|
හැරී පොටර් තවදුරටත්...
‘හැරී පොටර්’ චිත්‍රපට මාලාව ලොව පුරා අතිශයින් ම ජනප්‍රිය වූ චිත්‍රපට මාලාවකි. ලෝකයේ එදා මෙදා තුර වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපට මාලා අතුරින් මුළු ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 7,747 ක් ලබා හැරී පොටර් චිත්‍රපට මාලාව දෙවැනි ස්ථානයේ සිටිනවා (පළමු වන ස්ථානය ‘මාවල් සිනමැටික් යුනිවර්ස් චිත්‍රපට මාලාවටත්, තෙවැනි ස්ථානය ‘ජේම්ස් බොන්ඩ්’ චිත්‍රපට මාලාවටත් හිමි වී තිබෙනවා). හැරී පොටර් චිත්‍රපට මාලාව චිත්‍රපට අටකින් සමන්විතයි. මෙම චිත්‍රපට මාලාවට පාදක වුනේ ජේ. කේ. රෝලින්ග් නම් ලේඛිකාවගේ අතිශයින් ජනප්‍රිය වූ හැරී පොටර් කතා මාලාව බවත් බොහෝ දෙනා දන්නා කරුණක්. රෝලින්ග් විසින් ඍජුවම මේ ළමා මායාකරුවා ගේ චරිතය වටා රචනා කළ පොත් ප්‍රමාණය හතක් වුවද මෙම කතා මාලාවේ එන අනෙකුත් චරිත වටා ඇය විසින් තවත් කෘති සහ නාට්‍ය රචනා කර තිබෙනවා. පසුගිය 18 වැනිදා සිට ලොව පුරා තිරගත වීම ඇරඹි, “Fantastic Beasts and Where to Find Them’ (අපූරු සත්තු සහ ඔවුන් සොයා ගත හැකි ස්ථාන) එම නමින් ඇති එවැනි කෘතියක් පාදක කොට නිර්මාණය වූවක්. හැරී පොටර් හොග්වර්ඩ්ස් මායා පාසලට ඇතුළු වීමට වසර 70 කට පෙර නිව්යෝක් නගරයේ රහසිගත මායාකරුවන්ගේ සංගමයේ සාමාජිකයෙක්ව සිටි ‘නිව්ට් ස්කැමැන්ඩර්’ ගේ ත්‍රාසජනක අත්දැකීම් මෙම චිත්‍රපටයේ අන්තර්ගතව ඇත. එහි කතාව සැකෙවින් මෙලෙස දිගහැරේ. ‘ඒ 1926 වසරයි. ස්කැමැන්ඩර් ලොව පුරා සංචාරය කර සොයාගත් අද්භූත සත්ත්වයින් පිලිබඳ වාර්තාව නිමා කළා පමණයි. ඔහු නිව්යෝක් නගරයට පැමිණෙන්නේ ඉක්මනින් නැවත පිටත් වීමට වුවත්, ඔහු සතු අද්භූත බෑගයක් අස්ථානගත වේ. මෙම බෑගය අද්භූත සත්ත්වයින් රැසක් පිටවිය හැකි දොරටුවක් වන අතර ප්‍රශ්න සියල්ලක්ම මෙයින් ඇරඹේ.’ මෙම චිත්‍රපටයේ එන අද්භූත සත්ත්වයින් හැරී පොටර් කතා මාලාවේ දක්නට ලැබෙන නමුත්, ‘නිව්ට් ස්කැමැන්ඩර්’ යන චරිතය එහි අන්තර්ගත වන්නක් නොවේ. කෙසේ නමුත්, හැරී පොටර් කතා මාලාවේ පළමු කතාවේදී මොහු ගැන සඳහනක් කෙරේ. මෙම චිත්‍රපටයට පාදක වුණු කෘතියේ අපූරු සත්ත්වයින් 85 දෙනෙකු ගැන සඳහන් වන අතර එහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ, මෙම කෘතියේ කතෘ ලෙස සඳහන් වන්නේ රෝලින්ග් ගේ නම වෙනුවට මේ ප්‍රබන්ධ චරිතය වන ස්කැමන්ඩර් ගේ නම වීමයි. හැරී පොටර් අවසාන චිත්‍රපට සතරේම අධ්‍යක්ෂවරයා වූ ඩේවිඩ් යේට්ස් මෙම චිත්‍රපටයද අධ්‍යක්ෂණය කර ඇති අතර ජේ. කේ. රෝලින්ග්, ඩේවිඩ් හේමන් ඇතුළු සිව් දෙනෙකු විසින් මෙය නිෂ්පාදනය කර ඇත. එඩී රෙඩ්මයෙන් (ජුපිටර් ඇසෙන්ඩින්, ද තියරි ඔෆ් එව්රිතින්) විසින් ස්කැමැන්ඩර් ගේ චරිතය නිරූපණය කරන අතර, කැතරින් වෝටර්ස්ටන්, ඩන් ෆොග්ලර්, ඇලිසන් සුඩොල් ඇතුළු පිරිසක් සෙසු චරිතයන්ට රංගනයෙන් දායක වෙති. ප්‍රවීණ සංගීතවේදී ජේම්ස් නිවුටන් හොවාර්ඩ් ගේ සංගීතයෙන් ඔපවත් වුණු මෙම චිත්‍රපටය, වෝනර් බ්‍රදර්ස් පික්චර්ස් බෙදා හැරීමකි. විනාඩි 133ක ධාවන කාලයකින් යුක්ත වන මෙය, අමෙරිකානු ඩොලර් මිලියන 180ක විශාල පිරිවැයක් දරා නිමකර ඇත. Fantastic Beasts and Where to Find Them විචාරක පැසසුම් ලැබූ චිත්‍රපටයකි. IMDB දර්ශකයේ 8.1 /10 ක ලකුණු ප්‍රමාණයක් සටහන් කරන මෙය, රෝටන් ටෝමාටෝස් වෙබ් අඩවියේ ලකුණු සියයට 76ක් ද, මෙටා ක්‍රිටික් හි සියයට 72ක් ද වශයෙන් සටහන් කර ඇත. රෝටන් ටෝමාටෝස් අඩවියේ ප්‍රමුඛ විචාරය පවසන ආකාරයට, මෙම චිත්‍රපටය හැරී පොටර් හි හඳුන්වාදෙන ලද විශිෂ්ට ගණයේ මායාකාරී ස්වභාවයන්ගේ සමන්විත වන අතරම, නවමු වෙනසක් ද එක් කර ඇත.
|