වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




ආලෝකෝ උදපාදී ඉන්දීය උලෙළෙන් ලෝකය හමුවට

ආලෝකෝ උදපාදී ඉන්දීය උලෙළෙන් ලෝකය හමුවට

දැවන්ත ඓතිහාසික සිනමාපටයක් වන ආලෝකෝ උදපාදී මේ දිනවල ගෝවා අගනුවර පාන්ජිම් නගරයේ පැවැත්වෙන හතළිස් හත් වැනි ඉන්දීය ජාත්‍යන්තර සිනමා උලෙළේදී තිරගත කෙරිණි. ලොව ඒ ශ්‍රේණියේ පැරැණිතම සිනමා උලෙළක් වන මේ සඳහා රටවල් සියයකින් පමණ චිත්‍රපට දහසක් පමණ නියෝජනය කරන බව සඳහන්ය. ආලෝකෝ උදපාදි තුසිත විජේසේනගේ නිෂ්පාදනයකි.

චත්‍ර වීරමන් එහි අධ්‍යක්ෂවරයාය. එය ඔහුගේ මුල්ම අධ්‍යක්ෂණයයි.චිත්‍රපටයෙහි ලෝක මංගල දැක්ම ඉකුත් දා ගෝව නගරයේ ඉනොක්ස් සිනමා ශාලවේදී පැවැත්විණ.

ඓතිහාසික කතා පුවතක් ඇතුළත් ලාංකේය චිත්‍රපටයක් ජාත්‍යන්තර සිනමා උලෙළක ලෝක ප්‍රදර්ශනය අරඹනුයේ මුල් වතාවටය.


විශ්වය සමඟ අනුපස් වසරක් දෙසැම්බර් 2 දා

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආචාර්ය එඩ්වින් ආරියදාස සූරීන්ගේ අනූපස් වැනි ජන්ම දිනය නිමිතිකර ගනිමින් 'විශ්වය සමඟ අනූපස් වසරක්' නමින් එතුමාණන් අගයමින් උපහාර උලෙළක් එලඹෙන දෙසැම්බර් මස දෙවැනිදා සවස කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. මෙහිදී ගෞරවනීය උත්තමාචාර සම්මානයකින් ආරියදාසයන් පිදුම් ලැබීමට නියමිතය. මෙයට සමගාමීව ඔහු පිළිබඳ විදවත් සහෘදයන් සහ කලාකරුවන් විසින් රචනා කරන ලද ලිපි එකතුවකින් සමන්විත වූ ආරියදාසයන් අභිනන්දන ග්‍රන්ථය ද එළි දැක්වෙනු ඇත. එය දීප්ති විජේතුංගගේ සංස්කරණයකි. උපහාර උත්සවයේ මුලසුන හොබවනු ලබන්නේ මහාචාර්ය ජේ. බී. දිසානායකයන් විසිනි. ප්‍රධාන දෙසුම සෝමවීර සේනානායකයන්ගෙනි. සතිස්චන්ද්‍ර එදිරිසිංහ මෙම අවස්ථාව නිවේදනයෙන් මෙහෙයවනු ලබයි. ආරියදාසයන් වෙනුවෙන් පවත්වනු ලබන මෙම උපහාර උලෙළේ සංවිධානය සිදු කරන්නේ සිත්ජය සහෘද සංසදය මඟිනි.


ටොම් පචයෝ මංගල දැක්ම හොලිවුඩ් පුරයේ

රෝයි ද සිල්වා අධ්‍යක්ෂණය කළ ඔහුගේ නවතම සිනමාපටය ටොම් පචයෝ හි ලෝක මංගල දැක්ම එලඹෙන දෙසැම්බරයේ 04 වැනිදා අමෙරිකාවේ හොලිවුඩ් පුරවරයේ ඊජිප්ෂන් රංග ශාලාවේදී පැවැත්වීමට නියමිතය. සාරංග දිසාසේකර, සචිනි අයේන්ද්‍රා, කීත් රංග ප්‍රධාන චරිත මවන ටොම් පචයෝ කීත් රංගගේ නිෂ්පාදනයකි. මෙය රෝයි හොලිවුඩය හා සම්බන්ධවීමෙන් නිර්මාණය කළ දෙවැනි සිනමා පටය වේ.


ස්වර්ණාගේ ඡායාරූප ඕනෑ

මෙරට බිහි වූ විශිෂ්ටතම රංගන ශිල්පිණියක වන ස්වර්ණා මල්ලවාරච්චිගේ කලා ජීවිතය අගයමින් ඇය වෙනුවෙන් විශේෂ උපහාර උලෙළක් ලබන වසරේ ජනවාරියේදී පැවැත්වීමට නියමිතය. ඒ සඳහා උපයෝගි කර ගැනීමට ස්වර්ණාගේ දුර්ලභ ඡායාරූප බොහොමයක් සංවිධායක කමිටුවට අවැසි වී තිබේ. ඇයගේ සොඳුරු රුවින් ඔපවත් වූ පැරැණි වටිනාකමකින් යුතු මොනයම් හෝ සේයාරුවක් ඔබ සතු නම් එවාහි පිටපතක් සරසවිය පුවත්පත බාරේ ඔබට එවිය හැකිය. ඒ සඳහා  [email protected]   යන විද්්‍යුත් ලිපිනය භාවිත කිරීමට පුළුවන.


හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස්ට සර්ව සේවා සම්මානයෙන් පුද ලබයි

ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයට 61 වසරක් පිරීමේ උත්සවය පසුගියදා උත්සවාකාරයෙන් පැවැත්විණි. එහිදී රුක්මණී දේවි අනුස්මරණ සංගමයේ නිර්මාතෘ හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස් මහතා ද සර්ව සේවා සම්මානයෙන් පිදුම් ලැබීය.

කෙටි නාට්‍ය නිෂ්පාදවරුන් දිරිමත් කරන කෙටි නාට්‍ය සම්මා උලෙළවල් ආරම්භ කිරීමට මූලික වූ හෙන්රි ප්‍රිය ශාන්ත හඳුන්වන්නේ රුක්මණී දේවි පිළිබඳ සාහිත්‍යයක් ගොඩනැඟූ කෙනෙකු ලෙසිනි. ඔහුගේ මාධ්‍ය මෙහෙවර දැනට පනස් අට වසරකි.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ හෙන්රි ප්‍රිය ශාන්ත මහතා සිය ඇගයීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අතින් ලබාගත් අයුරුයි. ඒ අසල ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඇතුළු මහත්වරු කිහිපදෙනෙකු ද සිටිති.


විජය ගී තරුවට අයැදුම්පත්

විජය කුමාරතුංගයන්ගේ වාර්ෂික ගුණ අනුස්මරණය නිමිති කර ගනිමින් විජය කුමාරතුංග අනුස්මරණ සහෘද කලා සංසදය මඟින් පවත්වනු ලබන විජය ගී තරුව 2017 සඳහා අයදුම්පත් බාර ගැනීම මේ දිනවල සිදු වේ. මෙහිදී ගායන හැකියාව ඇති සියලු දෙනා හට වයස් බේදයකින් තොරව අයදුම් කළ හැකිය. 2017 පෙබරවාරි මසදී පැවැත්වෙන විජය සමරු සතියේ දිනයක විජය ගී තරුවහි අවසන් ප්‍රසාංගික තරග වටය සහ සම්මාන ප්‍රදාමෝත්සවය පැවැත්වීමට නියමිතය. මෙහි අයැදුම්පත් බාර ගැනීමේ දිනය මෙම මස 30 වැනිදායින් අවසන් වන අතර විජය ගී තරුව 2017, සභාපති අනුර ශ්‍රීනාත්, අංක 267/4 බී, ඉහළ බියන්විල, කඩවත යන ලිපිනයට අයැදුම්පත් එවිය හැකිය.


සිරි කුලරත්න සමුගනී

චිත්‍රපට අධ්‍යක්ෂ සිරි කුලරත්න පසුගියදා අභාවප්‍රාප්ත විය. කලක් රෝගාතුරව සිටි ඔහු මිය යන විට හත්තෑ තුන් වැනි වියෙහි පසු විය. සරසවිය පුවත්පත සමඟින් ළෙංගතු ඇසුරක් පැවැත් වූ සිරි සරසවිය පුවත්පත හරහා කලාවට පිවිසි අයෙකි. 1969 දී සරසවිය පුවත්පතට එක් වූ ඔහු ඉන් පසු වසර හයක් පමණ කාලයක් ගතවන තුරු පුවත්පතට ලිපි සැපයීය. අනතුරුව කලාකරුවන් සමඟ සමීපව කටයුතු කරන්නට ලැබීමත් හේතුවෙන් ඔහු රංගන ශිල්පියකු ලෙසින් පළමුව කලා ලොවට පිවිසුණේය. සිදාදියෙන් හයක් චිත්‍රපටයේ දෙබස් රචනා කරමින් චිත්‍රපට ක්ෂේත්‍රයෙහි අත්දැකීම් විඳගන්නා හෙතෙම මාතර ආච්චි, සිරිල් මල්ලි ආදි සිනමාපටයන්හි සහාය අධ්‍යක්ෂවරයා විය. 1974 වසරේ ඔහු තමන්ගේම කියා අධ්‍යක්ෂණය කළ පළමු සිනමාපටය තිරගත විය. එය වස්තුව විය. පසුකාලීනව සිකුරු දසාව, රිදී තැල්ල, බඹර පහස, නිළියකට පෙම් කළෙමි, පොඩි රාළහාමි, වීදියේ වීරයා, සුබෝධා, අනුරාධා වැනි චිත්‍රපටයන් සිරි අධ්‍යක්ෂණය කෙරුවේය. අවසන් වතාවට ඔහු නිර්මාණය කළේ රාස්ස කැලේ චිත්‍රපටය වේ. හරිම හපන්නු, සතුරෝ, භූත වස්තුව, සුබ ප්‍රාර්ථනා සිරි අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍ය අතර වේ. සිරි රෝගාතුර සිටින බැව් පළමුව සඳහන් කළේ සරසවිය පුවත්පතයි. එම දැනුවත් කිරීම ඔස්සේ අප සහෝදර පුවත්පතක් වන සිළුමිණ රසඳුන මැදිහත්වී ඔහුට මුල්‍යමය ආධාරයක් ලබාදෙන ලදී.

සිරි කුලරත්නගේ අවසන් කටයුතු පසුගියද කුරුණෑගල මල්කඩුවාව ආදාහනාගාරයේදී සිදු විය.


නළුවන් පහක් - චරිත විස්සක් ඒකා සාක්කුවේ

සරත් කොතලාවලගේ ඒකා සාක්කුවේ නාට්‍යයේ මංගල දර්ශනය 27 සවස 3.30 සහ 6.30 ට කොළඹ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතන රඟහලේදී වේදිකා ගත කෙරේ.

සාරංග දිසාසේකර, පුබුදු චතුරංග, සරත් කොතලාවල, සරත් චන්ද්‍රසිරි සහ කුමුදු නිශාන්ත එහි රඟති.

නළුවන් 5 දෙනකු විසින් චරිත 20 කට වැඩි ගණනක් එකම වේදිකාවේ රඟ දැක්වෙන 'ඒකා සාක්කුවේ' ගැඹුරු උපහාසයක් සහිත හාස්‍යෝත්පාදක නාට්‍යයකි.