වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ මුල්ම කාටූනය පළ වූයේ සරසවියේ

මගේ මුල්ම කාටූනය පළ වූයේ සරසවියේ

කැමිලස් පෙරේරා

ගජමෑන්, ඩොල්පිනා, මෙරායා, සිමෝනා, දොං සේතං, ලවාරිස්, මගෝඩිස්තුමා, සොපියා, සිරිබිරිස්, ස්වීට්, සෙල්ලංසේන, දැක්කොත් පත්මාවතී, බුරියා, ලපයා, ගොඩ්ඩිං අයියා, ගජමෑන් පොඩ්ඩා, පැටෝ, ටික්කා, තෙපානිස්, චුටි චරිත ඔස්සේ ඔහු අපට ගෙන ආවේ අපූර්වතම හාස්‍ය රසයකි. නමින් කැමිලස් පෙරේරා නම් වූ ඔහු කැමිලස් නමින් මෙන්ම ගජමෑන් නැමැති අනවර්ථ නාමයකින් ද ජනතාව අතර වඩාත් ප්‍රසිද්ධියක් උසුලයි. දිනපතා සතිපතා ඔහු දේශපාලනය ආර්ථික හා සමාජීය ප්‍රශ්න කැටි කොට අපගේ මුවඟට සිනාවක් රැගෙන එන්නේ ඔහුටම ආවේණික වූ චරිත සමූහයක් සමඟය. අඩසිය වසක් පුරා ඔහු තම රසිකයාගේ කට කොනට සිනහවක් එක් කොට නිහඬ වින්දනයක් ලැබුව ද ඔහුගේ පින්සල් තුඩ මේ අඩසිය වසර පුරා කියාපෑවේ වචන දහසකින්වත් කියාගන්නට බැරි දෙයකි. කැමිලස් පෙරේරාගේ කාටුන් කලා දිවියට වසර පනහක් සපිරෙන මේ මොහොතේ උපහාස රසය පිරි ඔහුගේ කලා දිවිය ගැන කතාබහට එක් වෙමු.

නොවැම්බර් මාසයේ එළඹෙන විසිපස් වෙනිදා ඔබට සුවිශේෂයි?

මගේ කාටුන් කලා දිවියට අවුරුදු පනහක් සපිරීම නිමිති කොට '50 කඥචපඵ ධට ඛ්චථඪතචඵ ඛ්චපබධධද' නමින් මගේ කාටුන් එකතුවක් රැගත් ප්‍රදර්ශනයක් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී තෙදිනක් පුරා පැවැත්වෙනවා. විසිපස් වෙනිදා සවස 4.00 ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරැඹෙන මෙම කාටුන් ප්‍රදර්ශනය විසි හය, විසිහත දෙදින පුරා උදේ නවයේ සිට රාත්‍රී නවය දක්වා මහජනතාවට නොමිලයේම නරඹා රස විඳිය හැකියි. එනිසා මම සියලුම මගේ රසික ජනතාවට ආරාධනය කරනවා මම පනස් වසරක් පුරා ඔබ වෙනුවෙන් ඇඳි කාටුන් නිර්මාණ එක තැනකදී රස විඳලා ආශ්වාදයක් විඳ ගන්නා හැටියට.

කවුරුන් හෝ ඔබ වෙනුවෙන් මෙවැනි ප්‍රදර්ශනයක් සංවිධානය කරනවාද?

මගේ පුතා ගයාන් පෙරේරා, දුව මයුරි පෙරේරා එකතු වෙලා තමයි මේ ප්‍රදර්ශනය කරන්නේ. ඒ දෙන්නට මගේ අඩ සිය වසක කාටුන් එකතුවක් මේ අයුරින් ප්‍රදර්ශනාත්මකව එළි දක්වන්න ලොකු ආශාවක් තිබුණා.

අඩ සිය වසක් කාටුන් ඇඳි ඔබේ අද වයස?

තව නොබෝ දිනකින් එළඹෙන දෙසැම්බර් පළමුවැනිදා මට වයස අවුරුදු හැත්තෑ හතක්. මම ඉපදුණේ 1939 දෙසැම්බර් පළවෙනිදා.

වසර පනහක් පුරා ඔබේ පින්සල් තුඩින් නිර්මාණය වූ චරිත කීයක් විතර ඔබ මේ වන විට ආදරණීය රසිකයන් වෙත එක් කරලා තියෙනවාද?

චරිත විස්සක් විතර. තව මට අඩු වෙලා ඉන්නේ බල්ලෙක් විතරයි.

අවුරුදු පනහක් ගිහිල්ලත් ඔබේ කාටුන් පවුලට බල්ලෙකුට එක්වන්න වාසනාවක් නෑ?

බලමු නේද ඒ වාසනාව පනහෙන් පස්සෙවත් එයිද කියලා.

ඔබේ මුල්ම කාටුන් චිත්‍රය පළ වුණෙත් සරසවිය පුවත්පතේ?

මට ලොකු ආශාවක් තිබුණා මම අඳින කාටුන් පත්තරයක පළ වෙනවා දැකීම. ඒ සඳහා මම නොගත්ත උත්සාහයක් නැහැ. මම පත්තරවලට ඇඳ එවන කාටුන් කිසිවක් පළ නොවුණත් මගේ උත්සාහය දිගටම ගෙන ගියා. ඔය අතරේ එවක ලේක්හවුස් ආයතනයේ සේවය කරමින් සිටි සුමනා සපරමාදු මෙනෙවිය මට යහළුවෙකුගේ මාර්ගයෙන් හඳුනා ගන්න ලැබුණා. ඒ හඳුනා ගැනීම මගේ සිහිනය මල්පල ගැන්වීමට හේතු වුණා. අන්දරේ පිළිබඳ ලියැවුණු කවි පදයකට කාටුන් චිත්‍රයක් ඇඳ මම එතුමිය අතට පත් කළා. ඇය එය එවක සරසවිය පුවත්පතේ කර්තෘවරයාව සිටි විමලසිරි පෙරේරා මහතාට භාර දී තිබුණා. එය හාපුරා කියා 1964. 03. 04 වැනිදා සරසවිය පත්තරයේ පළ වී තිබුණා. ඒ තමයි මගේ කාටුන් චිත්‍රයක් මුල්වරට පත්තරයක පළ වූ අවස්ථාව.

මුල්ම කාටුන් චිත්‍රය එදා සරසවියේ පළ වුණාම දැනුණු හැඟීම කොයි වගේද?

මම කොච්චර සතුටක් අත්වින්ද ද කියනවා නම් සරසවිය පත්තර කීපයක් මිලදී ගෙන මගේ හිතවතුන් අතටත් පත් කළා. අදටත් ඒ මගේ මුල්ම කාටුන් චිත්‍රය පළ වූ සරසවිය පුවත්පත සුරැකිව තියෙනවා.

මම හිතන්නේ ඔබේ පින්සල් තුඩින් නිර්මිත චරිත ගොන්නේ දැක්කොත් පත්මාවතී චරිතය බිහි වන්නෙත් සරසවිය වෙනුවෙන්මයි?

මුල්ම කාටුනය සරසවියේ පළවීම සමඟ මම දිගට හරහට විවිධ අයුරින් සරසවියට ඇඳ එව්වත් ඒ කිසිවක් පසුව පළවීමක් සිදු වුණේ නැහැ. ඒත් මම සිළුමිණ පත්තරයට එවන ලද පොකට් කාටුන් කීපයක් වරින් වර 1965 දී පළ වුණා. ඔය වර්ෂයේම මම දවස පුවත්පතට ගියා මගේ කාටුන් පළ කරවා ගන්න. එහිදී එහි කර්තෘ ඩේවිඩ් කරුණාරත්න මහත්තයා මගේ කාටුන් භාර ගත්තා පත්තරේ පළ කරන්න. ඒ අනුව දවස පත්තරයේ තීරු කාටුන් එකක් හැටියට තෙපානිස් තීරු කාටුනය පළ වෙන්න පටන් ගත්තා.

දවස හරහා බිහිවන තෙපානිස් ජනප්‍රිය වෙන කොට ආයෙත් ඔබ ලේක්හවුස් සොයා යනවා?

මම මුල ඉඳලම උත්සාහ කළේ ලේක්හවුස් ආයතනයට සම්බන්ධ වෙලා චිත්‍ර අඳින්න. ඒත් මට ඒ අවස්ථාව නොලැබෙන කොට හිත මිත්‍රයෙක් කිව්වා පොඩි ආයතනයකින් නමක් හදා ගත්තොත් ලේක්හවුස් ආයතනයේ වැඩ ලබාගන්න පුළුවන් වෙයි කියලා. කොහොම හරි තෙපානිස් ජනප්‍රිය වෙන කොට මම ආයෙත් 1965 මැයි 01 වැනිදා නැවතත් ලේක්හවුස් ආවා. එවක සිළුමිණ කර්තෘ පියසේන නිශ්ශංක මහතා මාව ජනතා පත්තරයේ කර්තෘ ඩී. එෆ්. කාරියකරවන මහතාට හඳුන්වා දුන්නා. ඒ අනුව දිනපතා ජනතා පුවත්පතට මා දොන් සේතං කාටුනය අඳින්න පටන් ගත්තා.

දිනපතා ජනතා පුවත්පත හරහා දොං සේතං ජනප්‍රිය වෙන කොට ඔබ තවත් චරිත මෙයට එක් කළා?

මුලදි මගේ කාටුනය පළ වුණේ පත්තරයේ මුල් පිටුවේ. පාඨකයෝ කාටුනය රස විඳලා පත්තරය ගන්නේ නැහැ කියලා පස්සේ එය ඇතුල් පිටුවකට ගත්තා. ඔය අතරේ මම සිමෝනා, ලපයා, මෙරායා, ගොඩ්ඩිං අයියා වැනි සහාය චරිත දොං සේතංට එක් කරමින් කාටුනය තව තවත් රසවත් කළා.

ලේක්හවුස් ආයතනය තුළ ඔබ කාටුන් කලාවේ පෙරළිකාර චරිතයක් බවට පත්වෙන්න දොරටු විවර කර ගන්නවා?

ලේක්හවුස් ආයතනය තුළට අනෙකුත් සහෝදර පත්තරවල ප්‍රධාන කර්තෘවරුන්ගෙන් මට ආරාධනා ගලා එන්න වුණා. අපිටත් කාටුනයක් අඳින්න කියලා. ඒ අනුව මම සිළුමිණ පත්තරයට සිරිබිරිස් කාටුනය, ඔබ්සර්වර් පත්තරයට මිස්ට ලව්රිස්, සරසවිය පත්තරයට දැක්කොත් පත්මාවතී, ජනතා පත්තරයට දොං සේතංට අමතරව සෙල්ලං සේන, මිහිර පත්තරයට ටික්ක කාටුනයත් ඇන්දා.

ලේක්හවුස් ආයතනය හරහා බිහි වන සතුට චිත්‍ර කතා පත්තරය නිසා ඔබ ජනප්‍රිය තලයේ වැජඹෙන්නට මං පෙත් විවර කර ගන්නවා?

මගේ ගජමෑන් කාටුනය මා නිර්මාණය කරන්නේ 1972 අගෝස්තු 29 වැනිදා නිකුත් වූ සතුට පත්තරය වෙනුවෙන්මයි. මම ගොඩ නැඟූ කාටුන් චරිත අතරින් ජනප්‍රිය තලයේ ඉහළින්ම ඉන්නේ ගජමෑන් චරිතය. මේ ගජමෑන් කාටුනය කොතරම් ජනප්‍රිය ද කියනවා නම් සමහරු මට වුණත් කියන්නේ ගජමෑන් කියලා.

ගජමෑන් ඔබේ සිත තුළට ආවේ?

මුලින්ම මම නම දාන්න හිතලා තිබුණේ රජ මෑන් කියලා. පස්සේ මට හිතුණා ඊට වැඩිය හොඳයි ගජමෑන් කියලා.

පසු කාලෙත් ඔබ ගජමෑන් කියලත් විශේෂ කාලපයක් මුද්‍රණය කරනවා?

1984 දී මම අවුරුදු විශේෂ කලාපයක් ලෙසින් හාපුරා කියලා කාටුන් චිත්‍ර පමණක් ඇතුළත් ගජමෑන් කාටුන් චරිතය ඇසුරින් ගජමෑන් නමින් පුවත්පතක් නිකුත් කළා. ඒ පුවත්පත උණු කැවුම් වගේ රට පුරා ලක්ෂ ගණනින් අලෙවි වුණා. කොහොම හරි මට කැමිලස් ප්‍රකාශන නමින් අලුත් පුවත්පත් ආයතනයක් බිහි කරන්න තරම් දිරියක් ගජමෑන් විශේෂ කලාපය මාව දිරිමත් කළා.

ඔබට අවුරුදු හත්තෑ හතක් වෙන කොට ඔබේ කාටුන් කලාවට අඩ සිය වසක් සපිරෙන කොට ගජමෑන්ටත්?

අවුරුදු හතලිස් හතරක් සපිරෙනවා.

ඔබ කොයි ආයතනය වෙනුවෙන් කාටුන් නිර්මාණය කළත් එහි ස්ථිර සේවකයෙක් නොවූයේ?

මට කොහෙත්ම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ ස්ථිර සේවයට එක්වන්න. මට ඕනෑ කළේ නිදහසේ මගේ නිර්මාණ කරන්න. මම රැකියාව කළේ කොළඹ කච්චේරියේ. කෑම පැයේදී මම ඔෆිස් එකෙන් ඇවිත් කාටුන් ටික පත්තරවලට දීලා යනවා. ඒ දවස්වල ට්‍රෑම් කාර් එකක ගමන් ගාස්තුව සත පහයි. හදිස්සි විතරක් නම් මම ට්‍රෑම් කාර් එකෙන් එන්නේ. නැතිනම් පයින්ම ඇවිත් දීලා යනවා.

හදිසියේ ඔබ ලේක්හවුස් ආයතනයෙන් සමුගෙන යනවා?

අවුරුදු අටක් නමයක් මම ලේක්හවුස් ආයතනයේ පත්තරවලට කාටුන් ඇන්දා. හදිසියේම මා ගැන වැරැදි වැටහීමක් ඇති කර ගන්නා පාලක පන්තිය වෙන කෙනෙකුගේ කාටුන් නිර්මාණයක් පිළිබඳ මාව සැක කරන්න පටන් ගන්නවා. මේ සිත් රිදීම නිසාම මම ලේක්හවුස් ආයතනයෙන් සමුගෙන යනවා. ඒ 1974 අප්‍රේල් 14 වැනිදා.

කාටුන් නිර්මාණ වෙනුවෙන් ඔබ සිද්ධීන් සොයා යන්නේ?

පොත පත කියවීමෙන් සඟරා පරිහරණයෙන්, චිත්‍රපට බැලීමෙන් එදිනෙදා පුවත්පත් කියවීමෙන් මගේ හිත කාටුන් කලාවට ඇදිලා ගියේ සමහර විට මම බහුලව චිත්‍රපට නැරඹීම නිසා වෙන්නත් පුළුවන්. මම කඩවුණු පොරොන්දුව චිත්‍රපටය විතරක් පනස් වතාවක් නරඹලා තියෙනවා. ඒකට එක හේතුවක් එහි රඟපෑ රුක්මණී දේවි එඩී ජයමාන්න යුවල 1948 දී ටික කාලයක් මීගමුවේ මගේ ගේ ළඟත් පදිංචි වෙලා සිටීම. චිත්‍රපට වුණත් සිංහල, දෙමළ, ඉංග්‍රීසි, හින්දි මේ හැම දෙයක්ම බැලුවා. අදටත් මම බොහෝ විට චිත්‍රපට බැලීම සිද්ධ කරනවා.

වරක් ඔබ කියා තිබුණා කැමිලස්ගේ ගජමෑන් නමින් ඔබ චිත්‍රපටයක් කරනවා කියලා?

ඔව්. ඒක 3ච් කාටුන් චිත්‍රපටයක්. මේ වෙනකොටත් ඒ චිත්‍රපටයේ ගොඩක් වැඩ අවසන්. දැනටමත් රුපියල් ලක්ෂ හතලිහක් විතර මේ වෙනුවෙන් වැය කරලා තියෙනවා. මෙහි දෙබස් ලිව්වේ චූටි මල්ලි, පොඩි මල්ලි දෙපල (ගාමින්ද ප්‍රියවිරාජ්, සුනෙත් චිත්‍රානන්ද). ලබන වසරේ මම ඒ චිත්‍රපටය අනිවාර්යයෙන්ම තිරගත කරනවා.

කාටුන් ශිල්පියකු ලෙසින් ඔබ කළ නිර්මාණ නිසාම යම් අපහසුතාවලට ලක් වූ අවස්ථා එහෙම ඇතුවත් ඇති?

කොහෙත්ම නෑ. මගේ කාටුන් කලා ජීවිතයේ මම කාටවත් අපහාස වන අයුරින් කාටුන් නිර්මාණය කරලා නැහැ. මගේ දේශපාලන කාටුන් හරහා වුණත් මගෝඩිස්තුමා හරහා මම යම් නිර්මාණයක් කළත් ඒ දේ තුළින් කාටවත් අපහාස වන අයුරින් දෙයක් කරලා නැහැ. අදටත් පක්ෂ භේදයෙන් තොරව ඕනෑම දේශපාලඥයෙක් සමාජයේ විවිධ තරතිරමේ උදවිය මගේ සාමාන්‍ය කුළුපඟ මිත්‍රයෝ. ලේක්හවුස් ආයතනයට මම සම්බන්ධ වෙලා ඉන්න කොට එවක ඔබ්සර්වර් කර්තෘ ඩෙන්සිල් පීරිස් මහත්තයා තමයි මුලින්ම දේශපාලන කාටුන් එකක් අඳිමු කියලා මට යෝජනා කළෙත්.

කාටුන් කලා ජීවිතය දෙස ආපසු හැරිලා බලන කොට අද මොකද ඔබට හිතෙන්නේ?

මම ගොඩක් දුක් මහන්සි වෙලා තමයි මේ තත්ත්වයට ආවේ. විශේෂයෙන්ම මේ මම ලබල තියෙන ගෞරවයක් ඇත්නම් එහි ආඩම්බරත්වය රැඳිලා තියෙන්නේ ලේක්හවුස් ආයතනයට. මට මෙවන් ගමනක් එන්න මුලින්ම අත හිත දුන්නේ ලේක්හවුස් ආයතනය වගේම සරසවිය පත්තරය. එදා මට අත හිත දෙමින් මට ආශිර්වාද කළ සරසවිය පත්තරය තව තවත් කාලාන්තරයක් වැජඹේවා. සරසවියට ස්තුති වේවා.