වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




Bollywood

ශාරුක්ට ඉඩ නැති Tubelight

කබීර් ඛාන්ගේ අලුත්ම චිත්‍රපටය ගැන මේ දවස්වල බොලිඩුයට පුරා කතා පැතිරෙනවා. ඔහුගේ අලුත්ම චිත්‍රපටය  Tubelight. එහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ සල්මන් ඛාන් විසින්. ශාරුක් ඛාන් ද Tubelight චිත්‍රපටයේ තමාගේම චරිතය නිරූපණය කරමින් රංගනයකට එක් වෙන බවට කටකතා පැතිරුණා. ඒත් ගරු රඟපෑමක් කියලත් ආරංචියි.

මේ ආරංචිය නිසා කබීර් ඛාන්ට නිදහසේ කොහේවත් යන්නවත් අවස්ථාවක් නැතිලු. “ශාරුක් සහ සල්මන් ඔබේ අලුත්ම චිත්‍රපටයේ රඟනවාද?” හැමෝම අහන්නේ මේ ප්‍රශ්නයලු. ඒ නිසා කබීර් මේ ගැන ප්‍රකාශයක් නිකුත් කළා. “සල්මන් සමඟින් ශාරුක් Tubelight චිත්‍රපටයේ රඟපානවා නම් ඒක ප්‍රසිද්ධ කරන්නම්. දැනට මේ කතාව බොරුවක්” ඔහු පැවසුවේ එවැන්නක්. ‍

Tubelight කියන්නේ සල්මන් සමඟින් කබීර් නිර්මාණය එක්ව කෙරෙන තෙවැනි සිනමා නිර්මාණය යි. මීට පෙර අධ්‍යක්ෂවරයා සහ ප්‍රධාන නළුවා ලෙසින් එක්ව Bajrangi Bhaijaan සහ Ek Tha Tiger චිත්‍රපට අධ්‍යක්ෂණය කළා. Tubelight චිත්‍රපටයේ සල්මන් සමඟින් ඔහුගේ සොයුරා වන සොහයිල් ඛාන් සහ ජනප්‍රිය චීන නිළියක වන සු සු රංගනයෙන් දායක වෙනවා.


විද්‍යාගේ අලුත්ම සූදානම

ජනප්‍රිය බොලිවුඩ් නිළි විද්‍යා බාලන් පොතක් ලියන්න සූදානම් වෙනවා කියලා ආරංචියි. ඇයගේ වෘත්තිය සහ පෞද්ගලික ජීවිතයේ තොරතුරු ඇතුළත්ව මේ පොත ලියන්න ඇයට ආරාධනා කරලා තියෙන්නේ පොත් ප්‍රකාශක සමාගමක්.

විද්‍යා කියන්නේ රූපවාහිනි තරුවකව සිට බොලිවුඩ් සිනමාවට පැමිණ සාර්ථක වූ නිළියක්. ඉතින් මේ ගමනේ සාර්ථකත්වයත් මේ පොතට ඇතුළත් වෙන්න නියමිතයි. විද්‍යා සිනමාවට සම්බන්ධ වුණේ Balo Theko  නම් බෙංගාලි චිත්‍රපටයෙන්. ඒ 2003 වසරේදීයි. පසුව ඇය Parineeta, Paa, Kahaani වැනි සිනමා නිර්මාණ රැසකට තම රංගන දායකත්ව ලබා දුන්නා.

මේ වන විට ඇය පද්ම ශ්‍රී සම්මානයද ඇතුළුව ඉන්දිය ජාතික සම්මානයක් සහ ෆිල්ම් ෆෙයාර් සම්මාන පහකට හිමිකම් කියනවා. විද්‍යා අතින් රචනා වෙන සිය ජීවිතය ගැන කියන මේ පොතෙන්, ඇයගේ ජීවිතයේ විශේෂ සිදුවීම්, ජනප්‍රියත්වය ලඟාකරගත් ආකාරය, පුද්ගලික ජීවිතය සමඟින් වෘත්තිය ජීවිතය සමබර කරගෙන සිටින අයුරුත් කියන්න ඇය සූදානම්. මේ පොතට බොහෝ දෙනෙක් ප්‍රිය කරනු ඇති බවට දැනටමත් බොලිවුඩයෙන් ආරංචි ගෙන එනවා.


ඓශ්ගේ රංගනයට අමිතාබ්ගෙන් ප්‍රතිචාර

 

Ae Dil Mushkil  චිත්‍රපටයත් පසුගිය කාලයේ ආන්දෝලනාත්මක සිදුවීම්වලට මුහුණු දී තිරගත කළ චිත්‍රපටයක් බවට පත් වුණා. එහි එන රන්බීර් කපූර් සහ ඓශ්වර්යා රායි බච්චන්ගේ පෙම් රැඟුම් ගැනත් ආන්දොලනාත්මක කතා පැතිරුණා. කොහොම වුණත් චිත්‍රපටය තිරගත වීමෙන් පසු එහිදී ඔවුන් දෙදෙනාගේ සබඳතාව ගැලපෙන එකක් බව බොහෝ දෙනාගේ අදහස වුණා.

චිත්‍රපටය තිරගත වෙන්නත් කලින් මේ දෙදෙනාගේ රංගනයත් බොහෝ දෙනාගේ අවධානයට ලක් වුණා. හැබැයි බච්චන් පවුලේ අයගේ විරෝධය නම් මුලසිටම එල්ල වුණු බව තමයි ආරංචි වුණේ.

හැබැයි ඒ විරෝධය එළිපිට මාධ්‍ය හරහා එල්ල නොකරන්න බච්චන් පවුල වගබලා ගෙන තිබුණා.

නමුත් 22 වැනි කල්කටා ජාත්‍යන්තර සිනමා සම්මාන උලෙළේදී අමිතාබ් බච්චන් Ae Dil Mushkil චිත්‍රපටයේ තම ලේලිය ඓශ්වර්යාගේ රංගනය ගැන කතා කළා. එහිදී ඔහු පැවැත් වූ දේශනයක මාතෘකාව වුණේ ‘එදා මෙදාතුර සාමාන්‍ය ජීවිතයේ කාන්තාව වෙනස් වීම සිනමාව තුළ එදා මෙදාතුර නිළි චරිතවල වෙනස්වීම්’ යන්නයි. ඒ වෙනුවෙන් ඔහු Meghe Dhaka Tara චිත්‍රපටයේ නීතා, Guide  චිත්‍රපටයේ රෝසී, Haider චිත්‍රපටයේ තාබුගේ චරිතය සමඟින් Ae Dil Mushkil චිත්‍රපටයේ සාබා ලෙසින් ඓශ්වර්යා කළ රංගනයත් උදාහරණයට ගත්තා. එහිදී ‍අමිතාබ් ඇයගේ රංගනයේ හොඳ මිස නරකක් නම් කියලා නැහැ.


නවකයන්ට හොඳ පාර

සමාජ වෙබ් අඩවි නවකයන්ට තම දක්ෂතා පෙන්වන්න හොඳ අවස්ථාවන් ලබා දෙන බව ශ්‍රද්ධා කපූර්ගේ අදහසයි. විනෝද වෙන්නම විතරක් නෙවෙයි තම නිර්මාණ මේ හරහා එළි දැක්වීමෙන් කලා ක්ෂේත්‍රයේ ඉදිරියට යන්නත් ලැබීම ‍ඉතාම වටිනා දෙයක් ‍විදියට ඇය පෙන්වා දෙනවා. ඇය පවසන්නේ ජංගම දුරකථනයකින් පවා අද බොහො දේ කළ හැකි බවයි.

ශ්‍රද්ධාත් බොලිවුඩයට පිවිසිලා දැන් වසර හයක පමණ කාලයක් ගත වෙලා. මේ කාලය පුරාවට සමාජ වෙබ් අඩවි හරහා ලද ජනප්‍රියත්වය ගැන ඇය සිටින්නේ ගොඩක් සතුටින්. “ට්විටර් හරහා මට කෙටි පණිවුඩ එවනවාට මං ගොඩක් කැමැතියි” ශ්‍රද්ධා පවසනවා.

ඇය බොලිවුඩයට පිවිසියේ 2010 වසරේ Teen Patti  චිත්‍රපටයෙන්. පසුව Aashique 2  චිත්‍රපටය සමඟින් ඉහළ ජනප්‍රියත්වයක් ලද ඇය Ek Villain, Haider, ABCD2,Baaghi වැනි චිත්‍රපටවලට දායක වුණා. ඇයගේ රංගනය සමඟින් Rock On 2 චිත්‍රපටය පසුගිය නොවැමබර් 11 වැනිදා තිරගත වීම ඇරඹුණා. ලබන වසරේදී Ok Jaanu, Half Girlfriend, Haseena: The Queen of Mumbai චිත්‍රපටවලින් ශ්‍රද්ධාගේ රංගනයන් දැක ගන්න පුළුවන් වේවි.

ආලියා-රන්බීර් සමඟින් ශර්මිලා‍ගේ කතාව රිදී තිරයට


ශර්මිලා තාගෝර් බොලිවුඩ් සිනමාව විචිත්‍රවත් කරන්නට එක් වූ ජනප්‍රිය තාරකාවක්. ඇය විවාහ වුණේ ඉන්දීය ක්‍රිකට් තරුවක් වූ මන්සූර් අලිඛාන් පතාවුදි සමඟින්. ඔහු කාලයක් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයත් හෙබවූවා. ඔහු 2011 වසරේ සැප්තැම්බර් 22 වැනිදා ජීවිතයේ 70 වැනි කඩඉමේදි මෙලොවින් සමු ගත්තා. ජනප්‍රිය නළු සයිෆ් අලි ඛාන් සහ සොහා අලි ඛාන් ඔවුන්ගේ දරුවන්.

දැන් ශර්මිලාගේ ආසාව තමාගේ සහ සැමියා පතාවුදිගේ ජීවිත ඇසුරෙන් සිනමා නිර්මාණයක් කරන්නයි. “කවුරු හරි හොඳීන් එය අධ්‍යක්ෂණය කරනවා නම් මම කැමැතියි” ශර්මිලා පවසන්නේ එවැන්නක්. මන්සූර් අලිඛාන්ගේ චරිතයෙන් ගත හැකි ආදර්ශ රැසක් ඇති බවත් ශර්මිලා පවසනවා. හැමෝගෙම ඊළඟ ප්‍රශ්නය වුණේ ප්‍රධාන නළු නිළියන් කවුරුද යන්නයි. ශර්මිලා ඒ ගැනත් දැන්ම හිතලා අවසන්. රන්බීර් කපූර් සහ ආලියා භාත් ඒ වෙනුවෙන් ගැලපෙන බවයි ඇය පවසන්නේ. රන්බීර් පතාවුදිගේ චරිතයත් තමන්ගේ චරිතය ආලියා හොඳීන් නිරූපනය කරාවි යැයි ශර්මිලා විශ්වාස කරනවා.