|
අවුරුදු දහයේදී හොඳම නිළිය වී වාර්තාවක් තැබුවා
නිත්‍යවානි කන්දසාමි
ආචාර්ය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ ‘සරෝජා’ ළමා චිත්‍රපටය කා අතරත් ගොඩක් ජනප්‍රිය වුණේ සරෝජා නම් පුංචි දැරිවියගේ චරිතයද සමඟින්. එදා සරෝජාගේ චරිතයට පණ පෙව්වේ නිත්‍යවානි කන්දසාමි. එයින් පසුව අපට ඇය හමු වුණේ සෝමරත්න දිසානායක විසින්ම අධ්‍යක්ෂණය කළ ‘පුංචි සුරංගනාවි’ චිත්‍රපටයෙන්. එහිදී ඇය සත්‍යා නම් දෙමළ දැරියගේ චරිතයට පණ දුන්නා. ඉරානයේ 17 වැනි ටෙහෙරාන් අන්තර් ජාතික චිත්‍රපට උළෙලේ රංගනය සඳහා වන ගෝල්ඩන් බටර්ෆ්ලයි සම්මානයෙන් නිත්‍යවානි පිදුම් ලැබුවා. සරෝජා නිසා රටම හඳුනා ගත් නිත්‍යවානි සත්‍යා නිසා 2003 වසරේ සරසවිය සම්මාන උලෙළේදී හොඳම නිළිය ලෙසින් සම්මානනීය වෙන්නත් භාග්‍යවන්ත වුණා. ඒ වෙනකොට නිත්‍යවානිගේ වයස අවුරුදු දහයක්. ඒ නිසා මෙරට හොඳම නිළිය ලෙසින් සම්මාන ලද ළාබාලතම නිළිය වෙන්නෙත් ඇය. එයින් දහතුන් වසරකට පසුව නිත්‍යවානි එදා සරසවිය සම්මානයෙන් පිදුම් ලද ආකාරය සිහිපත් කළේ මෙලෙසින්. “පුංචි සුරංගනාවි චිත්‍රපටයට දායක වෙනකොට මගේ වයස අවුරුදු දහයක් විතර ඇති. දැනට වසර ගණනක් ගත වෙලත් හැමෝටම වගේ මාව මතක පුංචි සුරංගනාවි චිත්‍රපටයේ සත්‍යා විදියට තමයි. ඒ නිසා ලොකු සතුටක් හිතේ තියෙනවා.ඉරානයේ ටෙහෙරාන් අන්තර්ජාතික සම්මාන උලෙළේදී වගේම සරසවිය සම්මාන උලෙළේදීත් මට සම්මාන හිමි වුණා. එදා සරසවිය සම්මාන උලෙළේදී පුංචි මම හොඳම නිළිය ලෙසින් සම්මානනීය වීම මගේ ජීවිතයට වචනයෙන් විස්තර කරන්න බැරි සතුටක් ගෙන දුන්නා.”
නිත්‍යවානි පුංචි සුරංගනාවි වුණ හැටි මතකද? පුංචි සුරංගනාවි වෙන්න කලින් මම සරෝජා වුණා. සරෝජා චිත්‍රපටය කරන කාලේ මං එක වසරේ හිටියේ. සරෝජා චිත්‍රපටයට පුංචි දෙමළ ගැහැනු ළමයෙක් හොයන්න සෝමරත්න අංකලුයි රේණුකා ඇන්ටියි අපේ ඉස්කෝලෙටත් ආවා. මම ඉගෙන ගත්තේ බම්බලපිටිය රාමනාදන් හින්දු බාලිකා විද්‍යාලයේ. එදා සෝමෙ අංකලුයි රේණුකා ඇන්ටියි ඇවිත් චිත්‍රපටයක රඟපාන්න කැමැති අයට අත උස්සන්න කිව්වා. අපේ පන්තියෙත් ගොඩක් දෙනෙක් අත ඉස්සුවා. මමත් එහෙම කළා. ඊට පස්සේ තිර පරීක්ෂණයකට දින දුන්නා. ඒ වුණත් එදා මගේ අම්මා පරක්කු වෙලා නිසා මට ඒ අවස්ථාවට සහභාගි වෙන්න බැරි වුණා. අපි සෝමේ අංකල්ට කතා කළාම අවසාන තිර පරීක්ෂණය තියෙන දවසට එන්න කියලා කිව්වා. එතැන ළමයි එක්දහස් පන්සියක් විතර හිටියා. අන්තිමට ළමයින් දහයක් විතර තෝරා ගත්තා. ඒ අතරට මමත් ඇතුළත් වුණා. හැබැයි මේ අයගෙන් එක් කෙනෙක් විතරයි තෝරා ගන්නේ කියලා සෝමේ අංකල් එදා කිව්වා. ඊට දවස් දෙකකට පස්සේ සරෝජා චිත්‍රපටයේ සරෝජාගේ චරිතයට මාව තෝරා ගත්තා කියලා කෝල් කරලා කිව්වා. මට පුංචි සුරංගනාවි චිත්‍රපටයේ රඟපාන්නත් අවස්ථාව ලැබුණේ, සරෝජා චිත්‍රපටය නිසා තමයි. පුංචි සුරංගනාවි චිත්‍රපටයේ දර්ශන තලය නිත්‍යවානිට දැනුත් අමතක නැතුව ඇති? ඒක මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මහනුවර දිගන කියන ප්‍රදේශයේ තමයි රූගත කිරීම් තිබුණේ. ලස්සන ලොකු හෝටලයක් තිබුණා. මහවැලි ගඟ පිහිටලා තිබුණෙත් ඒ ළඟම තමයි. මට පුංචි සුරංගනාවි චිත්‍රපටයෙදි ගොඩක් ක්‍රියාකාරකම් කරන්න සිදු වුණා. ඒ අතරේ බයිසිකලය පදින එක තමයි ලොකුම වැඩේ වුණේ. මොකද එතකොට මට බයිසිකල් පදින්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ නිසා හැමදාම රූගත කිරීම් ඉවර වෙලා මම බයිසිකල් පදින්න පුරුදු වුණා. ඒ ළඟම තිබුණු පිට්ටනියකට ගිහින් මට බයිසිකල් පදින්න පුරුදු කළේ ලයිටින් කරන අයියා කෙනෙක්. චිත්‍රපටයේ මමත් එක්ක රඟපෑ තාරක හෙට්ටිආරච්චි අයියා මට වඩා අවුරුදු දෙකක් විතර වැඩිමහල්. එයා ළඟ ලොකු දැනුමක් තිබුණා. එයා මට එයා දන්නා ගොඩක් දේවල් කියලා දුන්නා. ඩිස්කවරි චැනල්වල බලන දේවල් වගේම සාමාන්‍ය දැනුම කරුණුත් කියලා දුන්නා. මමත් ආසාවෙන් ඒවා අහගෙන හිටියා. සෝමේ අංකල්ගේ අධ්‍යක්ෂණය කොහොමද? සරෝජා චිත්‍රපටය නිසා පුංචි සුරංගනාවි චිත්‍රපටයේදී මට සෝමේ අංකල් අලුත් කෙනෙක් වුණේ නැහැ. සරෝජා චිත්‍රපටය කරන කාලයේදී නම් අංකල් මට ගොඩක් දේවල් කියලා දුන්නා. ඒ කාලේ මට හොඳීන් සිංහල කතා කරන්න හැකියාව තිබුණෙත් නැහැ. සමහර දර්ශන කරන හැටි අංකල්ම රඟපාලා පෙන්වනවා. පුංචි සුරංගනාවි කරන කාලය වෙනකොට සරෝජා චිත්‍රපටයේ අත්දැකීම් එක්ක මම රංගනය ගැන ටිකක් දැනුවත් වෙලා හිටියේ. කරන්න ඕනි දේ අංකල් කිව්වම මම රඟපාලා පෙන්වනවා. එතකොට සරසවිය සම්මාන උලෙළට සහභාගි වුණු මතකය නිත්‍යවානිගේ හිතේ තියෙන්නේ කොහොමද? එදා මගේ ජීවිතේ විශේෂ දවසක්. මම සරසවිය සම්මාන උලෙළට ගියේ මගේ අම්මයි, තාත්තයි මල්ලියි එක්ක. සිනමා ක්ෂේත්‍රයේ හැමෝම වගේ එදා ඇවිත් හිටියා. මුලදීම තාරක අයියාට කුසලතා සම්මානයක් ලැබුණා. ඒ සම්මාන පිරිනමලා අවසන් වෙනකොට මට මොකුත් ලැබෙන එකක් නැහැ කියලා හිතුණා. මගේ නම නිර්දේශවෙලා තියෙනවා ද කියලාවත් මම දැනගෙන හිටියේ නැහැ. මගේ අම්මයි තාත්තයි නම් දැනගෙන හිටියාද කියන්න දන්නේ නැහැ. හොඳම නිළියට හිමි සම්මානය වෙනුවෙන් නිර්දේශ නාම නිවේදනය කරනකොට මගේ නමත් නිවේදනය කළා. මුලින්ම නිවේදනය කළේ සංගීතා වීරරත්න මහත්මියගේ නම. දෙවැනියට වසන්ති චතුරාණි මහත්මියගේ නම. පුංචි සුරංගනාවි චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් මගේ නම නිවේදනය කළේ ඊළඟට. ඒ හැමෝම ප්‍රවිණ අය නිසා සම්මානය මට ලැබේවි කියලා හිතුණේම නැහැ. ඒ වුණත් සම්මානය පිරිනැමිම වෙනුවෙන් නිවේදනය කළේ මගේ නමයි. සරසවිය සම්මාන උලෙළේදී හොඳම නිළිය ලෙසින් සම්මානයක් ලැබීම මගේ ජීවිතයේ විශේෂ අවස්ථාවක්. මොකද එතකොට මගේ වයස අවුරුදු දහයක්. ඒ වෙනකොට මට තවත් සම්මාන ලැබිලා තිබුණත් සරසවිය සම්මානය ඒ හැම සම්මානයකටම වඩා වෙනස්. මම සම්මානය ගන්න වේදිකාවට ගියේ තනිවමයි. සම්මානය පිරි නැමුණේ ඉන්දියාවේ ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂවරයකු වූ මනිරත්නම් විසින්. ඒකත් විශේෂ භාග්‍යයක්. සම්මානය අතට ගත්තාම තමයි සම්මානයේ බර දැනුණේ. සරසවිය සම්මානය ඒතරම් බරයි කියලා මං හිතුවේ නැහැ. මා ලද අනෙක් හැම සම්මානයකටම වඩා බරෙන් වැඩියි. ඉතිං පුංචි මට සරසවිය සම්මානයේ බර වැඩි වුණ නිසා ඒක බිම වැටේවිදෝ කියලත් හිතුණා. පුංචි සුරංගනාවි චිත්‍රපටය වගේම සරසවිය සම්මාන උලෙළත් කවදාවත් අමතක වෙන්නේ නැහැ. එදා හොඳම නළුවා වුණේ ප්‍රවීණ නළු කමල් අද්දරආරච්චි මහතා. මම සම්මානය අතැතිව ඔහුත් සමඟින් ඡායාරූපවලට පෙනී හිටියේ බංකුවක් උඩ නැඟලා. මාලිනි ඇන්ටියි සරෝජා චිත්‍රපටයේ හැමෝමයි ඇතුළුව ගොඩක් අය එදා මට සුබ පැතුවා. දැන් කලාවෙන් ඈත් වෙලා ඉන්න එක ගැන නිත්‍යවානිට දුක නැතිද? මං ඒ කාලයේ ඉගනීම් කටයුතුයි කලා කටයුතුයි දෙකම සමබරව කරගෙන ගියා. සරෝජා චිත්‍රපටයෙන් පසුව මම තුන වසරේ විතර ඉගෙන ගන්න කාලයේදි ශක්ති රූපවාහිනියේ කුට්ටි චුට්ටි වැඩසටහනට දායක වුණා. දැන් මම මාලඹේ පෞද්ලික වෛද්‍ය විද්‍යාලයේ සිව්වැනි වසරේ අධ්‍යාපනය ලබනවා. දේශන වගේම සායනික පුහුණු කටයුතු එක්ක මට දැන් ටිකක් කාර්යබහුල ජීවිතයක් ගත කරන්න සිදු වෙලා. ඉදිරියේදී වෛද්‍යවරියක ලෙසින් රටට සේවයක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ වනවිට කලා කටයුතුවලින් ඈත් වෙන්න වුණු එක ගැන නම් පොඩි දුකක් හිතේ තියෙනවා. සායනික පුහුණුව වෙනුවෙන් රෝහලට ගියාම රෝගීන් එදා මගේ රංගනයන් අදටත් අගය කරනවා. ඒ හැමෝමත් අහන්නේ ඇයි දැන් රඟපාන්නේ නැත්තේ කියලායි. ඉස්කෝලේ යන කාලයේදීම තවත් චිත්‍රපටයකට ආරාධනා ලැබුණා. ඒ චරිතය ටිකක් බර වැඩියි වගේ හැඟුණු නිසා බොහොම කාරුණිකව ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කළා. හැබැයි ඒකාංගික ටෙලි නාට්‍ය කිහිපයකටම දායක වුණා. රූපවාහිනි වැඩසටහනක් වෙනුවෙන් ආරාධනා ලැබිලා තියෙනවා. අධ්‍යාපන කටයුතුවලින් පස්සේ ඒ වෙනුවෙන් දායක වෙන්න හිතාගෙන ඉන්නවා.
|