|
දිලිප් කුමාර් ගී ගයා තිබේද?
අකුරණ තරිඳු ලක්මාල් ප්රශ්නය - සරස්වතී දේවියට අත් සතරක් තියෙන්නේ ඇයි? පිළිතුර- ඇය කලාවේ දෙවඟන ලෙසයි හැඳින්වන්නේ. ඇය දෝතින් වීණාව දරාගෙන සිටියා. එක අතක පුස්කොළ පොතක්. අනිත් අතේ නවගුණ වැල. පුස්කොළ පොතෙන් ප්‍රඥාවත්, නවගුණ වැලෙන් විනය හා ශික්ෂණයත් සංකේතානුරුපී වෙනවා. එසේම ඇය සිටින්නේ නෙළුම් මලක් මතයි. එයින් පාරිශුද්ධත්වය කියාපානවා.
මාකඳුරේ කුසුම් නානායක්කාර ප්රශ්නය - අතුල - සමිතා යුවළ ගයන ‘රෝස පුරාණෙට මධු සඳ පායන දවස අදයි මට දැනුණා’ ගීතය ලියා ඇත්තේ කවුද? පිළිතුර - ජෝජ් රොබ්සන් ද සිල්වා.
කොටුගොඩ යාගොඩමුල්ලේ සුනිල් චන්ද්‍රසේකර ප්රශ්නය - විජේරත්න වරකාගොඩ ගයන ‘යන්නෙම් දක්නා සේ මා සිත් ගත්තා වූ ඒ ලාලනි’ ගීතය වේදිකා නාට්‍යයක ගීයක්ද? චිත්‍රපටයක ගීයක්ද? පිළිතුර - එය ඇතුළත් වුණේ තුංමං හන්දිය චිත්‍රපටයටයි.
මාතලේ ධර්මා ඒකනායක ප්රශ්නය - ‘පොඩි මල්ලියේ’, අකීකරු පුත්‍රයකුගේ ලෝකය’ වැනි පොත් ලියූ පරාක්‍රම කොඩිතුවක්කුත් ‘ජෝති රශ්මි රාත්‍රි’, ‘රෝස මල් රතුයි ප්‍රියේ’ වැනි පොත් ලියන පරාක්‍රම කොඩිතුවක්කුත් එක් කෙනෙක්ද,? දෙන්නෙක්ද? පිළිතුර - එක් කෙනෙක්. ඇයි දෙන්නෙක් වගේද පේන්නේ?
කලවානේ අජිත් මාඉටිපේ ප්රශ්නය - ‘රුවන් අඹර සෙමර සලන’ ගීිතයේ මුල් ගායක - ගායිකාව කවුද? පිළිතුර- ජයතිස්ස හෙට්ටිආරච්චි හා රූපා ඉන්දුමතී බව කියැවෙනවා. 1967 දී පමණ මෙය සරල ගීයක් වශයෙන් ගුවන් විදුලියේ තැටිගත කර තිබෙනවා. (තැටි අංකය ඹ් ඉ 7396) ගීතය මුලින්ම ඇතුළත් වුණේ ලයනල් සී. ද අල්විස් රචනා කළ (දෙහිවල වොලිස් ආයතනය සංවිධානය කළ) වෙසක් නාට්‍යයකට. එය ගැයුවේද ඉහත ගායක ගායිකා යුවළ බව අල්විස් මහතාගේ බිරිඳ රෝසා ද අල්විස් ලිපියකින් තහවුරු කර තිබෙනවා. අප දන්නේ එපමණයි.
ගාල්ලේ සුපුන් වර්ණකුලසූරිය ප්රශ්නය - ජනප්‍රිය හින්දි නළු දිලිප් කුමාර් ගී ගයා තිබේද? පිළිතුර - ‘මුසාෆිර්’ නමැති චිත්‍රපටයට ඔහු ගීයක් ගැයූ බව මා අසා තිබෙනවා.
අත්තනගල්ලේ විමලසේන හපුතන්ත්‍රි ප්රශ්නය - ‘මගේ සිත තැන්පත්ය’ නමින් ගැයෙන ගීතයක් එක්තරා නාළිකාවක දිනපතා උදේට ප්‍රචාරය වෙනවා. මේ ගීතය ගයන ගායිකාව කවුද? පිළිතුර - නාලිනි රණසිංහ. හිටපු ඇමැතිවරයකු වූ සමරවීර වීරවන්නි ලියූ මේ ගීතය සංගීතවත් කළේ ආනන්ද ජයසිංහ.
ඉහළ තල්දූවේ ආනන්ද වික්‍රමආරච්චි ප්රශ්නය - ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මානය ප්‍රතික්ෂේප කළ හින්දි නළු නිළියන් සිටීද? පිළිතුර - වෛජයන්ති මාලා වරක් ප්‍රතික්ෂේප කළා. ඇයට ‘දේව්දාස්’ චිත්‍රපටයේ රංගනය උදෙසා හොඳම සහාය නිළිය සම්මානය ලැබුණා. තමා රඟපෑවේ ප්‍රධාන චරිතයක් බැවින් සහාය නිළි සම්මානය එපා යැයි ඇය කියා සිටියා.
මත්තෙගොඩ අජිත් ජෝතිය කරසිංහ ප්රශ්නය - සී. ඩී. ෆොන්සේකා ගායනා කරන ‘දෑස පුරා සිත නළවන ලතාවයි’ ගීතය ලීවේ කවුද? පිළිතුර - ධර්ම ශ්‍රී කල්දේරා.
අත්තනගල්ලේ විමලසේන හපුතන්ත්‍රි ප්රශ්නය - අතුල හා සමිතා ගයන ‘සද එබෙන්නෙපා තරු සිදුරු වසා’ ගීතයේ පද රචනය කාගේද? පිළිතුර - උපුල් ශාන්ත සන්නස්ගලගේ.
කෑගල්ලේ තටාකය පාරේ තිලකරත්න විල්වල හා මැණිකේ විල්වල ප්රශ්නය - රූපසිංහ මාස්ටර් හා රුක්මණී දේවි ගයන ‘සිරි බුද්ධ ගයා විහාරේ’ ගීතය ලිව්වේ ගිල්බට් මාස්ටර් ද? බෙලිඅත්තේ විජයසිරි වෙද මහතාද? පිළිතුර - උත්තර දෙන්න ටිකක් අමාරු ප්‍රශ්නයක්. මොකද දෙදෙනාගේම නම් කියැවෙනවා. ඒත් විජයසිරි වෙද මහතාගේ පුත් නාට්‍යවේදී ආනන්ද විජේසිරි කියන්නේ එය තම පියා ලියූ බවට සාක්ෂි ඉදිරිපත් කළ හැකි බවයි. මේ අයත් ප්‍රශ්න එවා තිබුණා. මාතර නූපේ දිනේෂ් ගුණසේකර, වැලිගල්ලේ චාන්දනි කුමාර, ඉෂිනි කෞෂිකා, එච්. එම්. විජේතිලක, රන්මුතුගල සරත් ලියනගේ, හික්කඩුව සීනිගම ඊ. දයානන්ද ද සිල්වා, හැඳල වත්තල පාලක සමන් පෙරේරා, ගොඩගම ඩග්ලස් දේද්දුවගේ, වත්තල හේකිත්තේ ලක්ෂ්මන් රණසිංහ, කළුබෝවිල ඥානා කුමාරි පෙරේරා, මරදානේ එච්. පී. සැමුවෙල්, රාගම ටී. එච්. ජී. සිල්වා, ගිරිඋල්ලේ මාලිනි චන්ද්‍රලතා, වත්තේගම එච්. එස්. බී. රූපසිංහ.
ඔබේ ප්‍රශ්න පහත ලිපිනයට යොමු කරන්න ‘සුමිගෙන් අහන්න’ ‘සරසවිය’ ලේක්හවුස්, කොළඹ 10. |