වර්ෂ 2016 ක්වූ මැයි 19 වැනිදා බ්‍රහස්පතින්දා




මට දරුවෙක් හම්බවෙන්න යනවා

මට දරුවෙක් හම්බවෙන්න යනවා

ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය ජනපි‍්‍රය චිත්‍රශිල්පී අරවින්දගේ සිතුවමින්

'පුතේ උඹ මහා පින්කමක් කර ගත්තා. ජාති ජාතිත් උඹට පින් අයිති වෙනවා'

අත්තම්මා දුරකතනයෙන් මානවී අමතා කියා සිටි'යාය. අත්තම්මාත් අත්තාත් දඹදිව වන්දනාවේ ගියේ ගිය සතියේය. ඔවුන් අද කුසිනාරාවේය. අත්තම්මා කතා කළේ එහි සිටය. ඇයගේ බිඳුණු හඬ තුළ වූයේ පුදුමාකාර සතුටක් බැව් මානවීට දැනිණ. ඈ කිසිත් පැවසුවේ නැත. ඇයගේ දෑසට කඳුළු උනමින් තිබිණ.

'පුතේ! අත්තා උඹට කතා කරනවා'

අත්තම්මා රිසීවරය අත්තාගේ කනට ඔබනු ඇය නිසොලමන්ව අසා සිටියාය.

අත්තේ'

'අපි එන්න බෑ කියද්දී දූ අපට එන්ඩ සලස්වලා මේ නේත්රා දෙකින් බුදුන් බලන්ඩ දුන්න පිනම උඹට ඇති රත්තරනේ කිරි උතුරන්ඩ. අපි අද සිල් ගත්තා'

අත්තා කියත්ම මානවීට ඉකි ගැසිණි.

'ඇයි? මගෙ පුතේ'

ඔහුගේ කරුණාබර වදන් මානවීගේ හදපත්ලටම කිඳා බැස්සේය.

'නෑ! අත්තේ, මට සන්තෝසෙ උහුලන්නට බැරි වුණා'

මානවී පැවසුවාය. ඇයගේ ඇස් පුරා දිලුණු කඳුළු ගුලියක් කඩා වැටිණ. ඈ වහා එය පිසදා ගත්තාය. කවදාක හෝ දවසක අත්තම්මාත් අත්තාත් දඹදිව වන්දනාවේ යවන්නෙමැයි මානවී පැවසුවේ දෑවුරුද්දකට පමණ පෙරය. මේ දෙවසර ඇතළත ඇය එය ඉෂ්ට කර ගත්තාය. අවුරුද දෙකකට පෙරාතුව ඈ වියළි කලාපයේ ගම්මානයක කවුරුවත් නාඳුනන යුවතියකව සිටියාය. දෙවසරකට පසු ඇය සිය බලාපොරොත්තුව ඉෂ්ට කර ගත්තීය. වසර දෙකකට පසු ඈ ගැන බොහෝ දෙනා දනිති.

මානවීට තම උදරය අතගෑවුණේ නොදැනුවත්වමය. ඇය හූල්ලා වැටිණ. ගත වූ සති කිහිපය ඇතුළත මානවී ගත කළේ අසිහියෙනි. ඇගේ සිරුරෙහි වෙනස්කම් කිහිපයක් ඇයට දැනිණ. ඒ වෙනස්කම් සමඟ කල්ගත කළ නොහැකි තැන ඇය වෛද්‍යවරයකු හමු විය. දොස්තර රංග මගහැරීමට ඇය වග බලා ගත්තාය.

'සුබපැතුම්' අලුත් දොස්තර පැවසුවේය.

ඇගේ හිස ගිනි ගත්තේය. ඈ රෝහලෙන් නික්ම ආවේ අසිහියෙනි. එයින් එළියට බට ඇය සුජිත්ට කතා කළාය. අව් කන්නාඩිය රසිකයන්ගෙන් ඈ රැක දුන්නාය.

'කොහෙද ඉන්නේ?'

සුජිත්ගේ හඬ පැහැදිලි වූයේ නැත. ඈ දෙවන වර එය ඇසුවේ එයට වඩා වේගයෙනි.

'මට ඔයාව ඉක්මනින් හම්බ වෙන්න ඕනෑ, අදම'

මානවී කෑගෑවාය. රෝහල් රථ ගාලේ එක් කෙළවරක ඇගේ රථය අගුළු ලා තිබිණ. ඈ එහි වැද අගුළු ලා ගත්තාය..

'මං දැන් ඉන්නේ යාළුවෙක් එක්ක ගෝල්ෆේස් එක කිට්ටුව'

'මොකද කරන්නේ?'

'පොඩ්ඩක් සෙට් වෙලා ඉන්නේ'

'මට දැන්ම හම්බ වෙන්න ඕනෑ'

'මං ඉවර වෙලා ගෙදර එන්නම්'

'බෑ. මට දැන් හම්බ වෙන්ඩ ඕනෑ'

ඒ කෑගැසුමට ඔහු මෙල්ල වූවා සේය. සුජිත් ඉන්නා තැන පැවසුවේය. මානවී රථ ගාලෙන් රථය එළියට ගත්තේ මහත් ආයාසයෙනි. හිරු අවරට යමින් පැවතිණී. දිවා කළ මඟ අයිනේ ද මහා රථ ගාලයන්ගේ ද, ගොඩනැගිලි පර්වත සෙවණේ ද ගිමන් හරිමින් තිබූ රථවාහන එක පාරට හැන්දැවේ නවාතැන් සොයා යන්නට පටන් ගෙනය. දෙ, තුන්, සිව් රෝද ඇත්තෝ මහ පොළව අරක්ගෙනය. අසිහියෙන් රථය පාරට දමා ගත් මානවී ත්‍රීරෝද රථයක හා මෝටර් සයිකලයක නොවද්දා ගත්තේ අමාරුවෙනි. ත්‍රීරෝද රියැදුරු හිස එළියට දමා කුණුහරුපයක් කියනු මානවිට පෙනිණ. ඈ එය ගණන් නොගෙන රථය ඉදිරියට ගෙන ගියාය.

කොම්පඤ්ඤවීදියේ වට රවුමෙන් වමට හැර වූ රිය ගාලු මුවදොර හරහා කොටුව දෙසට ඉගිල්ලිණ. අනතුරුව එය උත්තුංග ගොඩනැගිලි යායක් මැදින් වූ පටු මාවතකට අවතීර්ණ විය. රථයේ ජංගම දුරකතනය නිසා සුක්කානමට දෑතම යොදවන්නට ඇයට අවසර ලැබිණ.

එම මාවතේ කෙළවර වූ අවන්හලකින් සුජිත් එළියට බැස්සේ ඒ මොහොතේය. රථයේ දොර ඇරිණ. ඔහු එයට රිංගා ගත්තේය.

'මොකද මේ?'

'මං ඉවරයි සුජිත් අයියේ'

මානවීගේ විලාපය ඔහුට සිනහවක් උපදන්නට සමත් විය.

'මොකද මේ?'

ඇ සිය අත් බෑගයේ වූ වෛද්‍ය වාර්තාව ඔහුට ගෙනහැර පෑවේය.

'මට දරුවෙක් හම්බ වෙන්න යනවා'

ඇයගේ ඇස්වල කඳුළු පිරී ඇති වග ඔහු වටහා ගන්නට උත්සාහ කළේය.

'කලබල වෙන්න එපා. අපි කොහොම හරි ගිහින් කතා කරමු'

මානවී රථය ඉදිරියට ගෙන ගියේය. රථය පාර දිගේ හෙමිහිට ඇදිණ. දෙදෙනාම ඊළඟ මොහොත සඳහා කතාව ඉතුරු කොට ගත්හ. ඊළඟට ඇරඹෙන කතාවට නිහැඬියාව පූර්ව සූදානමක් බඳු විය.

ගෝල්ෆේස් හෝටලය ඉදිරිපිට ගාලු මුවදොර පිටිය පැත්තේ ඉඩකඩ ඇති තැනක රථය නතරවිණ.

'අපි මොකද කරන්නේ?'

මානවී ඇසුවාය. ඔහු කිසිත් කියන්නට ගියේ නැත. සාගරයේ කෙළවරෙන් හිරු සැඟව ගත්තේය.

'අපට බඳින්න පුළුවන්ද?'

ඈ යළිත් ඇසුවාය.

'ඒක ඔයාගේ ප්‍රශ්නෙට උත්තරයක් නම් හා'

ඔහු කියන්නට ගිය දේ එකකවරම කියාපෑවේ නැත. ඈ ඔහුගේ කතාව කෙළවර වනතුරු බලා සිටියාය.

'මං හිතුවේ ඔයා පරිස්සම් වෙයි කියලා'

මානවී එකවරම ඔහු දෙස බැලුවේ නොරිස්සුමෙනි.

'ඔව් ඒක නම් මගේ මෝඩකම තමයි. මට පරිස්සම් වෙන්න තිබුණේ අපි මුලින් හම්බුවෙන කොට'

සුජිත් රථයෙන් එළියට බැස එයට හේත්තු විණ. මානවී එළියට බැස්සේ නැත. දරුවකු අත දරා තවත් එකෙකු කුස දරා සිට ගැහැනියක ඔහු වෙතට අත පෑවේය. ඔහු පර්ස් එක ඇද මුදලක් ඈට ලබා දී වහා රථයේ වාඩි වූයේය.

'ඔයාට බය හිතුණද?'

මානවී ඇසුවාය.

'මොකටද?'

'අර ගෑනි වගේ මාත් එහෙම යයි කියලා'

'විකාර කියන්න එපා මානවී. මේක අකමැත්තෙන් වෙච්ච දෙයක් නෙවී. අනික මම පැනලා යන්න හැදුවේ නෑ'

'අනේ සුජිත් අයියේ මම පැනලා යන්න දෙන්නෙත් නෑනේ'

මානවිගේ ස්වරය වෙනස් විය. සුජිත් කිසිත් නොකියා මානවී දෙස බලා සිටියේය. ඇගේ හැසිරීම ඇත්තක්දැයි බොරුවක්දැයි වටහා ගන්නට ඔහු උත්සාහ ගත්තේය.

'ඔයාට පුළුවන්ද මාව බඳින්න

මානවී එකවරම ඇසුවාය. ඇය දෙවන වරටත් ඒ ප්‍රශ්නයම ඇසුවාය.

'අක්කාගේ මංගල්ලේ අත ළඟ. නංගි ඒ ලෙවල් කරනවා. මල්ලිත් එහෙමයි'

මානවී සුසුමක් හෙළුවාය. අනතුරුව ඈ සිනාවක් පෑවාය.

'මං හිිතුවා'

'මොකක්ද?'

'මට අන්තිමට ලැබුණ කැරැක්ටර් එකෙත් ඔය වගේම ඩයලොග් එකක් තිබුණා'

මානවී ළඟ තමා ගොදුරට හසු වූ මී පැටියකු වැනිය. සුජිත්ට සිතිණ. මහත් ආත්මානුකම්පාවක් ඔහු වෙලා ගනිමින් තිබිණ. බාගෙට හදාගෙන යමින් තිබෙන ගමේ නිවස. දෑවැද්දක් සමඟ ගෙදරට නාකි වී යාන්තම් පිළිවෙළක් වන අක්කාගේ මංගල්‍යය ඔහුට මැවී පෙනිණ. තව ටික දවසකින් නිරන්ජන්ගෙන් ඔහු අතමාරුවක් ඉල්ලන්නට සැරසී සිටියේය.

'ඉතින් මොකද කරන්නේ?'

'මට අම්මාට මූණ දෙන්න බෑ. අත්තම්මලා දඹදිව ගිහින්. මේ ආවාම පොළවෙ පස් කයි'

සුජිත් දුරකතනය කිහිප වරක්ම අතට ගෙන එය රථයේ ඩෑෂ් බොඩ් එක මත තට්ටු කළේ තවදුරටත් කල්පනා කරමිනි. අනතුරුව ඔහු යළි රථයෙන් බැස කාටදෝ කතා කරනු මානවී බලා සිටියාය.

ඔහු යළි රථයට නැංගේය.

'දැනට අපි මේක නැති කරමු'

ඔහු කතා කළේ කිසිදු හැඟීමකින් තොරවය.

'ඒක විසඳුමක්ද?'

'වෙන මොකද්ද කරන්නේ? මං වියදම් බලාගන්නං. අපට පුළුවන් නම් බැඳලා ළමයාව හදාගන්න ප්‍රශ්නයක් නෑ'

'ඇයි බැරි?'

'ඔයාට පුළුවන්ද? හරියට ස්ථාවර වෙන්නේ නැතිව මේ කරන ටෙලි ඩ්‍රාමාස් එහෙම එක පාරට අත අරින්න. ආපහු පරණ තැනට යන්න. කාර් එකේ ලීස් එක? නිරන්ජන් අයියගේ ගෙදර?'

'ඔයාට පුළුවන්ද?'

මානවී පෙරළා සුජිත්ගෙන් විතාළාය. ඔහු උත්තර දුන්නේ නැත. නොලද උත්තරයේ වූයේ බැහැ යන්න බව ඇය වටහා ගත්තාය. ඔවුහු පිළිතුරු නොලැබම එදින වෙන්ව ගියහ.

අමමාට එක එල්ලේ මුහුණ දෙන්නට මානවී එදින අසමත් වූවාය.

'මට ඔළුව කැක්කුමයි'

ඈ බැරිම තැන පැවසුවාය. නිර්මලා සුවඳ තෙලක් දියණියගේ හිස ගැල් වූවාය. මානවී රැයක් පුරා අම්මාට හොරෙන් නිදිවැරුවාය. කොට්ටය පිරෙන්නට හැඬුවාය. පසුදා ඈ තීරණයක් ගත්තාය.

තවත් දවසකට පසු මානවී සුජිත් සමඟ නුගේගොඩ හයිලෙවල් පාරේ රෝහලක් ඇතුළට ගියාය. රිය පැද වූයේ සුජිත්ය. ඔහු සියල්ල පිළියෙල කර දී තිබිණ. විදුලි සෝපානයට පිවිසි මානවී සුජිත්ගේ උරහිසට හේත්තු විය. ඔහු ඇගේ හිස අතගෑවාය.

වෛද්‍යවරයා හමු වී ගත කළ කාලය කෙතරම්දැයි ඈ දැන සිටියේ නැත. ‘බය වෙන්ඩ එපා. ඔයගොල්ලන්ගේ ෆීල්ඩ් එකේ ගොඩක් අය මෙතනට එනවා.’ ඇගේ ඇස් දෙකම කඳුළින් පිරිණ. ඒ හිතේ වේදනාවට ද නැතහොත් කයේ වේදනාවටදැයි ඈ නොදත්තාය. නොදැනුවත්වම ඇයට ඇගේ ගැබ පිරිමැදිණ. ගලා ගිය රුධිරය සමඟ වෙන්ව ගිය ජීවිතය එතරම් තමාට බද්ධව තිබිණි යැයි මානවීට එතෙක් හැඟුණේ නැත. ඇය වහා කාමරයට වැද තනිවම ඉකි බින්දාය. ඇය සුජිත්ට අසලටවත් එන්නට දුන්නේ නැත.

අත්තම්මා හා අත්තා දඹදිව සිට පින් දුන්නේ ඒ කඳුළු පිසලා ආපසු එන විටය.

මානවීගේ ජීවිතයේ වැදගත පියවර තුනක් ලබන සතියේ...

මතු සම්බන්ධයි...