වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




තවත් මල් පිපෙයි

තවත් මල් පිපෙයි

දිනක් ඔසී අබේගුණසේකර මට 'සරසවිය' පුවත්පතේ ටෙලිෆෝනයට කතා කළේය.

'අපේ මහජන පක්ෂයේ ගෝලයෙක් හෙට ලේක්හවුස් එකට එනවා. එයා විජයගෙත් කිට්ටු හිතවතෙක්. මම චෙයාර්මන්ට කිව්වා මිනිහව හොඳ සරසවියට කියලා. රංජිත් උදව් කරන්න.'

සුසිල් ජිනප්‍රිය 'සරසවිය'ට ආවේ ඔය විදිහටය. සුසිල් ප්‍රේම් දිසානායකගේ 'විචිත්‍ර' පත්තරේට විශේෂාංග ලියා තිබුණි. මම ප්‍රේම්ගෙන් සුසිල් ගැන ඇසුවෙමි. ඔහු සුසිල් ගැන හොඳ රෙකමදාරුවක් දුන්නේය. ප්‍රවෘත්ති හඹා යෑමේ දක්ෂතාවත්, ප්‍රවෘත්ති පසුබිම් කොට නව මානයකින් විශේෂාංග ලිවීමටත් ඔහු දක්ෂයෙකි. සුසිල් කැපවීමෙන්, වෙහෙස නොබලා වැඩ කරන පත්‍රයට හිතවත් තරුණයෙකි. මේ නිසා සුසිල් දුර ගමනක් යන උප කතුවරයකු බව මට වැඩි කල් නොගොස්ම වැටහුණි. සුසිල්ගේ තවත් විශේෂයක් නම් අනුන් ලියන ප්‍රවෘත්ති කපා කොටා සකස් කිරීමට ඇති දක්ෂතාවයයි. මට දැනුණ ආකාරයට දේශපාලන ලිපි ලිවීමට ඇති කුසලතාව වැඩිය. මහජන පක්ෂයේ පත්‍රයේ ද ඔහු එවැනි ලිපි ලියා ඇතැයි ඔසී අබේගුණසේකර මට කීය. මහජන පක්ෂයේ ක්‍රියාකාරකයන් වූ ප්‍රේමසිරි පෙරේරාත්, මියුලන් පෙරේරාත් සුසිල් ගැන කියූ කතාවලින් මෙය සනාථ විය. සුසිල් දේශපාලන විෂය ගැන තිබූ දැනුමෙන් ප්‍රයෝජනය නොගත්තේ මන්දැයි මම නොදනිමි. අලියාගේ තරම ඌට නොදැණේ.

පසු කලෙක සුසිල් සරසවියේ නියෝජ්‍ය කර්තෘ විය. එහෙත් වැඩි කලක් එහි නොසිට රැකියාවෙන් ද අස් වී ගියේය. එයට හේතුව සුසිල්ගේ තරම ඔහු නොදැන සිටීමය. සුසිල්ගේ වැඩිමහල් සොහොයුරා එකල කටුනායක ගුවන් තොටුපලේ සේවය කළේය. සුසිල්ගේ නොසැලිකිලිමත් ජීවිතයට අප කොතෙක් අවවාද කළ ද ඉන් පළක් නොවීය. පසු කලෙක ඔහු 'ලක්බිම' කර්තෘ මණ්ඩලයේ ද සේවය කළේය. එයට උපකාර කළේ එහි නියෝජ්‍ය කර්තෘ ජීවිතයෙන් සමුගත් මියුලන් පෙරේරාය. එහෙත් සුසිල් එහි ද රැඳුණේ නැත. මියුලන් මට ටෙලිෆෝන් කොට සුසිල් මියගිය පුවත සැල කළේය. මම අසීමිත ලෙස කම්පා වීමි. ලක්බිම කර්තෘ අභාවප්‍රාප්ත කිත්සිරි නිමල් සාන්තත්, මියුලනුත් මාත් රාගම සුසිල්ගේ අවමඟුලට සහභාගි වුණෙමු. එදින පවුලේ අයගේ ඉල්ලීම පරිදි මට ද සුසිල් ගැන කතා කිරීමට සිදු විය. අහෝ! සුසිල්.

ජාඇල පැත්තේ ඡායාරූප ශාලාවක සේවය කළ සිනමාවට ලැදි තරුණයෙක් හින්දි චිත්‍රපට නළු නිළියන් ගැන ලියූ ලිපි මට තැපෑලෙන් එව්වේය. මුලින්ම එව්වේ අමිතාබ් බච්චන් ගැනය. එය හොඳ බැවින් ඔහුට දිගටම ලියන ලෙස මම ලිපියක් යැව්වෙමි. මා මුල්වරට ඔහු දැක ගත්තේ ඒ ලිපියත් සමඟ සරසවියට පැමිණි පසුය. ඔහුගේ නම කල්යාණ චන්ද්‍රසේකරය. පසුව ඔහු අපේ නළු නිළියන් ගැන ද දර්ශන තලවලට ගොස් චිත්‍රපට ගැන විශේෂාංග ලිවීමට ද භාර ගත්තා පමණක් නොව ඡායාරූප ගැනීම ද කළේය. ඒවා අපි නොමසුරුව පළ කළෙමු. අද කල්යාණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. ඔහුට බොහෝ දුර යා හැකි බව සනාථ කොට ඇත. පපුවේ කිළිටක් නැති නිහතමානී කලාකරුවකු වන ඔහුට මම සුබපතමි.

දිනක් ප්‍රවීණ රංගනවේදිනියක වූ සබීතා පෙරේරා මට ටෙලිෆෝනයෙන් කතා කළාය.

'රංජිත් හොඳට පින්තුර ගන්න පුළුවන් තරුණයෙක් ඉන්නවා. එයා අපේ ෆිල්ම් ස්ටාස්ලගේ පින්තූර අලුත් විදියකට අරන් තියෙනවා.'

'සබීතා, අපිටත් ඕනෑ එහෙම අලුත් විදිහට ගන්න අය තමයි. හෙටම ගත්තු පින්තූරත් එක්ක එන්න කියන්න.'

පසුදා මේ හුරුබුහුටි තරුණයා පින්තූර කිහිපයක්ම රැගෙන මා වෙත පැමිණියේය. දයාන් විතාරණ ඔහුගේ නමය. මංගල ඡයාරූප ගැනීමේ ද සූරයෙක් බව පසුව දැනගන්නට ලැබිණ. ඔහු මට රාජගිරියේ කමතවත්ත පාරේ පිහිටි චිත්‍රාගාරයට ද එන ලෙස ඇරයුම් කළේය. එහි ගිය මට දයාන්ගේ මෑණියන් ද හඳුනා ගැනීමට ලැබිණ. එතුමිය පුණ්‍යවන්ත කාන්තාවකි. ඇය අපට දැක් වූයේ අපරිමිත දයාවකි. තම පුතුට මෙතරම් ආදරය කරන මවක් හා මවට ආදරය කරන පුතෙකු මට හමු වූ දුර්ලභ අවස්ථාවකි එය.

දයාන් තම නිර්මාණ ශක්තිය වෙනුවෙන් කැප වූවා මිස මිල මුදල් පසුපස හඹා නොගිය, ඒ සඳහා අතින් පාඩු කර ගත් තරුණ කැමරා ශිල්පියෙකි. නිහතමානී මානව දයාවෙන් අගතැන් පත් දයාන් කලාකරුවන් වනුවෙන් තම විවේක කාලය කැප කළේය. අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිහිපාණන්ගේ, මහා රංගධර ගාමිණී ෆොන්සේකාගේ ගත් ඡායාරූපවලින් ඔහුගේ කුසලතා මැනවින් පිළිබිඹු කළේය. සෑම ප්‍රවීණ කලාකරුවකුගේම කලාකාරිනියකගේම නිවසේ දයාන්ගේ ඡායාරූපයක් නොවරදවාම විරාජමාන වෙයි. යුතුකම් දන්නා ඔහු බුදු දහමින් ලද නිවුනු ගතියෙන් තපස්වරයෙකුට සමාන වෙයි. තවම තනි යහනක නිදන ඔහු අව්‍යාජ ගති පැවතුම් ඇත්තෙකි. සරසවිය පිට කවරය පමණක් නොව විශේෂ සම්මාන උලෙළ සමරු කලාප දයාන්ගේ ඡායාරූපවලින් බැබළුණි. මා පසු කලෙක 'සරසි' පුවත්පතේ කතුවරයාව සිටින කාලයේද සුමති සම්මාන සමරු කලාප සඳහා ද දයාන් නොමසුරුව උපකාර කළේය. ඒ සඳහා ඔහුට අපෙන් ලැබුණ සොච්චම් මුදල ගැන මම අද කනගාටු වෙමි. ජනප්‍රිය ගායකයකු ද වන දයාන්ගේ ගීිත අතුරින් 'ඩ්‍රැෆඩිල් මල' ගැන කියන ගීතයට මා වඩාත් කැමැතිය.

ප්‍රවීණ සම්මානනීය කැමරා ශල්පී සුමිත්ත අමරසිංහයන්ගේ දියණිය දිලිනි අමරසිංහ ද සරසවිය මුල් පිටුව සැරසූ කැමරා ශිල්පිනියකි. තම පියා මෙන්ම නිර්මාණ කෞශල්‍යයෙන් ද නිහතමානිත්වයෙන් පිරිපුන් ඇයගේ ඒ ඡායාරූප සරසවියේ අගය වැඩි කළාය.

අද සිටින ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු, ග්‍රන්ථ කතුවරයකු, ලේඛකයකු හා කලා විචාරකයකු වන 'සරසවිය' පුවත්පතේ කතුවරයකු හා සිළුමිණ සම කර්තෘවරයකු වූ සුනිල් මිහිඳුකුල දැන සිටියත් ඔහු සමීපව ඇසුරු කිරීමට අවස්ථාවක් නොලැබිණ. චිත්‍රපටවල පූර්ව දර්ශන, පොත් දොරට වැඩුම්වලදී හමු වී වචනයක් දෙකක් කතා කොට තිබුණත් ඒවා කෙටි කතාවටම සීමා විය.

'රංජිත් අයියේ මේ මිහිඳුකුල සරසවියට සම්බන්ධ කරගමුදැයි' අරුණ ගුණරත්න මිහිඳුකුල සමඟම පැමිණ මගෙන් ඇසුවේය.

ඒ වනවිටත් සුනිල් 'දෙසතිය' පුවත් සඟරාවට විවිධ පුද්ගලයින් ගැන අපූරු විශේෂාංග ලියමින් සිටි අතර ප්‍රේම් දිසානායකගේ 'විචිත්‍ර' සිනමා පුවත්පතට විවාදාත්මක ලිපි සම්පාදනය කරමින් සිටියේය. ඔහුගේ හිතුවක්කාර අදහස්වලින් පිරුණ ලිපිවලට මම ආශා කළෙමි. එවකට 'සරසවිය'ට එවැනි ලිපි අවශ්‍ය බව මම සිතුවෙමි. අපි ආදරයෙන් සුනිල් මිහිඳුකුල සරසවියට සම්බන්ධ කර ගතිමු.

දැන් සරසවියට දහසක් මල් පිපී ඇත. විවිධ වර්ගයේ විවිධ ශෛලියේ විශේෂාංග ලිපි, පින්තූරවලින් සරසවිය පෝෂණය වෙයි. අනුර බණ්ඩාර රාජගුරු, කැමිලස් පෙරේරා, අරුණ ගුණරත්න, නෙළුම් විමලරත්න, ලතා බොතේජු, විවේකා සමරසිංහ, දීප්ති ෆොන්සේකා අතරට දැන් සුනිල් මිහිඳුකුලගේ ආලෝක කදම්භයත් වැටී දිදුලන්නාහ.

සුනිල් මිහිඳුකුලගේ විශේෂාංග ලිපි විටෙක සැරය. ඔහුගේ ප්‍රශ්න හමුවේ කලාකරුවන් අසරණ වන බව මම දුටිමි. මේ කිසිවෙකුට බිය නැති මේ යොවුන් හිතුවක්කාරයා විටෙක නතු කර ගැනීමට ද අපහසුය. ඒ හැම දෙයක්ම කළේ කලාවට ඇති පවිත්‍ර ආදරයෙනි. මේ නිසා පැමිණිලි ද වැඩි විය. සුනිල් ඒ පැමිණිලි හමුවේ නොසැලී සිනාවෙමින් රැවුල අත ගාන්නේය. සුනිල් තරම් කලා කෂේත්‍රයේ සාහිත්‍ය ලෝකයේ වැඩිම ලිපි ලියන ලේඛකයෙක් තවත් නැති තරම්ය. ඒ අතර පොත් ලියයි. අනුන් ඉල්ලන උපකාර කුහකත්වයෙන් තොරව ඉටු කර දෙයි. මට අවශ්‍ය ලේඛනයක් පාර දිගේ චිත්‍රපටය ගැන සුනිල්ගෙන් ඉල්ලූ විට ඔහු තමා ආදරයෙන් රැස් කරගෙන තිබෙන දුර්ලභ ෆයිල් එක පිටින්ම දුන්නේ දෙවරක් නොසිතාය. පින්තූරයක් ඉල්ලූ විට අගනා වටිනා පොත්වලින් හෝ ඉරා අපට දෙයි.

'මිහිඳු, ඔයා මේ වටිනා පොත ඉරලා මට දෙන්න එපා' මම නොයෙක් විට කියමි.

'මට ඕක ආපහු ලැබෙන බව දන්නවා. එතකොට ඒ පොත ඇතුලේ මම අලවා ගන්නවා' ඔහු සිනාසෙමින් කියයි.

ලේක්හවුසියේ දොරට වඩින ඔහුගේ පොත් උත්සව සඳහා මට නොවරදවා ඇරැයුම් කළ බව කෘතඥතා පුර්වකව කිව යුතුය.

මෑතදී ඔහු සංස්කරණය කළ 'රැලෙක්ස්' නම් කෘතිය දොරට වඩිද්දී මට කාරුණිකව ආරාධනා කොට යන විට පොතක් මට තුටු පඬුරු ලෙස දෙන ලෙස ප්‍රකාශක ප්‍රේම් දිසානායකට මතක් කළේය.

ප්‍රතිභාපූර්ණ ග්‍රැෆික් ශිල්පියකු වන ප්‍රේම් දිසානායක ද 'සරසවිය' පුවත්පතට හැකි හැම උපකාරයක්ම කළේය. තමා නිර්මාණය කරන කැසට් කවර හා දැන්වීම් ද, චිත්‍රපට දැන්වීම් හා අතිරේක ද ඔහු නොපමාව සරසවියට ලබා දුන්නේය. එකල බිහි වූ හැම ගී කැසට් පටයකම කවරය සකස් කළේ ඔහුය. අපට බොහෝ ගායක ගායිකාවන්, චිත්‍රපට අධ්‍යක්ෂවරුන් හමු වන්නේ ප්‍රේම්ගේ කාර්යාලයේදීය. කොටුවේ මහජන බැංකු මූලස්ථානයට පිටුපස පාරේ පිහිටා තිබුණ ප්‍රේම්ගේ ඒ කාර්යාලය එකම කලා නිකේතනයකි. කොතරම් වැඩ තිබුණ ද ප්‍රේම් 'සරසවියේ වැඩක්' කීවොත් අපට මුල් තැනක් දෙයි. අපට ඔහු උදව් කළේ මුදල් බලාගෙන නොවේ. මෙහිදී ඔහුගේ මුල්ම ගෝලයන්ගෙන් කෙනෙක් වූ ගුණසේකර ගැන ද වචනයක් කිව යුතුය. ඔහු ප්‍රේම්ගේ 'ෆාස්ට් ඇඩ්ස්' ආයතනයේ අදත් සේවය කරන පරණම ගෝලයාය. ගුණසේකර ද අපට හැම උපකාරයක් කළේය. ප්‍රේම් 'විචිත්‍ර' සිනමා පුවත්පත නව ආරකින් පිට කළේය. ඔහු එහි සංස්කාරක මෙන්ම පිටු සැලසුම් ශිල්පියාය. හැටේ දසකයේ බිහි වූ 'මේලා' සිනමා සඟරාවෙන් පසු හොඳම රූ රටා නිර්මාණය සහිත පුවත්පත වූයේ 'විචිත්‍ර'ය. ආචාර්ය සරත් අමුණුගම මහතා මුලදී මේ පුවත්පතේ අර්ථපතියා විය. මම ප්‍රේම්ට හැකි සහායක්ම දුනිමි. අප හමු වන්නේ අමුණුගම මහතාගේ තිඹිරිගස්යායේ සිරිපා පාරේ නිවසේදීය. එහිදී නිවසේ මුළුතැන්ගෙය භාරව සිටි ලීලා (මගේ මතකය හරි නම්) අපට ආගන්තුක සත්කාර කළාය. ඇය දකින විට එදා අපේ මතකයට නිතැතින්ම ආවේ කේමදාස මාස්ටර්ගේ නිවෙසේ සිටි මොයිසක්කාය.

ප්‍රේම් පසු කලෙක 'විචිත්‍ර' හා 'කලා' යන චිත්‍රපට තනිවම සංස්කරණය කළේය. අමුණුගම මහතා ජෝතිපාල ගැන ලියූ විවාදාත්මක ලිපිය පළ වූයේ මේ කාලයේය. මිහිඳුකුල, අරුණ, ජිනප්‍රිය, තුසිත ජයවර්ධන ඇතුළු පිරිසක් ඔහු වටා සිටියෝය. නිර්නාමිකව මම ද ප්‍රේම්ට උදවු කළෙමි. ඒ හැම දේකදීම ඔහු තම සගයන්ට යුතුකම් ඉහළින්ම ඉටු කළේය. එවකට ඔහුගේ කාර්යාලය තිබුණේ ගුණසිංහ පුරයේය.