ සබීතාගේ ඡායාරූප වරදින්නේ නැත. අද පසුම්බි වලට වඩා පින්තූරු දමාගන්නේ ස්මාට් ජංගම දුරකථනවලය. එහෙත් අපේ නළු නිළියන්ගේ ඡායාරූප නම් දමාගන්නා වගක් නැත. යෞවන නෙළු නිළියන්ට වඩා අද වඩාත් ජනප්‍රිය ළමා නළු නිළියන්ය. සිඳු නාට්‍යෙය් සෝරත කුඩා හමුදුරුවන් ලෙස රගන කවිෂ් විහඟ, එමෙන්ම "සිරි පැරකුම් " චිත්‍රපටයේ මෙන්ම ,ඇහැලේපොළ කුමාරිහාමි, සරිගම චිත්‍රපටවල රඟපෑ ප්‍රමුදිත උදයකුමාර අද අනෙක් නළු නිළියන් අභිබවා ඉදිරියට පැමින ඇත. එහෙත් සෝරත පොඩි හාමුදුරුවන් ජනප්‍රිය වී ඇත්තේ සෝරත නමින් විනා කවිශ් විහඟ නම්න් නොවේ. බහුතරයක් කවීශ් විහඟ හදුනන්නේ නැත. ප්‍රමුදිත ට වූයේද එයයි. "සිරි පැරකුම් හී" මම රාජකුමාරයෙක් නෙමෙයි මම ගමේ කොල්ලෙක්" යන පදයෙනි ඔහුව හැදින්වනුයේ. එහෙත් ඔහු ජනප්‍රියය. නිෂ්පාදකයන් ඔහුව ප්‍රධාන චරිත යොදා "සුජාත පුත්‍ර" වැනි චිත්‍රපට නිර්මාන කළේ ඒ නිසාය. අපට අද හොද නළු නිළි කැලක් ඇත. ඔවුන්ගෙන් ප්‍රයෝජන ගැන්ම නිෂ්පාදක, අධ්‍යක්ෂක වරුන්ගේ කාර්යයකි. ඔවුන් මුල් කරගෙන හොඳ තිරනාටක ලියවිය යුතුය. ඔවුන්ව ඉස්මතුවන ආකාරයට ඔවුන්ගේ චරිතය විකාශනය විය යුතුය. දර්ශන් ධර්මරාජ් අපට සිටින දක්ෂතම නළුවෙකි. එහෙක් ලංකේය සිනමාව තුල ඔහුට රගපෑ හැක්කේ සීමිත චරිතයන්ය. ඒ ඔහුගේ හැඩිදැඩි පෙනුම නිසාය. "ඉනි අවන්" "මචං" "අලෝකෝ උදපාදි" " උලත් එකයි පිලත් එකයි" චිත්‍රපටවල ,ඔහු කළ රගපෑම් ප්‍රේක්ෂකයන්ට දැනුනි. අර එදා තිබු තිරය දෙදරවීමේ හැකියාව දර්ශන්ට තිබුනි. නමුත් දර්ශන්ට ප්‍රේමාවන්තික චරිත සුදුසු වූයේ නැත. බිමල් ජයකොඩි තුල ඒ දෙයාකාරයටම සරිලන ප්‍රතිභාවයක් තිබේ.පෞරුෂත්වය කඩවසම් බව, ප්‍රේමනීයත්වය මෙන්ම දක්ෂ රඟපෑමේ හැකියා නිපුනත්වය, ඔහුට නොඅඩුව පිහිටා තිබේ. ඔහු තුන්ඉරියව් ක්‍රිඩකයෙක් මෙනි. එය "ගාමණි" "බෝම්බ හා රෝස" "සිරි පැරකුම්" සක්කාරං " තුලින් මනා ලෙස ඔප්පු කලේය. රොෂාන් පිලපිටිය ගේ කඩවසම් ආකාර්ෂණයත්, රඟපෑමේ හැකියාවත් සිනමාවට දායකවූවා මදියැයි සිතේ . "හතර දෙනාම සූරයෝ" නව නිස්පාදනයේත් , ලෙස්ටර්ගේ "අම්මාවරුනේ" චිත්‍රපටයේත් රොෂාන්ට දෙයාකාරයේම චිත්‍රපටවලට සාධාරණයක් කළ හැකි බව පෙන්වූවද, සිනමාකරුවන්ගේ ඇස ඔහු ළග නතරවූයේ මද වශයෙනි. රොෂාන් රණවන ලේබල් වූයේ සිහින කුමරා අංශයටය. එයද ලංකේය සිනමාවේ අත්‍යාවශ්‍ය අංගයකි. "හිරි පොද වැස්ස", "ආසයි මං පියාඹන්න", චැලේන්ජර්ස්", "සුවඳ දැනුනා ජීවිතේ" වඩාත්ම සුන්දර වූයේ රොෂාන් රණවන නිසා බව අමුතුවෙන් කිව යුතු නොවේ. එලෙසම " උලත් එකයි පිලත් එකයි" තුළින් තවත් වෙනස්ම ආකාරයේ චන්ඩි චරිතයක් රගපා තම වෘත්තීය රංග ජීවිතයේ තවත් ඉසව්වක් කරා යාමට ඔහු ගත් උත්සහය පැසසිය යුතුය. එලෙසම, "ආදරණීය වස්සානය" තුලින් සිනමාවට සම්ප්‍රප්ත වූ නැවුම් පෙම්වතා රොෂාන් රවින්ද්‍ර වැනි දක්ෂ නළුවන්ගෙන් සිනමා හිඩැස පුරවා නොගැනීම නම් අභග්‍යයකි. "ඇඩ්‍රස් නෑ" "අලෝකෝ උදපාදි" චිත්‍රපටවල ඔහුගේ රගපෑම් දුටුවිට මේ ලංකේය සිනමාව තුලම රඳවා ගත යුතු අත්‍යාවශ්‍යම නළුවෙක් යැයි සිතේ. "අලි මංකඩ" සිනමා පටය තුලින් බිහිවූ තවත් දක්ෂතම රංග ශිල්පියෙකු වූ අශාන් ඩයස්, මෑතකදී ලංකේය සිනමාවට සොයාගත් හොඳම රංග ශිල්පියෙකි. ඔහුගේ ප්‍රාතිභාපූර්න, එමෙන්ම සම්මානනීය රංගනය වූ "සිරි පැරකුම්" හී පතිරාජ සෙනවිගේ චරිතය අශාන් ඩයස් නම් ශිල්පියාව ඉහලම තලයට ගෙන ඒමට හැකිවිය. "සරිගම"හී කැප්ටන් ගේ චරිතයද අශාන්ට තම සිනමා ගමන ස්ථාවර කිරීමට හොඳ අවස්ථාවක් විය. සිරි පැරකුම් තුළින් ලාංකීය සිනමාවට උචිතම රංග ශිල්පියෙක් බිහිවිය. ආකාර්ෂනීයත්වයත්, දක්ෂකමත්, සම්මිශ්‍රණය වූ ඔහු ලාංකේය සිනමා තීරයට මෙන්ම ඉදිරියේ බිහිවන 3ඩී තාක්ෂනීක චිත්‍රපට වලටද ගැලපෙන දේහධාරි ලක්ෂන තිබෙන නළුවෙක් විය. ඒ අඛිල ධනුද්දරය. "සිරි පැරකුම් " චිත්‍රපටයෙන් එක් රැයකින් මුලු රට තුලම ආකර්ශනය වූ ඔහු ඉන්පසු රඟපෑවේ "ඇඩ්‍රස් නෑ" චිත්‍රපටයේ පමනී. එහෙත් ඉදිරියෙදී නම් ඔහු චරිත අරබයා විශාල පෙරලියක් කරනු නොඅනුමානය. විශ්වනාත් කොඩිකාර තුළද ලංකේය සිනමාවට අවැසි ආකර්ෂණය නොඅඩුව තිබෙන ශිල්පියෙකි. "බෝම්බ හා රෝස" තුලින් තම රංගන ප්‍රතිභාව ආකර්ෂණීයව ඉදිරිපත් කල විශ්ව, ටෙලිනාට්‍ය තුල හිරවී සිටීම සිනමාව තුල දිග්විජය කිරීමට අවාසි වෙනවා ඇත. එලෙසම සාරංග දිසාසේකර තුළින් ද සිනමා සිහින කුමරු සංකල්පය විදහා දක්වන අතර එය මැනවින් පිළිඹිබු වුයේ "නිල් දිය යහන" චිත්‍රපටයෙ හුරුබුහුටි පෙම්වතාගේ චරිතයෙනි. "සුසීමා" "සුපර් සික්ස්" "අපේ කාලයේ පටාචාරා" වැනි චිත්‍රපට තුළින් සිනමා ප්‍රේක්ෂකයන් හා එක්වුනු සාරංග ව, ඔප මටිටම් කර ගතහොත්, සිනමාවට නැතිවම බැරි නළුවෙක් වනු නියතය. "හිරිපොද වැස්ස" තුලින් තවත් දක්ෂ, එමෙන්ම ප්‍රතිභාපූර්නත්වයට පත්විය හැකි රංගන ශිල්පියෙක් බිහිවී දැන් ඔහු සිනමාවෙ දැඩි ඉල්ලුම තුළින් සාර්ථක ගමනක් යමින් සිටී. ඔහු පුබුදු චතුරංගය. "චැලේන්ජර්ස්" " පරාවර්තන" "සක්කාරං " හරහා "මායා" තෙක් සාර්ථක ගමනක නිරතවූ පුබුදු, ඉදිරියටද යථාර්ථවාදි මෙන්ම මැද මාවතේ හා, විනෝදාස්වාදි චිත්‍රපටවලින් අපට හමුවිය හැක. හේමාල් රණසිංහ තම සිනමා දිවියේ ස්වර්ණම කාලය දැන් ගතකරනු ඇත. සිහින කුමරෙකු ලෙසද, යථාර්තවාදියෙකු ලෙසද ඕනෑම චරිතයකට, අවතීර්ණ වන්නට හේමාල්ට හැකිවීම ඔහුගේ සුවිශේෂත්වයයි. ඔහුගේ ආකාර්ෂනීයත්වය, ලාංකේය සිනමාවේ තිරය වර්ණවත් කිරීමට හැකි වන අතර, එයට ඔහුගේ රංගනය හා සටන් නිපුනත්වය එකතු වූ කළ, ලංකේය සිනමාවට පරිපූර්න රංග ශිල්පියෙක්ගේ හිස් තැන පිරෙන්නේය. "සුපර් සික්ස්" " ප්‍රවේගය" " ආදරණීය කථාවක්" "ඇඩ්‍රස් නැහැ" "සූම්" මෙන්ම වෙනස්ම චරිතයක් රඟපෑ "බන්ධනය" හේමාල්ගේ සිනමා වෘත්තිය ස්ථාවර කළේය. තවත් දක්ෂ නළුවන් කීප දෙනෙකුගේ ආගමනය සිදුවී ඇත උද්දික ප්‍රේමරත්න "මහින්දාගමනය" තුළින් ලංකේය සිනමාවේ ඇස තමාවෙත හරවා ගෙන, "සමනල සංධවනී" මහරජ ගැමුණු" " පත්තිනි" " ආලෝකෝ උදපාදි" "දුවන මුවන්" වැනි චිත්‍රපට ඔස්සේ තම සිනමා ගමන ස්ථීර කර ගති. "මෝටර් බයිසිකල්"තුළින් රංගනයටම උපන් හපන් දක්ෂයෙක් බිහිවිය. ඒ දසුන් පතිරණය. ඉතාමත් අසීරු චරිතයක්, මනා සංයමයකින් ඉදිරිපත් කරමින් ඔහු මෙම ලාංකේය සිනමාවේ දක්ෂතම නළු ගොන්නට වැටුනේ, "සය පෙති කුසුම" හේතුවෙනි. එය විශිෂ්ටතම රංගනයකි. නිනෝ ලයිව් හරහා ද ඔහු ඔහුගේ දක්ෂතාවය විදහා පෑවේ ලංකේය සිනමාව තුළ අන්තර්ජාතික මට්ටමේ රංගන ශිල්පියෙකුගේ අඩුව පුරවමිනි. තවත් බලාපොරොත්තු තබාගත හැකි රංග ශිල්පියෙක් බිහිවූයේද "සයපෙති කුසුම" තුළිනි. ඒ ජෙහාන් අප්පුහාමිය. දිනිත් ද සිල්වා මෝස්තර ක්ෂේත්‍රයේ සිට සිනමාවට එක් වූ මනා කඩවසම් තරුණයෙකි. පිරිපුන් දේහධාරි දිනිත් රිදී තීරය ඒකාලෝක කළේ උත්තීය සෙනවිගේ චරිතයෙනි . ඒ "අලෝකෝ උදපාදි" චිත්‍රපටයෙනි. ඉන් පසු තිර ගත කළ "පැණි මකුළුවෝ " චිත්‍රපටයේ ප්‍රධාන චරිත ධාරාවට පන පෙවු දිනිත්, අද සාර්ථකව තම සිනමා මාවත සකස් කර ගනිමින් සිටි. ලාංකේය සිනමාව තුළ තිබු නිළි හිඟයද දැන් කෙමෙන් කෙමෙන් පිරෙමින් තිබේ. පූජා උමශංකර් දැන් ලංකාව තුල නිත්‍ය නිළියක් බවට පත්වී හමාරය. "අංජලිකා"සමග පැමිණි ඇය, "ආසයි මං පියාඹන්න" "සුවඳ දැනුනා ජීවිතේ" "යහළුවෝ" " "කුස පබා" "පත්තිනි" "සරිගම" හරහා තමා ලාංකේය සිනමාවට නැතිවම බැරි නිළියක් බවට පත්විය. ශේෂාද්‍රි ප්‍රියසාද් "චැලේන්ජර්ස්" හරහා සුන්දරව සිනමාවට ඇතුළු වූ නිළියකි. පසුව ඇය "සෙනසුරු මාරුව" "ඇඩ්‍රස් නෑ" "සූම්" චිත්‍රපට හරහා ස්ථාවර විය. අරුණි රාජපක්ෂ ද එලෙස තිරය සුන්දර කරමින් ආ ශ්‍රී ලංකා රූ රැජිනකි. ඇය "සුපර් සික්ස්"තුළින් සිනමාවට එළැඹුනි. ඉන්පසු "ආදරණීය කථාවක්","මහ රජ ගැමුණු " " ඇඩ්‍රස් නෑ" "පත්තිනි"තුලින් සිනමාව ඒකාලෝක කළාය. "පායා එන්න හිරුසේ" මෙන් පායා ආ උදාරි වර්ණකුලසූරිය තවත් ආකාර්ෂනීය ශිල්පිනියෙකි. ඇය "සිහිනය දිගේ එන්න" "ආදරණීය කථාවක්" චිත්‍රපටවල රඟපා ලාංකේය තිරය තුල ආදරණීය විය. රිතිකා කොඩිතුවක්කු ප්‍රබල රංගන ශිල්පිනියක් ලෙස "ඇගේ ඇස අග" තුළින්ද, අයිෂ් අතුකෝරල, සුන්දරත්වයත්, දක්ෂතාවයත් එක් කරමින් "පැණි මකුළුවෝ " සිනමා ක්‍රේෂ්තයේ අත් පොත තැබීය. ඔවුන් අනාගත සිනමාවට හොඳම ආයෝජනයකි. ඕනැම චරිතයකට අවතීර්ණ විය හැකි නිළියක් වූ දුලානි අනුරාධා , තම මුල්ම චිත්‍රපටය වූ "අබා" තුළින් සම්මානනීය වී , විජය කුවේනි, පරාවර්තන" , ඇහැලේපොල කුමාරිහාමි, "අපේ කාලයේ පටාචාරා", හා "බන්ධනය" හරහා කුසලතා පළ කළාය. එමෙන්ම චරිතාංග හා විනෝදාත්මක චරිත වලට පන පෙවිය හැකි නිරෝශා තලගල ද සිනමාවට කදිම නළියක ලෙස දකිමි. එලෙසම "හෝ ගාන පොකුණේන්" කළ එළි බැස ගත් අනූසයා සුබසිංහ, "ආලෝකෝ උදපාදි" ප්‍රධාන නිළි චරිතය කළ මේනකා පීරිස් , සිරි පැරකුම් චිත්‍රපටයෙන් හඳුන්වා දුන් ශෙනාලි පොන්සේකා, "ආකාස කුසුම්" "ප්‍රේමය නම්" "මෝටර් බයිසිකල්" හරහා තම දක්ෂතාවය ප්‍රබලව විදහා දැක්වූ සමනලි පොන්සේකා එකතු වී ලාංකේය නව සිනමාව ප්‍රභාත්මක කෙරෙනු ඇත. ඉතින් ලංකාවේ නළු නිළියන් හිඟයක් කොහින්ද. ? දක්ෂ නළු නිළි කැලකගෙන් සන්නද්ධ වී සිටින නව සිනමාව තුල, අලුත් සක්විතිලා, රැජිනලා, සිහින කුමර කුමාරියන් ඉදිරියේදී බිහි කිරීම සිනමා කරුවන්ගේ යුතුකමය. ගාමිනී මාලනී, විජය, ජෝ ටෝනි, රවින්ද්‍ර එක්වී එක් ඉතිහාසයක් නිර්මාණය කළේය. පසුව සනත්, ජීවන්, අනෝජා, සබීතා, අජිත්, ,ප්‍රෙඩි තවත් ඉතිහාසයක් නිර්මානය කළහ. ඉන්පසුව රන්ජන් කමල්, ජැක්සන්,දිල්හානි .සංගීතා, ශ්‍රියන්ත, මහේන්ද්‍ර, යසෝධා එක්වී ලියු ඉතිහාසයට පසු දැන් පැමින ඇත්තේ හේමල්, රොෂාන් (පිලපිටිය, රණවන,රවින්ද්‍ර ) මෙන්ම පුබුදු, සාරංග, දුලානි, රිතිකා, දිනෙත්, අනුසයා, අයිෂ් ,උදාරි, බිමල්, දර්ශන්,උද්දිකලාගේ කාලයයි. හොද නිෂ්පාදකවරු අධ්‍යක්ෂක වරුන් මොවුනගෙන් නිසි ලෙස ප්‍රයෝජන ගතහොත්, ඔවුන් ලියන්නේ අලුත් ඉතිහාසයකි.
|