|
වින්දනීය සිනමා සටහනක්කම්මැළි චිත්‍රපට තැනීම ලොකුම පාපයයි සිතූ ෆ්රෑන්ක් කැප්රා
ඉතාලිය - ඇමෙරිකා එක්සත් ජනපදය මැයි 18, 1897 - සැප්තැම්බර් 3, 1991 විශිෂ්ට චිත්‍රපට - ඉට් හැපන්ඩ් වන් නයිට්, මිස්ටර් ඩීඩිස් ගෝස් ටු ටවුන්, මිස්ටර් ස්මිත් ගෝස් ටු වොෂින්ටන්, ඉට්ස් අ වර්ඩර්ෆුල් ලයිෆ්. 1930 දශකයේ අඳුරු කාල පරිච්ඡේදය තුළදී ෆ්රෑන්ක් කැප්රා අමෙරිකාවේ සියලු සිනමාකරුවන් අභිබවා ගිය ශ්‍රේෂ්ඨතම සිනමාවේදියා බවට පත් වුණේ, ආර් . ථික අවපාත හේතුවෙන් බලාපොරොත්තු කඩ වී සිටි ජනතාවට ඔහුගේ අප්‍රතිහත සර්ව සුභවාදීත්වය හේතුවෙන් සිනාසෙන්නට අවස්ථාවක් ලබා දෙමිනි. බලාපොරොත්තු කඩ වුණු අයට බලාපොරොත්තුව රැගෙන ආ ඔහුගේ හිත හොඳ ෆැන්ටසි චිත්‍රපට වැටී සිටි ජාතියක චිත්ත ධෛර්යය වැඩීමට වැදගත් වුණා. කැප්රා තමාගේ නිර්මාණවල ගැබ්වුණු පොදු ජන අදහස් දැරීම දේශාභිමානී බව සහ ඇමෙරිකානු වටිනාකම්වලට උපහාර දැක්වීම ඉතාමත්ම සරල ලෙස ඉදිරිපත් කළා යයි ප්‍රීතියෙන් හෙලා දුටු නමුත් ඔහුගේ නිර්මාණවල අන්තර්ගතය විමසා බැලීමේදී ඒ යුගය මිනුම් දණ්ඩක් කර නොගත යුතු වන්නේ එම යුගයේ හද ගැස්ම මැනගන්නට කැප්රා සමත් වී තිබුණ බැවිනි. බොහෝ නූතන විචාරකයින්ට පරමාදර්ශවලින් එහාට ඇස යොමු කරමින් සිනමාකරුවකු ලෙස ඔහු තුළ වූ අසීමිත හැකියාව දකින්නට හැකිවීම වාසනාවකි.
සිසිලියේ ඉපදුණ කැප්රා තම දෙමාව්පියන් වන තුරිද්දු කැප්රා සහ රොසාරියා සමඟ
ඇමෙරිකාවට සංක්‍රමණය වුණේ 1903 දී. ඔවුන් ඇමෙරිකාවේ තම නිවහන කර ගත්තේ ලොස්
ඇන්ජලීස් නුවරයි. කැප්රා අධ්‍යාපනය ලැබුවේ මැනුවල් ආර්ටිස් උසස් පාසලේ. 1918 දී
කැප්රා තෲප් ආයතනයෙන් රසායන ඉංජිනේරු විද්‍යාවෙන් විද්‍යාවේදී උපාධියක් ලබාගෙන
විශ්වවිද්‍යාල අධ්‍යාපනය අහවර කළා. පළවෙනි ලෝක යුද්ධයේදී කැප්රා ඇමෙරිකානු හමුදා
සේවයට බැඳුණි. 1920 දී ඔහු ඇමෙරිකානු පුරවැසිභාවය ලබා ගත්තේ ෆ්රෑන්ක් රසල් කැප්රා
නමිනි. කැප්රා නිහඬ චිත්‍රපටවල ප්‍රොප් මෑන් කෙනෙක් ලෙස මුලින් තම සිනමා ජීවිතය පටන් ගත්තා. ඒ වුණත් කැප්රා චිත්‍රපට කලාවට යොමු වූයේ මැනුවල් ආර්ටිස් උසස් පාසලේ ඉගෙන ගන්නා අවදියේදීය. කැප්රාගේ ගුරුවරයෙකු වූ රොබි වැග්නර් අවර් වන්ඩර්ෆුල් ස්කූල්ස් නැමැති වාර්තා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ අතර කැප්රා එහි සංස්කාරක වශයෙන් කටයුතු කළා. පසුව කැප්රා නිහඬ කොමඩි චිත්‍රපට රචනා කර අධ්‍යක්ෂණය කළේ හැරී ලන්ඩන් සහ අවර් ගැන්ග් කිඩ්ස් ප්‍රධාන චරිතවලට යොදා ගනිමින්. ඉන් පසුව 1924 දී මැක් සෙනෙට් වෙත වැඩ කිරීමට ගිය කැප්රා පසුව එතැනත් අතහැර කොලොම්බියා පික්චර්ස් චිත්‍රාගාරය වෙත ගියා. 1934 දී ඉට් හැපන්ඩ් වන් නයිට් චිත්‍රපටයේ එලී ඇන්ඩෘස් ගේ චරිතයට නිළියක් සොයා ගැනීමට කැප්රාට අපහසු වුණේ ආත්ම ගෞරවයක් ඇති කිසිම තරුවක් ඇඳුම් දෙකක් පමණක් ඇඳීමට ඇති චිත්‍රපටයක රඟපෑමට මැළි වූ බැවිනි. හැරි කෝන් ක්ලොඩෙට් කොල්බර්ටි එම චරිතයට සුදුසු බව කැප්රාට දැන්වූවා. ඒ වන විට තරුවක් වූ ක්ලාක් ගේබල් සහ කැප්රා දෙදෙනාම චිත්‍රපටය සෑදීම සම්බන්ධයෙන් සතුටින් සිටි අතර ක්ලොඩෙට්ට නම් එසේ වූයේ නැහැ. එය ප්‍රීතිමත් විකාර විකට චිත්‍රපටයක් වූවා. කොල්බර්ට් රඟපෑවේ පැන යන වංශක්කාර ලොකු බූදලයකට හිමිකම් කියන තරුණියකගේ චරිතයක්. ගේබල් පත්තර රිපෝටර් කෙනෙකුගේ චරිතය රඟපෑවා. ඔහු මේ තරුණියගේ පස්සෙන් පන්නන්නේ පත්තරේ මුල් පිටුවට හොඳ කතාවක් පළ කර ගන්නයි. ඇයට මුලදී ඔහුව පෙන්නන්න බැරිව යනවා. නමුත් පසුව දෙදෙනාට එකතු වී රට හරහා පිස්සු ගමනක් යෑමට සිදු වෙනවා. ඉට් හැපන්ඩ් වන් නයිට් මූලික ඔස්කාර් සම්මාන පහ (චිත්‍රපටය, අධ්‍යක්ෂණය, නළුවා, නිළිය, තිර පිටපත) දිනා ගැනීමට සමත් වූ ප්‍රථම චිත්‍රපටය බවට පත් වුණා. ඊට පසුව කැප්රා කොලොම්බියා පික්චර්ස් වෙනුවෙන් හොඳ චිත්‍රපට රැල්ලක්ම නිර්මාණය කළා. ඒවා බොහොමයක් අනුභාවික වාගේම මානව හිතවාදී සිනමා කෘති වූවා.
ඊළඟට වැඩියෙන්ම ප්‍රචලිත වූ කැප්රා චිත්‍රපටය වූයේ මිස්ටර් ඩිඩිස් ගෝස් ටු ටවුන්.
කැප්රාගේ සාමාන්‍ය මිනිසෙක් පිළිබඳ වූ චිත්‍රපට ත්‍රිත්වයේ මුල් පියවර වූයේ මෙයයි.
කථානායක ලෙස රඟපෑ ගැරි කූපර් කුඩා ටවුමක් ටුබා (පිත්තල නළ විශේෂයක්) වයන සාමාන්‍ය
මිනිසෙක්. ඔහුට එක පාරටම පරණ නෑයෙක්ගේ බූදලයක් (ඩොලර් මිලියන 20) හිමි වෙනවා. ඉතින්
මේ සල්ලි කන්දරාවට මොනවා කරන්නද කියා මේ අහිංසක මනුස්සයා දන්නේ නැහැ. ඔහු කුඩා
ටවුමේ ඇවැතුම් පැවතුම් එක්ක මහා නගරයට සංක්‍රමණය වෙනවා. කෲර පත්තර ප්‍රකාශකයෙක් ඉතා
ලස්සන වාර්තාකාරියක් (ජීන් ආතර්) ඔහුගේ ඇසුරට යවන්නේ ඇය ඇත්තටම කවුද යන වග ඔහුට
නොදැනෙන විදිහටයි. ඉතින් මේ අහිංසක ඩිඩිස් ඇයව විශ්වාස කර ඇසුරු කරනවා. ඔහු
අවසානයේදී තමන්ගේ මුළු සේසතම දන් දෙන අතර එසේ කරද්දී තමන් පිස්සෙක් නොවන බවත් ලොවට
ඔප්පු කර පෙන්වීමට ඔහුට සිදු වෙනවා. ඇමෙරිකාව ආර්ථික අවපාතයෙන් දරුණු ලෙස පෙළෙන
කාලයේ පැමිණි මේ සිත්කලු චිත්‍රපටයට ප්‍රේක්ෂකයින් ආදරය කළා.
1937 දී කැප්රා ලොස්ට් හොරයිසන් සෑදුවා. එය හිමාලයේ සැංගවිච්ච කේතුමතී පුරයක් ගැන කියැවුණු ෆැන්ටසියක්. එම පුරයේ මිනිසුන් වයසට යන්නේ නැහැ.ලෙඩ දුක්, යුද බිය ගැටුම්වලින් තොර ෂැන්ග්රීලාවක්. කැප්රා ඊළඟට නිර්මාණය කළේ යූ කෑන්ට් ටේක් ඉට් විත් යූ චිත්‍රපටයයි. සුප්‍රසිද්ධ නාට්‍යයක අනුවර්තනයක් වූ මේ ප්‍රීතිමත් මනෝහර චිත්‍රපටයේ කැප්රා තමාගේ ප්‍රියතම තරු රැසක් රඟපෑමට යොදා ගත්තා. ලයනල් බැරිමුවර් ඉතා ආදරණීය නිවහල් මනස් ඇති පවුලක ප්‍රියමනාප සීයාගේ චරිතය රඟපෑවා. අවාසනාවට මේ පවුල ජීවත් වන නිවස ටවුමේ බැංකුව අයිති පවුල විසින් අයිති කර ගැනීමට යනවා. එසේ ඔවුන් නිවාස රාශියක් මිලට ගෙන ඇති අතර මොවුන්ගේ ගෙදර අවසාන නිවස වූවා. බැංකු පවුල සැරසෙන්නේ එසේ සියළුම නිවාස මිලට ගෙන විශාල මූල්‍ය වංචාවක් කිරිමටයි. ජිම් ස්ටුවර්ට් බැංකුකරුවාගේ පුත්‍රයා වන අතර ඔහු අර නිවසේ සිටින පවුලේ සාමාජිකාවක් වූ ජීන් ආතර් සමඟ මහත් සේ ආලයෙන් බැඳී සිටී. මෙය ඉතා මිහිරි ප්‍රසන්න ස්වභාවයක් ගත් විකට චිත්‍රපටයක්. එය කැප්රා හට ඔහු අවුුදු පහක් ඇතුළත ලැබූ තුන්වෙනි හොඳම අධ්‍යක්ෂක ඔස්කාර් සම්මානය ලබා දුන්නා. ඊට අමතරව යූ කෑන්ටි ටේක් විත් යූ හොඳම චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය ද දිනා ගත්තා. මිස්ටර් ස්මිත් ගෝස් ටු වොෂින්ටන් කැප්රාගේ තවත් ක්ලැසික් චිත්‍රපටයකි. අවංක මනුස්සයෙක් වොෂින්ටන් නුවරට ගොස් එහි දූෂණ සහ වංචා රැසක් හෙළි කර ගන්නා සැටිත්, නමුත් ඔහුගේ පරමාදර්ශත් රැකගෙන අවසානයේ ජයග්‍රහණය කරන සැටි මෙම චිත්‍රපටයේ කතාවට පාදක වුණා. ජාතියේ අගනුවර පිළිබිඹු වෙන දේශ හිතෛෂී, දේශාභිමානී දර්ශන රැසකින් සමන්විත වු මෙම චිත්‍රපටයේ තරුණ ජිම් ස්ටුවර්ට් මිස්ටර් ස්මිත් ලෙස අසමසම රංගනයක යෙදුණා. ඔහුගේ නරුම සහායිකාව ලෙස ජීන් ආතර් ද දූෂිත ගුරුවරයා (මිත්රෝපදේශකයා) ලෙස ක්ලෝඩ් රෙන්ස් ද මෙහි චරිත නිරූපණය කළා. මෙය කැප්රාගේ සාමාන්‍ය මිනිසෙකු ගැන වූ චිත්‍රපට ත්‍රිත්වයේ දෙවෙනි වාගේම ඒ අතරින් හොඳම චිත්‍රපටයත් වූ අතර එය හොඳම අධ්‍යක්ෂණය සඳහා වූ ඔස්කාර් සම්මානයට නිර්දේශ වුණා. කැප්රා ඊළඟට අ වන්ඩර්ෆුල් ලයිෆ් නිර්මාණය කළා. ජිම් ස්ටුවර්ට් ප්‍රධාන චරිතය රඟපෑ අතර ඩෝනා රීඩ් ඔහුගේ ආදරණීය බිරිඳගේ චරිතයට පණ පෙව්වා. චිත්‍රපටයේ වීරයා වන ජිමීට දිව්‍ය වරයක් හිමි වෙනවා. එනම් ඔහු නොඉපදුණා නම් ඔහුගේ පවුල සහ ඔහු අවට ලෝකය මොනවාගේ වේදැයි බැලීමට අවස්ථාවක් ලැබීමයි. බොක්ස් ඔෆිස් සාර්ථකත්වයක් නොලැබූ මෙම චිත්‍රපටය ඔස්කාර් සම්මාන පහක් සඳහා නිර්දේශ වුණා. නමුත් අද වන විට බොහෝ දෙනාගේ පිළිගැනීම වන්නේ මේ චිත්‍රපටය ඇමෙරිකානු සිනමා ඉතිහාසයේ වැදගත් තැනක් ගන්නා අති විශිෂ්ට සිනමා කෘතියක් බවයි. කැප්රා අවුරුදු දහයකට පසුව නැවතත් විකාර විකට චිත්‍රපටයක් සෑදුවේ ආර්සෙනික් ඇන්ඩ් ඕල්ඩ් ලේස් සමඟයි. ඉතාමත් සාර්ථක නාට්‍යයක අනුවර්තනයක් වූ මෙහි ප්‍රධාන චරිතය කඩවසම් නිව්යෝක් නාට්‍යය විචාරකගේ චරිතය හෙබ වූයේ කෙරි ග්‍රාන්ට්ය. ඔහුගේ ආදරණීය වයසක නැන්දලා ඔවුන්ගේ මහලු නිවාසයට එන වයසක මහත්වරුන්ට වස මිශ්‍ර කරපු එල්ඩබරි වයින් පිළිගන්වන බව ඔහු සොයා ගන්නවා. කැප්රා නිසා තම රංගන ජීවිතයේ මුල් කාලයේදීම අසීමිත ප්‍රසිද්ධියක් ලැබූ නළු නිළි කැල අතර ගැරී කූප්, ජින් ආතර්, ජිම් ස්ටුවර්ට්, බාබරා ස්ටැන්වික්, කෙරි ග්‍රාන්ට් සහ ඩෝනා රීඩ් අයත් වෙනවා.
කැප්රා පැරමවුන්ට් පික්චර්ස් චිත්‍රාගාරය වෙනුවෙන් චිත්‍රපට දෙකක් අධ්යක්සණය කළා. බින්ග් ක්‍රොස්බි ප්‍රධාන චරිතය රඟපෑ එම චිත්‍රපට දෙක 1950 දී තිරගත වූ රයිඩින් හයි සහ 1951 දී එළිදැක්වුණු ගියර් කමිස් ද ගෲමි වුණා. ඉන් පසු වසර 8 ක් යන තුරු ඔහු චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළේ නැහැ. ෆ්රෑන්ක් සිනාත්‍රා රඟපෑ අ හෝල් ඉන් ද හෙඩ් කැප්රාගේ ප්‍රථම වර්ණ චිත්‍රපටය වුණා. රිදී තිරයට එක් වුණ අවසාන කැප්රා චිත්‍රපටය වූයේ ග්ලෙන් ෆෝර්ඩ් සහ බෙටි ඩේවිස් රඟපෑ පොකට්ෆුල් ඔෆ් මිරැකල්ස් (1961). එය ඔහුගේම ලේඩි ෆොර් අ ඩේ (1933) නැවත නිෂ්පාදනයක් වුණා. 1982 දී ඇමෙරිකානු චිත්‍රපට ආයතනය කැප්රාට ගෞරව දක්වමින් රූපවාහිනී වැඩ සටහනක් සංවිධානය කළා. වැඩ සටහන ඉදිරිපත් කළේ ජිමී ස්ටුවර්ට් විසිනි. 1991 දී කැලිෆෝර්නියා ජනපදයේ ලා කින්ටා හිදී හෘදයාබාධයක් වැලඳුණු ෆ්රෑන්ක් කැප්රා නින්දේදීම අවසන් හුස්ම හෙළුවා. මිය යන විට ඔහු 94 වැනි වියේ පසු වුණා. කැප්රාගේ චිත්‍රපට හැමවිටම වාගේ මනුෂ්‍ය ස්වභාවයේ ඇති මූලික හොඳ ගුණාංග ගැන යම් පණිවිඩයක් රැගෙන ආවා. ඒ වගේම පරාර්ථකාමී බවේ වටිනාකමත් මහන්සි වී වැඩ කිරීමේ ප්‍රතිඵලත් ඒවායින් පිළිබිඹු වුණා. කැප්රාගේ මේ යහපත් ගුණදායක හිතකර හොඳට දැනෙන තේමා නිසා සමහරු ඔහුගේ ශෛලියට කැප්රා - කෝන් යනුවෙන් නම් තැබූ අතර ඔහුගේ දර්ශනයට ඉතා ඉහළින් කරු කළ සමහරුන් වැඩියෙන් භාවිතා කළේ කැප්එස්ක් (කැප්රාමය) යන්නයි. කැප්රා ඔස්කාර් සම්මාන 6 ක් දිනාගෙන තිබෙනවා. හොඳම අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය සඳහා ඔහුව 6 වරක් බැගින් නිර්දේශ වුණා. තුන් වරක් ඔහු හොඳම අධ්යක්ෂණයට හිමි ඔස්කාර් සම්මානය දිනාගත්තා (1934, 1936, 1938). සිනමාකරුවකු හැටියට කැප්රාගේ සුවිශේෂී දක්ෂතාව වූයේ ප්‍රේක්ෂකයින්ගේ හදවතට තට්ටු කිරීමට හැකි නිර්මාණ කිරීමේ හැකියාවයි. වරක් ප්රංශුවා ටෲෆෝ ඔහු ගැන මෙසේ කීවා. මානුෂීය දුක් වේදනා විඳීම, සැකය, අඩමානය, අස්තරතාව, කාංසාව සහ එදිනෙදා ජීවිතයේ මුහුණ දෙන ගැටුම් හඳුනා ගැනීමේදී කැප්රාගේ නොනැසෙන සර්වශුභවාදී නිර්මාණ ඒවා සුව කිරීමට මහඟු ඔසුවක් වූවා. හොඳ අධ්‍යක්ෂවරයෙකු ද වූ මේ හොඳ දොස්තර මිනිසුන්ගේ ආධ්‍යාත්මය නැවත ප්‍රකෘතිමත් කරන්නෙක් වුණා. PERSONAL QUOTE චිත්‍රපටකරණයේදී (සිනමා නිර්මාණ කිරීමේදී) නීති කිසිවක් නැහැ. ඇත්තේ පව් පමණයි. එයිනුත් ලොකුම (ප්‍රධාන) පව තමයි චිත්‍රපටයක් කම්මැළි (උදාසීන) වීම.
|