|
කොල්ලෝ මේ දවස්වල මාත් එක්ක ඔරොප්පුයිතෙරුණිට පෙම් බඳින ඉමේෂාන් නෙල්ලිගහවත්ත
‘වැඩලා සරණව අල්ලගන්න බෑ හාමුදුරුවනේ දුවන්නම ඕනෙ' මගතොටේ, පොදු ප්‍රවාහන සේවයේ, යහළුවන් අතර වගේම පාර්ලිමේන්තුවේ සංවාද අතරෙත් හරි හරියට 'සිඳු' නාට්‍යයේ දෙබස් රැව් පිළිරැව් දෙන්නේ ඉන්දියානු නාට්‍ය ආරයට සියුම් ටොක්කක් ඇන ඇති බවට සාක්ෂි දරමිනුයි. ලොකු හාමුදුරුවෝ, පොඩි හාමුදුරුවෝ හීන් බබා සීයා, තෙරුණි සැමගේ අවධානයට ලක් වුණේ එකී ජනප්‍රිය බව නිසාමයි. මේ දවස්වල ගැහැනු ළමයින්ගේ ආකර්ෂණයටත්, ආදරයටත්, පිරිමි ළමයින්ගේ ඊර්ෂ්‍යාකාර බැල්මටත් හසුව ඇත්තේ, තෙරුණිගේ ප්‍රේමවන්තයා එහෙත් නැත්නම් හේෂාන්ගේ චරිතයයි. ඒ නිසාම ඒ දඟකාර ප්‍රේමවන්තයා එක්ක පුංචි පිළිසදරක යෙදෙන්න අපි තීරණය කළෙමු. හේෂාන්ගේ ඇත්ත නම ඉමේෂාන් නෙල්ලිගහවත්ත. ඒත් අපි කතාව පටන්ගත්තේ හේෂාන්ගෙනි. ඉතිං හේෂාන් ඇයි ඔච්චරම තේරුණිගෙ පස්සෙන් යන්නේ? මේ දවස්වල ගොඩක් අය මගෙන් අහන්නේ ඔය ප්‍රශ්නෙ තමයි (ඉමේෂාන් එහෙම කිව්වේ මූණෙ හිනාවකුත් රඳවගෙන) ඒ වගේම ගොඩක් අය 'හේෂාන්' කිය කිය මාත් එක්ක කතා කරන කොට මට හිතෙනවා චරිතයට සාධාරණයක් ඉටු කරන්න මං ගත් මහන්සියට යම් ප්‍රතිඵලයක් ලැබුණා කියලා. ඒ නිසා මේ දවස්වල මං ගොඩක් සතුටින් ඉන්නවා. දැන් අපි හේෂාන්ගේ චරිතයෙන් ඉමේෂාන්ගේ චරිතයට එමුද? ඉමේෂාන් නෙල්ලගහවත්ත කොහොමද 'සිඳු' නාට්‍යයට සම්බන්ධ වෙන්නේ? මං 'සිඳු' නාට්‍යයට සම්බන්ධ වෙන්නේ නිල්රුක්ෂාන් ඒකනායකගේ මාර්ගයෙන්. ඔහුව හඳුනා ගත්තෙ මුං මුලින් රඟපෑ 'වීරවර්ණ' චිත්‍රපටයෙන්.
එහෙනම් අපි මුලින්ම විරවර්ණ චිත්‍රපටයට සම්බන්ධ වුණ ආකාරය දැනගනිමු? ඔව් ඒක ඇත්තටම අහඹු සිදුවීමක්. චිත්‍රපටයකට නළු නිළියන් අවශ්‍ය බවට දැන්වීමක් දැක්කා. ඉතිං එදා ක්ලාස් තිබ්බෙත් නැති නිසා මං නිකමට ගියා බලන්න. ඒත් හිතේ ලොකු බලාපොරොත්තුවක් තිබ්බේ නෑ. පළමු සම්මුඛ පරික්ෂණයෙන්ම වීරවර්ණ චිත්‍රපටයේ 'සූරිය සිංහ' කියන ප්‍රධාන චරිතයට පණපොවන්න මට අවස්ථාව ලැබුණා. ඇත්තටම ඒ ගැන හිතෙන කොටත් පුදුම සහගතයි. පළමු සම්මුඛ පරික්ෂණයෙන්ම ප්‍රධාන චරිතය ලැබෙන්න ඔයාගෙ මොන වගේ දක්ෂතා බලන්න ඇද්ද? මං ඉස්කොල් යන කාලෙත් වේදිකා නාට්‍ය ගණනාවකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ වගේම නර්තනය වගේම කරාතේ ක්‍රීඩාවත් මං හදාරලා තියෙනවා. ඒ නිසා චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්න වාසනාව වගේම මේ හැකියාවනුත් අනිවාර්යෙන්ම උදව් වෙන්න ඇති. පවුලේ විස්තර කිව්වොත්? අපේ පවුලේ පස් දෙනයි. අම්මයි තාත්තයි අයියයි මායි නංගියි. පළමු රංගනය ප්‍රධාන චරිතයක් වීම අම්මටයි තාත්තටයි මොන වගේ හැඟීමක් ඇති වෙන්න ඇද්ද? ඒ ගැන නම් මටම හිතාගන්න අමාරුයි. මොකද පළමු රංගනය දකික කොට මටත් ඒක හීනයක් වගේ දැනුණේ. අම්මයි තාත්තයි මං රංගනයට මෙච්චර ඉක්මනට දායක වෙයි කියලා හිතපු නැති නිසා ඇත්තටම එයාලා පුදුම වෙන්න ඇති. අධ්‍යාපන කටයුතු ගැන කතා කළොත්? මගේ පාසල කැගල්ල සක්සස්. මං අධ්‍යාපනය හැදෑරුවේ භාෂා අංශයෙන්. මං උසස් පෙළට ලියුවේ 2016 දී. තවදුරටත් උසස් අධ්‍යාපය හදාරන්න බලාපොරොත්තු වෙනවා. හේෂාන්ගේ චරිතයත් එක්ක තෙරුණිව අමතක කරන්න බැහැ. හේෂාන්ටත් එහෙමද? නෑ. ගොඩක් අය එහෙම හිතනවා. මේ නාට්‍ය නිසා මායි මනීෂයි (තෙරුණියි) අතර ලොකු මිතුරුමක් ඇති වුණා. දැන් අපි සහෝදර සහෝදරියෝ තරමටම සමීපයි. පුංචි තිරයේ දඟකාර ප්‍රේමවන්තයාගෙන් ආදරය ගැන අහන්නේ නැතුව බෑනේ? ආදරය කියන්නේ ජීවත්වෙන්න අත්‍යවශ්‍ය දෙයක්. ඒ වගේම එය සුන්දර හැඟීමක්. ඒත් මට තාම ආදරය ගැන අත්දැකීමක් නම් නැහැ.
ගැහැනු ළමයි හේෂාන්ගේ චරිතයට පිස්සු වැටිලා කිව්වොත්? ගැහැනු ළමයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර ටිකක් වැඩියි. ඒ හින්දා පිරිමි ළමයි නම් ටිකික් මේ දවස්වල ඔරොප්පුයි. පාරේ යද්දී 'තෙරුණි' කිය කිය විහිළු කරනවා. හේෂාන් ටිකක් දඟකාර චරිතයක් නිසා බැනුම් වරුසාවලට තෙමිච්ච අවස්ථාත් නැතුව නෙමෙයි. ඒ කොහොම වුණත් ඒ හැම ප්‍රතිචාරයක් ගැනම මට තියෙන්නේ ලොකු සතුටක්. රංගනය නිසා ඉමේෂාන්ට අධ්‍යාපනය අමතක වෙයි? නෑ. දැනට මම ප්‍රංශ භාෂාව පිළිබඳ උපාධියක් කරනවා. අධ්‍යාපන කටයුතුවලට බාධා නොවන විදිහට දිගටම රංගන කටයුතු කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. හොඳ නිර්මාණවලට ආරාධනා ලැබුණොත් මගේ දක්ෂතා එළිදක්වන්න මං දෙවරක් හිතන්නේ නැහැ. කතාවෙන් නම් තේරෙන්නේ අලුත් වැඩ කිහිපයකට අත ගහලා වගේ? ඔව්. මේ වෙනකොට චිත්‍රපටයකට වගේම ටෙලි නාට්‍ය දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා. අනාගතයේදී දායක වෙන්න කැමැති මොන වගේ චරිතවලටද? ගොඩක් ආදරණීය, ත්‍රාසජනක වගේම නර්තනයට වැඩියෙන් සමීප චරිතයකට රංගනයෙන් දායක වෙන්න ලොකු ආසාවක් තියෙනවා. ලොකු ගමනක් යන්න ඉදිරියට පියවර කිහිපක් තැබූ පුංචි තිරයේ නවතම ප්‍රේමවන්තයාට 'සරසවිය' අපගේ උණුසුම් සුබපැතුම්.
|