වර්ෂ 2016 ක්වූ මැයි 19 වැනිදා බ්‍රහස්පතින්දා




Bollywood

ඓශ් - අභිෂේක් පසුගිය වසන්ත කාලේ

ෙඓශ්වර්යා රායි බච්චන් මේ දවස්වල තමන්ගේ නවතම චිත්‍රපටය ‘සරබ්ජිත්’හි ප්‍රචාරක කටයුතුවල නිරත වෙලා ඉන්නවා. ඒ අතරේ මුම්බායිහි උසස් පාසලකදී ඇය බොහොම නිදහසෙන් යමක් ප්‍රකාශ කළා. ඒ තමන් චිත්‍රපට තෝරා ගැනීමේදි ගත් වැරදි තීරණ ගැන.

ඒ අතරේ ‘ඇල්බේලා’ චිත්‍රපටය ගැනත් සඳහන් කළා. ‘ඇල්බේලා’ කියන්නේ ෙඓශ් අභිෂේක් සමඟින් එකට රඟ පෑ ප්‍රථම චිත්‍රපටය යි. “ඒ චිත්‍රපටයේදී අපි මොකද කරන්නේ කියලාවත් දැනගෙන හිටියේ නැහැ. අපි ඒක කළාද කියලත් පුදුමයි. දැන් නම් ඒක දැනෙන්නේ විහිළු කතාවක් වගේ. මමයි අභිටයි තවමත් ඒක මතක් කරමින් හිනා වෙනවා.” ෙඓෂ් පවසනවා.

ටයිගර් ඉදිරියට

රිතික් රෝෂන්ගේ ‘ක්‍රිෂ්’ට වඩා ‘ද ෆ්ලයින් ජාට්’ චිත්‍රපටය වෙනස් බව ටයිගර් ශ්රොෆ් කියනවා. ‘ද ෆ්ලයින් ජාට්’ චිත්‍රපටයේ ටයිගර් සුපිරි වීර චරිතයකට පණ පොවනවා. මෙතෙක් කල් නිර්මාණය කළ සුපිරි වීර කතාවලින් ‘ද ෆ්ලයින් ජාට්’ බොහෝ සෙයින් වෙනස් බවත් ටයිගර් පවසනවා. ‘ද ෆ්ලයින් ජාට්’ අධ්‍යක්ෂණය කරන්නේ රෙමෝ ඩිසූසා. මෙහි ටයිගර් සමඟින් ජැක්ලින් ෆර්නැන්ඩ්ස් සහ මල්ලව පොර සූරයෙකු වන නේතන් ජෝන්ස් ද රංගනයෙන් එක් වෙනවා.

“‘ද ෆ්ලයින් ජාට්’ අභිෂේක්ගේ ‘ද්‍රෝනා’ වගේවත් රිතික්ගේ ‘ක්‍රිෂ්’ වගේවත් නෙවෙයි. නමුත් ඒ ගැන කතා කරන්න තවම කල් වැඩියි. එහි මගේ චරිතයට තියෙන බලය වෙනස්. ඒ වගේම ‘ක්‍රිෂ්’ටත් ‘ද්‍රෝනා’ටත් වඩා මම තරුණයි.” ටයිගර් පවසනවා. 2014 වසරේ’ හීරෝපන්තී’ චිත්‍රපටයෙන් රංගනයට පිවිස ටයිගර් මේ දිනවල සාර්ථකව තිරගත වන ‘බාගි’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවනවා

‘නට්ස්’ නැතත් රිෂී

රිෂී කපූර් නළුවෙක් වුණත් සමහර චිත්‍රපටවල සංගීතයට විශේෂ ලැදියාවක් දක්වන බව පෙනෙන්න තිබුණා. ඒ වගේම සංගීත භාණ්ඩ වාදනය කරලත් තියෙනවා. ‘කාස්’ චිත්‍රපටයේ රොක් සංගීත ශිල්පියෙකුගේ චරිතය ඔහු අපූරුවට නිරූපණය කළා. චිත්‍රපටවලට තම රංගන දක්ෂතාවය විතරක් සීමා වෙන්න රිෂි ඉඩ දුන්නේ නැහැ.

ඒකට නියම හේතුව හෙළි වුණේ දැන්. රිෂී සංගීත කණ්ඩායමක සාමාජිකයෙක්. ඒ බව දැන ගන්න ලැබුණේ ඔහු අන්තර්ජාලයට මුදාහළ ඡායාරූපයකින්. හැබැයි රිෂි මේ සංගීත කණ්ඩායමේ කටයුතු කළේ පුංචි කාලයේදීයි. එහි නම ’ද නට්ස්’. රිෂී තමයි ඩ්‍රම්ස් වාදකයා. මිහිර්, රාජු හා රාහුල් අනෙකුත් සාමාජිකයන්.

හැබැයි ’ද නට්ස්’ නම් වැඩි කාලයක් පැවතුනේ නැහැ. ඒ වුණත් පසුව රීෂි නම් ගොඩක් ප්‍රසිද්ධ වුණා.

අර්ජුන්ගේ නිහඬ පිළිතුරු

අර්ජුන් කපූර්ට සිනමාවේ තර්ජනයක් තියෙන බව දැනෙන්නේ නැතිලු. හොඳ අධ්‍යක්ෂවරු යටතේ හොඳ නිර්මාණවලට දායක වෙන්න තමන් වාසනාවන්තයි කියලා අර්ජුන් පවසනවා. අර්ජුන් බොලිවුඩයට ඇවිත් දැන් අවුරුදු හතරක්. ‘2 ස්ටේට්’, ‘ගුන්ඩේ’, ‘තෙවාර්’ වැනි චිත්‍රපටවලට ඔහු රංගනයෙන් දායක වුණා.

ඉක්මනට ඇවිත් ඉක්මනට නැති වෙලා යන තරුවක් වෙන්න තමාට උවමනාවක් නැති බව අර්ජුන් පවසනවා. නමුත් වයස අවුරුදු හතළිහ වෙන්න කළින් ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීම තමයි ඔහුගේ බලාපොරොත්තුව. දැන් අර්ජුන්ගේ වයස අවුරුදු තිහක්.

අර්ජුන්ගේ තාත්තා බොනී කපූර් නිෂ්පාදනය කළ ‘තේවර්’ අසාර්ථක වෙන විට තමන් හොඳ නළුවෙක් නෙවෙයි කියූ අයට ‘කී ඇන්ඩ් කා’ චිත්‍රපටයෙන් තමන් කවුද කියා ඔහු නිහඬවම පිළිතුරු දුන්නා.

දරුවන් වෙනුවෙන්  පියවරුන්ගේ සතුට

ටයිගර් ශ්රොෆ් සහ ශ්‍රද්ධා කපූර් ප්‍රධාන චරිත මවන, සජීත් නදියද්වාලා අධ්‍යක්ෂණය කළ ‘බාගි’ චිත්‍රපටය ආදායම් අතින් සාර්ථක වුණා. මේ වෙනුවෙන් පසුගිය දවසක උත්සවයක් සංවිධානය කළා.

මේ උත්සවය සංවිධානය කළේ සජීත් නදියද්වාලා, ජැකි ශ්රොෆ් සමඟින් ශක්ති කපූර්. මෙහි ප්‍රධාන චරිත මවන ටයිගර් ජැකීගේ පුත්‍රයා වගේම ශ්‍රද්ධා, ශක්ති කපූර්ගේ දියණිය. ඉතිං තමන්ගේ දරුවන් ලැබූ සාර්ථකත්වය නිසා මේ තාත්තලා දෙන්නට ඒක සමරන්න හිතිලා.

දැන් හැමෝම කියන්නේ ටයිගර් සහ ශ්‍රද්ධා බොලිවුඩය වෙනුවෙන් බලාපොරොත්තු තියා ගන්න පුළුවන් තරු යුවළක් කියලයි. ‘බාගි’ චිත්‍රපටය ඉන්දියාවේ ප්‍රදර්ශනයෙන් දින දහයක් ඇතුළත ඉන්දීය රුපියල් කෝටි හැත්තෑවක ආදායමක් වාර්තා කළා.

ඔම් පූරි වැටිලා

ජනප්‍රිය බොලිවුඩ් නළු ඕම් පූරි බෝපාල්හි රූගත කිරීමකදී සිදු වුණ අනතුරක් නිසා විවේක ගන්න සිදු වෙලා. රූගත කිරීමක් අතරතුර පය ලෙස්සා ගොස් වැටීම නිසා තමයි ඔහුට විවේක ගන්න සිදු වෙලා තියෙන්නේ. කොහොම වුණත් වෛද්‍යවරුන් පවසා ඇත්තේ තව දවස් දහයකින් ඔහුගේ තත්ත්වය සුව අතට හැරෙනු ඇති බවයි.

පසුගිය ජනවාරි මාසයේදී ඔහු පාකිස්තානු චිත්‍රපටයකටත් දායක වුණා. මේ දිනවල ලොව පුරා ලොකු ජනප්‍රියත්වයක් ගෙන සිටින ‘ද ජන්ගල් බුක්’ චිත්‍රපටය හින්දි භාෂාවෙන් හඬ කැවීමේදී බගිරා නම් චීටාට හඬ කවා තියෙන්නෙත් ඕම් පූරි. මීට මාස කිහිපයකට පෙර ලංකාවට පැමිණි ගමනේදී ‘සරසවිය’යේ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙන්නත් ඔහු අමතක කළේ නැහැ.