වර්ෂ 2016 ක්වූ මැයි 19 වැනිදා බ්‍රහස්පතින්දා




දැකලා පුරුදු සිනමාවක් ගැන කතාවක්

දැකලා පුරුදු සිනමාවක් ගැන කතාවක්

හෝ ගානා පොකුණ මෙවර දෙරණ සිනමා සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටය හා ජනප්‍රිය චිත්‍රපටය යන සම්මාන දවිත්වයම දිනා ගත්තේය. එය තවමත් එනම් දින එකසිය විස්සක් ඉක්මවා පැල් බැඳගෙන තිරගත වන චිත්‍රපටයකි. හෝ ගානා පොකුණට පසුගිය දෙසම්බර් 11 වැනිදා මුලින්ම ඉඩ ලැබුණේ ජනවාරි 21 වෙනිදා තෙක් තිරගතවීමටය. එනම් ගැප් රිලීස් එකකටය. අනතුරුව 'පත්තිනි' තිරගතවීමට නියමිතව තිබිණි. අන්තිමට පත්තිනි තවත් මාස ගණනක් කල් ඇදිණ. ඒ හෝ ගානා පොකුණ අධි සාර්ථවීමත් සමඟය. ඇදී ඇදී ගිය මුල් සති දෙක තුන කොයි හැටි වෙතත් ඊළඟ මාස කිහිපය වන විට හෝ ගානා පොකුණ නැරැඹීම විලාසිතාවක් විය. වසර ගණනාවකට පසු සිංහල චිත්‍රපටයක් පිළිබඳ බස් නැවතුමේ, කාර්යාල ඇතුළත මහත් අභිරුචියෙන් එකිනෙකා හා කතා කරනු ඇසුණේ හෝ ගානා පොකුණ සමඟය. එය ටෙලිවිෂන විකාශයේ හා ඩීවීඩී ය බ්ලූරේ ආදියෙන් උපයා ගත හැකි ආදායම විශාල එකකි. තවමත් එලෙස හෝ ගානා පොකුණ එළි දැක නැත.

මෙවර දෙරණ සිනමා උලෙළේද බොහෝ සිනමා කරුවන්ගේ මැසිවිල්ල වූයේ ලාංකික සිනමාව අත් පත් කර ගෙන ඇතැයි සැලකෙන ඉරණම පිළිබඳවය. එබැවින් සම්මාන උලෙළ පුරා කාගේ කාගේත් කතාබහෙන් සිනමාවේ අනාගතය පිළිබඳ අවිනිශ්චිත හැඟීමකින් පෙළෙණ වගක් පෙනිණ. එහිදී වඩාත්ම අර්ථාන්විත ප්‍රකාශය කරන ලද්දේ අප හිතවත් කමල් අද්දරආරච්චිය. ඒ ලාංකික සිනමාවට බිස්නස් ලයින් එකක් නැති වගය. සහතික ඇත්ත කතාවද එයයි.

හෝ ගානා පොකුණ මවිසින් නරඹන්නට යෙදුණේ 2014 වසරේ ඉන්දියානු අන්තර් ජාතික උලෙළේදීය. එම චිත්‍රපටය නරඹා වසඟයට පත් වූවන් අතර මා මෙන්ම විදේශිකයන් ද බොහොමයකි. එහෙත් ඒ වන විටත් එය ලංකාවේ තිරගත වනුයේ කවදාදැයි එහි අධ්‍යක්ෂ ඉන්දික ෆ්ර්ඩිනැන්ඩු දැන සිටියේ නැත. අවසානයේ 2015 වසරේ මුල එහි පූර්ව ප්‍රචාරකපටය නිකුත් විය. අගෝස්තු නිවාඩුවේ චිත්‍රපටය තිරගත වන බව එයින් කියැවිණ. චිත්‍රපටය පැමිණියේ අගෝස්තුවේ නොව දෙසැම්බරයේය. ඒ අපේ රටේය. එහෙත් ෂාරුක් ඛාන් රඟන ෆෑන් චිත්‍රපටය හෝ මීළඟට තිරගත වන එක්ස්මන් චිත්‍රපටය ලංකාවේ තිරගත වනුයේ කවදාදැයි එතෙර සිටින නිෂ්පාදකවරු සැලසුම් කරනුයේ නිෂ්පාදනයේදීමය. ඔවුන් පූර්ව ප්‍රචාරක පටය තනන්නේ ඒ අනුවය. අපේ චිත්‍රපටයක් හදා නිම කොට තිරගත කරන දවස කවදාදැයි නිෂ්පාදක දන්නේ නැත. ප්‍රදර්ශකයා දන්නේ ද නැත. ප්‍රේක්ෂකයා සොයන්නේ ද නැත. එහෙත් වර්තමානයේ තමාගේ සිත්ගත් විදෙස් චිත්‍රපටය තිරගත වන්නේ කවදාදැයි මෙරට යොවුන් සිනමා ප්‍රේක්ෂකයා දනිති.

චිත්‍රපට ව්‍යාපාරය සම්බන්ධයෙන් හොඳම සහ නරකම වගකීම සිදු කරන ලද්දේ ජාතික චිත්‍රපට සංස්ථාවයි. මෙරටදී රැඟුම් පාලක මණ්ඩලය අනුමත කරනු ලබන හැම චිත්‍රපටයක්ම ප්‍රමිතියකින් තොරව තිරගත කිරීමට සංස්ථාව ආරම්භයේ සිට වග බලා ගත්හ. ඔවුහු වගකියන ලද්දේ නිෂ්පාදකවරුන්ටය. එහි හොඳ නම් නිෂ්පාදකවරයා ආරක්ෂාවීමය. නරක නම් ප්‍රේක්ෂකයා සිනමාවෙන් ඈත්වීමය. ලාංකික චිත්‍රපට නිෂ්පාදක නාමයෙන් සිටින බොහෝ දෙනා ආයෝජකයන් විනා නිෂ්පාදකයන් නොවේ. ඔවුන් චිත්‍රපටයක් සඳහා ආයෝජනය කොට ලාභ ලැබුව ද සමහර විට දෙවැනි චිත්‍රපටයට යොමු වනුයේ කලාතුරකිනි. එහෙත් සැබෑ නිෂ්පාදකවරයා යනු අධ්‍යක්ෂවරයාගේ සිට තේමාව, තිරගත කරවන දිනය හා ප්‍රේක්ෂකයා දක්වා වටහා ගන්නෙකි. මෙරට වෘත්තීය නිෂ්පාදකවරුන් නොමැති වීම නිසා ඇතැම් අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රතිභාව ද මැකී ගියේය. බොහෝ නිෂ්පාදකවරුන් චිත්‍රපට යනුවෙන් මොකක් හරි අටවා සිනමාහල් තුළට ගෙන ආහ. මේ ඇතැම් චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා සිනමාහල් හිමියන්ගේ ද කැමැත්තක් නොවීය. මෙයට වසර ගණනාවකට පෙර චිත්‍රපට සංස්ථාව ප්‍රදර්ශන ඒකාධිකාරය පවතිද්දී සෑම අඟහරුවාදාවකම සංස්ථාව ඉදිරිපිට මහත් අරගලයක් විය. ඒ සිනමා ශාලා හිමියන් හා නිෂ්පාදකයන් අතරය. සිනමා ශාලා හිමියන් නොදුවන චිත්‍රපට ගලවා දමා වැඩි ලාභදායී චිත්‍රපට ලබා ගැනීමට අරගල කළ අතර, නිෂ්පාදකවරු අඩුම ගණනේ තමන්ගේ චිත්‍රපට තවත් වැඩිපුර දවසක් හෝ තිරගත කරවීමට සැලසුම් කළහ. ජරාජීර්ණ වූ සිනමා ශාලාවල තිරගත වූ කබල් චිත්‍රපට නරඹන්නට ප්‍රේක්ෂකයන් එකඟ කරවා ගත නොහැකිය.

පසුගිය කාලය ඇතුළත මෙම තත්ත්වය වෙනස්ව ගියේය. එය මෙරටට පමණක් සීමා වූවක් නොවීය. ලෝකයේම සිනමාව පිළිබඳ සිතන පතන ආකාරය වෙනස් විය. සිනමාහලට හිමි තැන වීඩියෝවට, ඩී. වී. ඩී. යන්ත්‍රයට, හෝම් තියටර්වලට පමණක් නොව ස්මාට් ටෙලිවිෂනය, හෑන්ඩ්ෆෝනය ද ලබා ගත්තේය. තවදුරටත් බස් රියක් එනතුරු කාලය මැරීමට පුවත්පතක්, පොතක් කියවනු වෙනුවට එතැනම වාඩි වී චිත්‍රපටයක් නැරැඹීමේ යුගයක් උදාව ඇත්තේය. සිනමාව නිවසට පැමිණියේය. එය මහා පරිමාණ ව්‍යාපාරයක් විණ. සිල්ලර වෙළඳාමක් නොවීය. කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් පලක් වන්නේ නැත. වෙනස් වන්නට නොහැකි වූ ඩයිනෝසෝරයන් ද මිහිමතෙන් වඳ වී ගිය වග අප අමතක කළ යුතු නැත. කඩමණ්ඩියේ වැජඹුණු අනාදිමත් කාලයක සිට හිතවත්ව තිබූ සිල්ලර කඩය තිබියදී ඒ අසලින් සුපර් මාර්කට් ගොඩනැඟිණි. සිල්ලර කඩේ මුදලාලි දන්නා හඳුනනවා වුව ද සුපර් මාර්කට් සංකල්පය අප වෙළා ගත්තේය. ලෝක සිනමාවේ සිදු වනුයේ ද එයයි. එහිදී සිල්ලර කඩයට පවතින්නට අවශ්‍ය නම් පැරැණි සම්ප්‍රදායේ රැඳී සිටින්නට හැකි වන්නේ නැත. එයට සුපර් මාර්කට් එකක් වන්නට ද නොහැක. හෝ ගානා පොකුණ අති සාර්ථක වනුයේ ද, අපේ සිනමාවේ අනාගතය පවතිනුයේ ද මෙකී සිල්ලර කඩ හා සුපර් මාර්කට් න්‍යාය හරහාය.

පසුගිය වසරේ මෙරට තිරගත කළ දේශීය චිත්‍රපට සංඛ්‍යාව 23 කි. මේ චිත්‍රපට 23 ම නැරැඹුවෙකුට ලාංකික සිනමාවේ අර්බුදය කවරේදැයි වටහා ගැනීම අපහසු නැත. මෝටර් රථයේ පවා බ්ලුරේ හෝ ඩී වී ඩී යන්ත්‍ර ද වර්තමානයේ සුලබ කරුණකි. සාමාන්‍ය මැද පන්ති නිවාසයන්ගේ සාලය සරසනුයේ ගෘහස්ථ සිනමා උපකරණයන්ය. තරුණ තරුණියන්ගේ ඩෙස්ක්ටොප්, ලැප්ටොප් ටැබ් පමණක් නොව ජංගම දුරකතන ද පුරවා ඇත්තේ ලෝකයේ සුපිරි චිත්‍රපට පිටපත්වලිනි. මේ තරුණයන් සිනමා ශාලාවට ගෙන එන්නට නම් එයට වඩා නිර්මාණ බිහි විය යුතුය. ඒ හා සාපේක්ෂව බිහි වූ බහුතර තරුණ පරම්පරාවේ සිනමාකරුවන් බහුතරය පැරැණි සිල්ලර කඩ න්‍යායෙන් බැහැර වූවන්ය. ඔවුන් ලෝකයේ විපර්යාසයන් තම සිතින් හඳුනා ගැනීමට සමත්ය. ඔවුන් සඳහා කුඩා වෙළඳපොලක් සිනමා ශාලා හරහා ගොඩ නැංවීම මූලික විය යුතුය. එය ඔවුනට අනාගතයේ යැපෙන්නට හෝ රැකවරණය ලබන්නට ප්‍රමාණවත් වන්නේ නැත. වර්තමාන ප්‍රේක්ෂකයා චිත්‍රපට නරඹන්නට සිනමා ශාලා ඉදිරියේ පොර කන යුගය අද අවසන්ය. ඔන් ලයින් ක්‍රමයට ප්‍රවේශ පත්‍රය මිලදී ගන්නා ඔවුහු තමන් කැමැති අසුන ශාලාවේ වෙන් කර ගනි. අසුන් ගන්නා ආසනය ශාලාවට ඇතුළුවන්නටත් පෙරාතුව ඔවුහු දනිති. සිනමාව ගනුදෙනු කළ යුත්තේ එම පරම්පරාව සමඟය.

එහිදී දේශීය සිනමාවට රැකවරණයක් ඇවැසි බව අනිවාර්ය කරුණකි. එහෙත් එම රැකවරණය සකසා ගත යුත්තේ අනුන් විසින් නොවේ. එය බලහත්කාරයෙන් කළ හැක්කක් ද නොවේ. පසුගිය වකවානුවේ දේශීය සිනමා යාන්ත්‍රණය රැක ගැනීමට කළ මහත් උත්සාහයේ ප්‍රතිඵලය වූයේ චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකයන් එයින් මිදීයාමය. ලංකාවේ චිත්‍රපට කර්මාන්තය පිළිබඳ අඬා වැටෙන කී දෙනෙක් පසුගිය වසරේ තනන ලද චිත්‍රපට අතරින් කියක් නරඹන්නට සිනමා ශාලා කරා ගියා ද යන ගැටළුවට හෘද සාක්ෂියට එකඟව පිළිතුරු දිය යුතුය. මේ බහුතරයක් ගිය වසරේ චිත්‍රපට නැරැඹුවේ නැත. සාමාන්‍ය ප්‍රේක්ෂකයන් පසෙක දැමිය යුතුය. අවම වශයෙන් අදාළ චිත්‍රපටයට දායක වූවන් කී දෙනෙක් තම චිත්‍රපටය නැරැඹුවේ ද යන ගැටලුවට පිළිතුර දිය යුතුය. සිනමාව යනු කලාවකි. එමෙන්ම එය දැවැන්ත ව්‍යාපාරයකි. එය ලොව මිල අධිකම කලාව යැයි පවසන්නේ එයට ආයෝජනය කරන විශාල මුදල් ප්‍රමාණය නිසාය. චිත්‍රපට නිෂ්පාදනයේ සිට බෙදා හැරීම දක්වා දැවැන්ත ආයෝජකයන් එයට මුල් වන්නේ එයට ඉල්ලුමක් මෙන්ම වෙළඳපොලක් ද පවතින බැවිනි. මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රයේ අංක එකේ ආයෝජකයන් කී දෙනෙකු දේශීය චිත්‍රපට කර්මාන්තයට ආයෝජනය කර ඇත්ද? මෙරට කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සිනමා සමාගම් ගණන කීයද? මේ සියල්ලටම ඇත්තේ ඉතා සරල පිළිතුර නැත යන්නය. දේශීය චිත්‍රපටයක් තිරගත කරවීමේ නිශ්චිත ක්‍රමවේදය කඩා වැටෙන්නට පටන් ගත්තේ එය අනවබෝධයෙන් කටයුතු කළ ජාවාරමක් බවට පත්වීමෙනි. ජවාරම් මඟින් මුදල් ඉපයීම හා ව්‍යාපාර මඟින් ලාභ ඉපයීම යනු එකක් නොවේ. දෙකකි. මෙරට සිනමා කර්මාන්තය ව්‍යාපාරික ලක්ෂණ අතහැරියේ අසූව දශකය ආරම්භයේදීමය. වරින් වර ඉඳහිට ආදායම් උපයන චිත්‍රපටයක් දැක පමණින් සිනමාවේ සශ්‍රීකත්වය පිළිබඳ ඔවුහු උදම් ඇනූහ. එම තාවකාලික ස්වයං වින්දනය මත සමස්ත සිනමාවේම කඩා වැටීම ලියැ වී තිබිණි. නූතන පරම්පරාව ලාංකික චිත්‍රපට ග්‍රහණය කර ගත්තේ ඔවුන් පහසුවෙන් සොයා ගත්තේ බොලිවුඩ් හා හොලිවුඩ් ෆැක්ටරි හරහා එළිදකින දැවැන්ත සිනමාවය. අලුත් පරම්පරාවට කතා කරන්නට, තර්ක කරන්නට, ආශ්වාදය විඳින්නට සුදුසු සිනමාව අහිමි වූයේ තුට්ටු දෙකේ අශ්වයා රැගෙන ගඟෙන් පනින ජවාරම් සමඟය.

සිනමා ශාලා ඩිජිටල් තාක්ෂණය පිළිබඳ කතා කිරීම සමස්ත සිනමා ක්‍රියා පද්ධතියේ එක කොටසකි. ලෝකය ඩිජිටල් තාක්ෂණය ගොනු කර ගන්නේ පරිපූර්ණ සිනමා අත්දැකීමක් ප්‍රේක්ෂකයාට ගෙන ලාභ ඉපයීමටය. මෙරට එය භාවිත කරනුයේ ලාභයට වැඩ ඉවර කරන්නටය. ඩිජිටල් තාක්ෂණය සමඟ සිනමා කැමරාව දරුවන් අත පෑන් පැන්සල් ගානට පරිවර්තනය විය. එය හොයා යා යුත්තේ විකල්ප වෙළෙඳපොලවල් සොයමිනි. මේ අතර ඇති අලුත්ම මතය නම් පැරැණි පරම්පරාව අලුත් පරම්පරාවට මාවතක් නොසෑදීමේ වරදයි. කවුරුවත් කිසිවකුට පාරවල් තනා දෙන්නේ නැත. පැරැණි පරම්පරාවේ අත්දැකීම් වලට වඩා සහමුලින් වෙනස් නැවුම් මාවතක් වර්තමානයේ බිහිව ඇත්තේය. එම යාන්ත්‍රණයට දේශ සීමාවන් නැත. වෙනත් සංස්කෘතික තහංචි නැත. කොටින්ම එය පැරැණි සිනමාවේ දැකලා පුරුදු කෙනෙක් නොවේ. අලුත්ය. එම සිනමාවට ඉඩකඩක් ඇත්තේය. මලිත් හෑගොඩ, සමීර රංගන, කල්පන හා වින්දන ආරියවංශ, ප්‍රියන්ත කළුආරච්චි උපාලි ගම්ලත්, රොහාන් පෙරේරා ආදීන් ගොඩ නැඟෙන්නට වෙර දැරිය යුත්තේ මේ සුපර් මාර්කට් හරහාය. එවිට ඔවුන්ගේ ලෝකය 'දැකලා පුරුදු එකක්' වනු ඇත. අපට හෙටක් ඇත්තේ එතැනය.