වර්ෂ 2016 ක්වූ මැයි 19 වැනිදා බ්‍රහස්පතින්දා




ඇගේ ඇස අග ගිනිසිළුව රිතික

ඇගේ ඇස අග ගිනිසිළුව රිතිකා

මම සරලයි - ඒ වගේම සාමාන්‍යයි

ඇයගේ නම - රිතිකා කොඩිතුවක්කු.

ඇගෙ ඇස අග සිනමාපටයේ ඇගේ චරිතය - ?

ඇය එහි ප්‍රධාන භූමිකාවකට පණපොවනු ලබයි. චිත්‍රපටය නැරැඹූ ඔබට රිතිකා යනු සම්ප්‍රදායික නොවන තරුණියකැයි සිතෙනු ඇත. ඒ මන්ද යත් ඇය ඇගේ ඇස අග තුළ නිරුපණය කොට ඇත්තේ අභියෝගාත්මක චරිතයක් වන බැවිනි. කවුද මේ රිතිකා. ඇය සිනමාවට ඉතාම ආගන්තුක තරුණියකි. එහෙත් අද වන විට ඇය වඩාත් කතාබහට ලක් වූ චරිතයක් බවට පත්ව ඇත.

* රිතිකා පළමුව ඔබ කතා කළොත් ඇගේ ඇස අගට සම්බන්ධ වූ අන්දම ගැන?

මුලින්ම කියන්න ඕනැ මං නිළියක් නෙවෙයි කියන කාරණය. එහෙම වෙන්න ඕන කියලා හිතාගෙන හිටියෙත් නැහැ. මංජු පෙරේරා සහ අමල් අල්විස් කියන අය තමයි ඇගේ ඇස අග චිත්‍රපටයට මා එකතු කරගන්න මඟ පෙන් වූයේ. ඔවුන් මට අශෝක හඳගමව හඳුන්වා දෙනවා. ඔහු මගෙන් දැන ගත්තේ එකම දෙයයි. ඒ මට රඟපාන්න පුළුවන්ද කියන කාරණය. ඔහු ඒ බව දැනගෙන මට ඇගේ ඇස අග චිත්‍රපටයේ එම චරිතයට කතා කළා.

* මොන වගේ කරුණු කාරණා මතද ඔබ එම චරිතය නිරුපණය කරන්න එකඟ වෙන්නේ?

පළමුව මං පිටපත කියෙව්වා. මට හිතුනා මට ඒ චරිතය රඟපාන්න පුළුවන් වේවි කියලා. ඉතින් එවලෙම මං චිත්‍රපටයට දායකවන්නට කැමැති වුණා.

* චිත්‍රපටයේ ඇති ඔබේ අඩ නිරුවත් දර්ශන පිටපතහි සඳහන්ව තිබුණාද?

ඔව්. මං ඒවා ගැන සියල්ල දැනගෙනයි චරිතය බාර ගත්තේ.

* බය හිතුණේ නැතිද?

ඇත්තට ඒ දර්ශන චිත්‍රපටයට අවශ්‍යයි. බලෙන් ඔබපු ඒවා නෙවෙයි. මට ලැබුණු චරිතය මම හරියට කළා. මට මේ චරිතය අභියෝගයක්. ඒ හින්ද තමයි මම මෙ චරිතය බාර ගත්තේ.

* ඔබේ චරිතයට නමක් නැහැ?

පිටපතහිදී ද නමක් සඳහන්ව තබුණේ නැහැ. නමුත් චිත්‍රපටය නරඹන ඕන කෙනෙකු මගේ චරිතයට නමක් තියන්න පුළුවන්.

* ඔබ ඒ චරිතයට දෙන නම මොකක්ද?

මං රඟපෑ චරිතයට මවිසින්ම නමක් තැබීම එක්තරා අන්දමට අසාධාරණයක්. නරඹන අයට පමණයි ඒ නිදහස තියෙන්නේ.

* ඔබ ගෙදර අයගෙන්වත් අහන්නේ නැතුව මේ චරිිතය බාරගෙන තිබෙනවා. එච්චරටම ඔබ හිතුවක්කාරද?

ඒකට කියන්නේ හිතුවක්කාරකම නෙවෙයි, ස්වාධීනත්වය කියලා. මට ඕන දේවල් කිරීමට මට ඇති අයිිතිය.

* චිත්‍රපටයේ ඔබ අපහසුවෙන් රඟපෑ දර්ශනය මොකක්ද?

එකක්වත් එහෙම දර්ශන නැහැ. සියල්ල මං ඉතා පහසුවෙන් රඟපෑ ඒවා. අපේ ෆිල්ම් එකේ කෲ එක හරිම හොඳයි. ඔවුන් ඉතාම ඉහළ සහයෝගයක් දුන්නා මට රඟපාන්න.

* ඇගේ ඇස අග වගේ චිත්‍රපටයකට ප්‍රේක්ෂකයන් කියන්නේ මොනවාද කියලා ඔබට විමසා බලන්නට හිතිලා නැතිද?

මම එහෙම විශේෂයෙන් හොයලා බලලා නැහැ. නමුත් මට දැනුණ දේ තමයි ඇගේ ඇස අග වගේ චිත්‍රපටයක් ප්‍රේක්ෂකයන්ට අවශ්‍යයි. ඔවුන්ගේ රස වින්දනය වෙනස්ම පැත්තකට මෙමඟින් ගෙනියනවා.

* චිත්‍රපටයක අඩ නිරුවත් චරිත රඟපෑ ඇතැම් නිළියන් අද පේන්නවත් නැහැ. ඔබටත් එහෙම වේවිද?

ඒක මම දන්නේ නැහැ. මං හෙට මේ ක්ෂේත්‍රයේ ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්. හැබැයි ඒක තීරණය කරන්නේ වෙන කවුරුවත් නෙවෙයි මම.

* ඔබ වැනි අභියෝගාත්මක චරිත රඟපාන නිළියන් දෙස ලංකාවේ සමාජය බලන්නේ වපර ඇසින්?

මං හිතන්නේ අපේ මිනිස්සු මීට වඩා බුද්ධිමත් විය යුතුයි. ඇගේ ඇස අග චිත්‍රපටයේ ඉන්නේ මම නෙවෙයි. එක වෙනමම චරිතයක්. ඇයි එහෙම අපේ මිනිස්සුන්ට හිතන්න බැරි. මේ වගේ චිත්‍රපටයක් හොලිවුඩ්වල වගේ නිර්මාණය වුණා නම් ඉතාම ඉහළින් ප්‍රේක්ෂකයා පිළිගනීවි. මේ වන විට යම් මට්ටමකට ලංකාවේ අයත් චිත්‍රපටය නරඹලා තියෙනවා. එහෙම වෙන එක හොඳයි.

* චිත්‍රපටයේ චරිතය ගැන චිත්‍රපටය නරඹපු අය අහද්දී මොකද හිතෙන්නේ?

ඇත්තටම හරිම අපහසුවක් දැනෙනවා. ඇයි ඊළඟට අහන්නේ මොකක්ද කියලා හිතාගන්න බැහැනෙ. චිත්‍රපටයේ මං රඟපෑවා ඉතාම සැහැල්ලුවෙන්. නමුත් ඒ ගැන අහන කොට ඉතාම අපහසුතාවයට පත් වෙනවා.

* ඔබ සිනමාව ගැන හදාරලා තියෙනවාද?

නැහැ. ඒ විතරක් නෙවෙයි මං කලාව වෙනුවෙන් කරපු දෙයකුත් නැහැ.

* ඒ වුණාට ඔබ චිත්‍රපටයක ප්‍රධාන චරිතයකට පණ පෙව්වා නොවේද?

මං කිව්වේ රඟපාන්න කලින් කලාවේ හිටිියේ නැහැ කියන එක.

* රිතිකා කොඩිතුවක්කු කියන්නේ මොන වගේ කෙනෙක්ද?

සරල සාමාන්‍ය ගැහැනු ළමයෙක්.

* එහෙම කෙනෙකුට ඇගේ ඇස අග වගේ චිත්‍රපටයකට දායක වන්නට පුළුවන්ද?

ඇයි බැරි. මං සාමාන්‍ය වන්නේ සාමාන්‍ය ජිවිතයේදී. නමුත් මං ගැහැනිය කියන රාමුවේ කොටු වෙලා නැහැ. ගැහැනිය කියන්නේ මෙන්න මේ වගේ කෙනෙක් කියලා රාමුවක දාලයි ඉන්නේ. ඇයි අපි එහෙම වෙන්නේ කියලා මං ප්‍රශ්නයක් අහන්න කැමැතියි. මං සරලයි, සාමාන්‍යයි. ඒ වුණාට රාමුවක කොටුවෙලා නැහැ. ඒ විතරක් නෙවෙයි, මං නිළියක් නෙවෙයි කියන කාරණය කියන්න ඕනෑ.

* ඒ කියන්නේ ඔබ ආයෙත් රඟපාන්නේ නැතිද?

බලාපොරොත්තු තියාගෙන ජිවත්වීම මගේ සම්ප්‍රදාය නෙවෙයි. හෙට මොකක් වේවිද කියන්න මං දන්නේ නැහැ. හැබැයි මට ආයේ චිත්‍රපටයකට කතා කළොත් මං යනවා. ඒත් මං නිළියක් නෙවෙයි.

* ඇගේ ඇස අග චිත්‍රපටයේ ඔබේ පළමු රංගනය කියා නොසිතු පරිදි ඔබ රඟපානවා. කොහොමද එහෙම වුණේ?

ඒකේ සම්පූර්ණ ක්‍රෙඩිිට් එක මං බාර දෙනවා චිත්‍රපටයේ අධ්‍යක්ෂ අශෝක හඳගම මහත්මයාට. ඔහු තමයි මගෙන් වැඩ ගත්තේ. මං කෙරෙහි තැබූ විශ්වාසයට වඩා ඔහු මං කෙරෙහි විශ්වාස කළා. ඒ විශ්වාසය තමයි මගේ චරිතය ඔතරම්ම හොඳින් ප්‍රේක්ෂකයන්ට ගෙන ආවේ.

* නිරුවත් දර්ශනයන් ඇති චිත්‍රපටයකට ඔබට කතා කළොත්?

මුලින්ම කරන්නේ පිටපත බලන එක. කොයි නිර්මාණයකදී වුණත් මං කරන්නේ පළමුව ඒ වැඩේ. චරිතය මට දැනෙනවා නම් මං රඟපානවා. නිරුවත් දර්ශන තිබෙන චිත්‍රපටයක් සඳහා මට කතා කරන්නට එපා යැයි මං කියන්න ඕනෑ. හොඳ කලා කෘතියකට එකතු වෙන්නයි මට අවශ්‍ය. ඒ කලා කෘතිය තුළ අවශ්‍ය මොන යම් හෝ දර්ශන තිබුණත් චරිතය මට දැනෙනවා නම් මං රඟපානවා.

* ලංකාවේ නිළියන්ට තියෙන තැන ගැන මොකද කියන්න තියෙන්නේ?

අපි අපිම හදාගන්න විදිහට තමයි තැන හැදෙන්නේ. වෙන කවුරුවත් ඒකට බලපෑම් කරන්නේ නැහැනෙ. ඒ ඒ අයට ඕන විදිහට ඒ ඒ අය තැන හදා ගන්නවා. ඒක තමයි මට කියන්න තියෙන්නේ.