|
සිනමාවේ නිරූපිත නන්නත්තාරවාදියා
'අහස් ගව්වේ' විශිෂ්ට රංගනයක යෙදුණු විමල් කුමාර ද කොස්තා අපෙන් සමුගෙන ගොසිනි. මිය යන තෙක් ඔහුට ද ස්ථිර රැකියාවක් නොතිබිණි. ගුණෙත් කොස්තාත් (චරිතයත් - නළුවාත්) එක අයකුම වූවා සේය. 'අහස් ගව්ව'ට මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු ලියූ ගීතයේ කොටසක් මට සිහිපත් වෙයි.
ඉරා අඳුරු පට පෙරදිග අහසේ කොස්තා කැලණිය කණ්ඩායමෙන් මතුව ආ නළුවෙකි. කැලණිය ගුරුකුලය ඊට පසුබිම සකස් කළේය. මාලිනී ෆොන්සේකා,එච්. ඩී. ප්‍රේමරත්න, ඩොනල්ඩ් කරුණාරත්න, පතිරාජ එල්. එස්. දයානන්ද, කේ. ඒ විජේරත්න, කුසුම් පෙරේරා, ප්‍රේමවීර ගුණසේකර මොහුගේ සමකාලීනයෝය. කොස්තා පළමුවරට වේදිකාවට ප්‍රවිෂ්ට වන්නේ 'අන්දරේ' නම් වූ පාසල් නාට්‍යයෙනි. පතිරාජ එල්. එස්. දයානන්දගේ 'දියසේන' ඔහු රඟපෑ පළමු ප්‍රසිද්ධ නාට්‍යය විය යුතුය. එය සිංහල වේදිකාවේ ප්‍රථම විකාරරූපී නාටකය ලෙස ද සැලකෙයි. එච්. ඩී. ප්‍රේමරත්න පෙළ රචනා කළ 'යකාගේ කම්හල', 'සිත් පෙරළිය' ඔහුගේ තවත් නාට්‍ය දෙකකි. 'සිත් පෙරළියේ' කොස්තා චරිත තුනක් රඟපෑම ද විශේෂත්වයක් විය. හැත්තෑව දශකයේදී කොස්තා සිංහල වේදිකාවට නැතුම බැරි නළුවකු වූයේය. පතිරාජ එල්. එස්. දයානන්දගේ 'කවුරුත් එන්නේ නෑ', සුගතපාල ද සිල්වාගේ 'හිත හොඳ අම්මණ්ඩි', 'දුන්න දුනු ගමුවේ' නාමෙල් වීරමුනිගේ 'නැට්ටුක්කාරී', 'ධම්ම ජාගොඩගේ 'කොරා සහ අන්ධයා' ඒ. ජේ. සෙල්වදොරේගේ 'ගොඩෝ එනකං', ධර්මසේන පතිරාජගේ 'පුටු', ජයතිස්ස අලහකෝන්ගේ 'මළ කෝලං', කරුණාරත්න ඩී. පිලිප්ගේ 'පෙත්තප්පු රූං රූං' ඔහු රඟපෑ නාට්‍ය කීපයකි. මින් බොහොමයක්ම විකාරරූපී නාටක වීම කැපී පෙනේ. 'කවුරුත් එන්නේ නෑ' බොහෝ දෙනෙකු සිතන්නේ සැමුවෙල් බෙකට්ගේ 'වේටිං ෆෝ ගොඩෝ' නාට්‍යය ආභාසයෙන් නිපදවන ලද නාට්‍යයක් කියාය. එහෙත් එහි අත්දැකීම් කොස්තා සීයා හා ආච්චිගේ ජීවිතය ඇසුරෙන් ගත් එකක් බව කිව යුතුය. මෙම නාට්‍යය නැරඹූ මහාචාර්ය තිස්ස කාරියවසම් කොස්තාගේ රංගනය අගයමින් 'නාට්‍ය ලෝකයට බොහෝම දක්ෂකම් තියෙන තරුණයෙක් ඇතුළු වූ බව පෙනුණා' යැයි ලීවේය. 'දුන්න දුනු ගමුවේ' චරිතාංග නිරූපණය උදෙසා කොස්තාට 1973 ජාතික නාට්‍ය උලෙළේ හොඳම නළුවා සඳහා වන සම්මානයක් හිමි වුයේය. අභිරූපණ රංගය (ඒඅඊ ර්‍ණජ් ර්ධ්ර්ඡ්) කොස්තා සතු තවත් සුවිශේෂී කලාත්මක හැකියාවක් විය. ඇත්තටම මෙරට අභිරූපණ රංගයේ පුරෝගාමියා ඔහු විය යුතුය. 1972 දී කැලණිය විශ්ව විද්‍යාලයේ එකමුතු කලා කවය ලෙනින් ශාලාවේ ඉදිරිපත් කළ කොස්තාගේ අභිරූපණ රංගය මෙහි දොරට වැඩුම විය. ගාමිණි හත්තොටුවේගම, ධර්මසේන පතිරාජ, බන්දුල විතානගේ, සරත් කැල්ලපත ලියූ පිටපත් ඇසුරෙන් කොස්තා අභිරූපණ කීපයක්ම නිර්මාණය කළේය. 'බයිසිකලය', 'සරුංගලය', 'පොප් සංගීත කණ්ඩායම' 'මිනිසා සහ හරකා', 'නිදන කාමරය (ශිෂ්‍යයකුගේ)' 'මඟුල් පින්තූරය', 'චාලි චැප්ලින්', 'ඉණිමඟ', 'මගියෙක්', 'පෙම්වතා', 'ආදරේ වේදනා', 'ඡායාරූප ශිල්පියා' ඔහු නිර්මාණය කර ඇති අභිරූපණ රංග අතර වෙසෙසින් කැපී පෙනේ. කොස්තා පසු කලෙක සිනමා රංගනයට ආවේ ද විකරරූපී නාට්‍ය ඔස්සේ හා අභිරූපණ රංග ඔස්සේ ප්‍රගුණ කළ රංග ක්‍රමවේදයකි. 'වෙස් ගත්තෝ', 'හාර ලක්සෙ' වැනි චිත්‍රපටවල සුළු චරිත රඟපා තිබුණත් කොස්තා චරිතාංග නළුවකු වශයෙන් ඉස්මතු වූයේ 'අහස් ගව්වෙනි'. ඉන්පසු පතිරාජගේම 'එයා දැන් ලොකු ළමයෙක්', 'බඹරු ඇවිත්' යන සිනමාපටවල ද හෙතෙම රඟපෑවේය. විජය කුමාරතුංග හැරුණු කොට පතිරාජගේ තවත් රංග ප්‍රකාශකයකු ලෙස කොස්තා හැඳින්විය හැකිය. 'බඹරු ඇවිත්' හි කොස්තා එහි රඟපෑ වීරසේනගේ චරිතයට තමා ප්‍රගුණ කළ අභිරූපණ රංගය වෙනත් මානයකින් ඉදිරිපත් කළේය. එහි එන වීරසේනගේ දේශනය එබඳු වූවකි. විකට ශෙලියකට කොටුව සිටි කොස්තා ඉන් මුදා ගත්තේ ද පතිරාජය. ඒ 'එයා දැන් ලොකු ළමයෙක්' චිත්‍රපටයේය. ඔහු එහි රඟපෑවේ දුෂ්ට චරිතයකි.
කොස්තාගේ රංගනය මහා නළු ගාමිණි ෆොන්සේකාගේ ද අවධානයට යොමු වූයේය. ඔහු රඟපෑ 'සරුංගලේ', 'ආශා දෑසින්', 'මල් කැකුළු' වැනි චිත්‍රපටවලට කොස්තා තෝරා ගත්තේ ගාමිණි යැයි සිතමි.
'සාගරිකා', 'සතර දිගන්තය', 'සරුංගලේ', 'මරුවා සමඟ වාසේ', 'ජීවිතයෙන් ජිවිතයක්'
කොස්තා රඟපෑ චිත්‍රපට අතර කැපී පෙනෙන චිත්‍රපට කීපයකි. 'සතර දිගන්තය' චිත්‍රපටයට
ඔහු තමා ප්‍රගුණ කළ අභිරූපණ රංග යොදාගත් අතර 'ජිවිතයෙන් ජීවිතයක්' චිත්‍රපටයේ
සර්කස්කාරයාගේ චරිත රංගනයට ද ඉන් ලද ආභාසය ප්‍රකට කළේය. ඕනෑම චරිතයක් ඕනෑම විදියකට
රඟපෑමේ ප්‍රතිභාව හෙවත් වැටහෙන නුවණක් කොස්තා සතුව තිබිණි. 'අහස් ගව්ව' චිත්‍රපටයේ රංගනය උදෙසා කොස්තාට 1970 පැවති හත්වැනි විචාරක සම්මාන උළෙලේදී ගෞරව සහතිකයක් පිරිනැමුණේය. 'සරුංගලේ' හා 'සතර දිගන්තය' යන චිත්‍රපටවල රඟපෑම් සඳහා ජනාධිපති සිනමා සම්මාන උලෙළේ කුසලතා පදක්කම් දිනාගත් කොස්තා 'එයා දැන් ලොකු ළමයෙක්' චිත්‍රපටයේ රඟපෑම් සඳහා ඕ. සී. අයි. සී. සම්මාන උලෙළේදී සජීවි සිනමා කුසලතා සහභාගිත්ව සහතිකයක් ලබා ගත්තේය. ඔහු ස්වර්ණ සංඛ චිත්‍රපට සම්මාන උලෙළේ හොඳම සහය නළුවා වූයේ 'උමයංගනා' චිත්‍රපටයේ රඟපෑම් වෙනුවෙනි. කොස්තා පසු කලෙක ටෙලි නාට්‍ය කීපයක ද (හංස දඩයම, ගිගිරි වළලු, සඳලු තලයේ ගීතිකාව වැනි) රඟපෑවේය. අහස් ගව්වේ ගුණේ මෙන් කොස්තා පෞද්ගලික ජීවිතයේද නන්නත්තාරවාදියෙක් විය. වට වංගු රුසක් පසු කරමින් ඔහු ජීවන ගිරි දුර්ගය තරණය කළේය. එහිදී ඔහු මහා රළ ප්‍රවාහයන්ට හසු වී ගසාගෙන ගියේය. චිත්‍රපටයේ කොස්තා මිය යන්නේ ගිලන් රියක හැපීමෙනි. සැබෑ ජීවිතයේදී ඔහු කළුබෝවිල රෝහලේ මිය යයි. සිනමා රංගන ජීවිතයත් සැබෑ ජීවිතයක් බෙදා වෙන් කරන 'රේඛාව' කුමක්ද? ඒ සියල්ල එක් ප්‍රපංචයක් බව කොස්තා තම රංගන ජීවිතයෙනුත් ස්වකීය දිවි පැවැත්මෙනුත් තහවුරු කළාක් වැන්න.
කඳුළක් සුසුමක් හදින් ගලන තෙක්
|