වර්ෂ 2016 ක්වූ මැයි 19 වැනිදා බ්‍රහස්පතින්දා




අලුත් සභාපතිගෙන් දෝස්මුරයක්

අලුත් සභාපතිගෙන් දෝස්මුරයක්

එඩ්වින් ආරියදාස මහතා විසින් 'ඩේලි නිව්ස්' පත්‍රයට ලියන ලද ලිපිය පළවීමෙන් පසු, ප්‍රවීණ ලේඛකයන් කිහිප දෙනෙක්ම තම පොත් කවර මා ලවා නිර්මාණය කර ගැනීමට උත්සුක වූහ. දිනක් ප්‍රකට නවකතා කතුවරයකු හා නාට්‍ය නිෂ්පාදකවරයකු වූ ආර්. ආර්. සමරකෝන් දුරකතනයෙන් මා ඇමතීය. මේ වන විට සමරකෝන් ලියූ 'ගේ කුරුල්ලෝ' නවකතාවේ පිට කවරය මා විසින් නිර්මාණය කර තිබුණි.

'රංජිත්, අද මට ගුණදාස අමරසේකර ලන්ඩන්වල ඉඳලා කතා කළා. ඔයා ගැන ඇහැව්වා. එයා 'ඩේලි නිවුස්' පත්‍රයේ ගිය ආටිකල් එක කියවලා. ළඟදී ලංකාවට එනවා. එතකොට එයාගේ අලුත්ම පොතේ පිට කවරය ගැන ඔයා එක්ක කතා කරමු කිව්වා.'

ගුණදාස අමරසේකර මගේ ප්‍රියතම නවකතාකරුවකු වන අතර ඔහුගේ සියලු පොත් කියවා එකතු කර තිබුණි. එහෙත් ජීවමානව දැක තිබුණේ නැත. ඔහු හමුවීමත් භාග්‍යයක් කොට මම සැලකුවෙමි.

'අද දවල් අපි දෙන්නට දවල් කෑමට ගුණදාස අමරසේකර ගෙදරට ආරාධනා කළා. රංජිත් අපේ කන්තෝරුවට දවල් 12 ට විතර එන්න.' සති දෙකකට පසු සමරකෝන් දුරකතනයෙන් මට කීය.

අමරසේකර නැවතී සිටියේ වෝඩ් පෙදෙසේ විජයරාම පාර හැරෙන තැන දෙමහල් නිවසකය. දිවා භෝජන ගන්නා අතර, අමරසේකර තම අලුත්ම පොත ගැන කතා කළේය.

'මේක මගේ පළමුවැනි නාට්‍ය පොත. නම 'පවුර පදනම්'ය. මට පිට කවරය රංජිත් ලවා කරගන්න ඕනෑ. මම කතාව කියන්නම්.' අමරසේකර කතාව කියන්නට විය.

'ගුණසේනලා පොත ගහන්නේ. ඒකේ පබ්ලිෂිං මැනේජ් ලාල් ප්‍රේමනාත් ද මැල් අඳුනනවද?' ඔහු ඇසීය.

'ඔව්'

'එයාගෙන් පොතේ සයිස් එක අහල පිට කවරය එයාටම දෙන්න.' ඔහු යළිත් කීවේය.

අමරසේකරගේ මේ හමුවීම මගේ ජීවිතයේ සුවිශේෂ අවස්ථාවකි. ඔහුගේ 'කරුමක්කාරයෝ' නවකතාවේ අලුත් මුද්‍රණ දෙකකම පිට කවර ඇඳීමට මට අවස්ථාව ලැබිණ.

'ඩේලි නිව්ස්' පත්‍රයේ ලිපිය පළ වී දින දෙක තුනකින් පමණ මා ලේක්හවුසියේ පඩි පෙළ නඟිමින් සිටි අතර සභාපති රංජිත් විජයවර්ධන මහතා පඩි පෙළ දිගේ පහළට එමින් සිටියේය.

'මම අර ආටිකල් එක කියෙව්වා. හවස මාව ඇවිත් හමුවෙන්න.' විජයවර්ධන මහතා සිනාසෙමින් කිවේය.

හවස ඒ මහතා තම කාමරයට කැඳවා මට සුබපැතීය. කර්තෘ මණ්ඩල ප්‍රධාන පරිපාලන නිලධාරි අයිරා අමරසේකර ද එහි සිටියේය. මගෙන් තොරතුරු ඇසූ විජයවර්ධන මහතා සරසවිය කර්තෘටත් මේ ගැන කියන බව සඳහන් කළේය. 'ඔබතුමාගේ කරුණාවට ස්තූතියි' කී මම නැවත පැමිණ මෙම හමුවීම සෝමවීර සේනානායකට පමණක් කීවෙමි.

1970 එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් වීමෙන් පසු ලේක්හවුස් පාලන අධිකාරිය සරසවිය සම්මාන උලෙළ නොපැවැත් වීය. අන්තිම වරට එය පැවැත් වූයේ 1970 වසරේ මාර්තු 20 දා කොළඹ රාජකීය විද්‍යාලයේ නව නගර ශාලාවේදීය. 1973 වර්ෂයේ ලේක්හවුසිය රජයට පවරා ගත් දිනය මට අද මෙන් මතකය. එදින සේවකයෝ වැල නොකැඩී සභාපතිතුමාගේ කාමරයට අඬ අඬා එතුමාට 'ආයුබීවන්' කීහ. මා ද ඒ පිටුපස කාමරයට ඇතුළු වූයේ කඳුළු පිරි දෙනෙතිනි. කිසිදු අසන්තෝෂයකින් තොරව, කලබලයෙන් තොරව සැමට 'ආයුබෝවන්' කී විජයවර්ධන මහතා අවසන් වරට ලේක්හවුස් පඩි පෙළ බැස තම මෝටර් රථයට යන තුරුම ඔහු පිටුපස කඳුළු පිරි දෙනෙතින් ගිය විශාල සේවක පිරිසට මම ද එක් වුණෙමි.

සුපුරුදු අව්‍යාජ සිනහ රැල්ලකින් අපට අත වනා ඔහු තම මෝටර් රථයේ පිටපස අසුනට බර දුන්නේය. 'සරසවිය' පත්‍රයේ නිර්මාතෘ රංජිත් විජයවර්ධන මහතාය. 'සරසවිය' පත්‍රයේ ආරම්භක කර්තෘ මීමන ප්‍රේමතිලකය. මීමන 1965 ලියූ 'මගේ ප්‍රේමය, කලාව හා ජීවිතය' නම් ග්‍රන්ථයේ ඔහු මෙසේ සඳහන් කොට තිබුණි.

'සරසවිය රංජිත් විජයවර්ධන මහතාගේ අදහසක ප්‍රතිඵලයකි. එහි කර්තෘ පදවියට මා තෝරා ගනු ලැබීය. මට සහායකයකු වශයෙන් විමලසිරි පෙරේරා තෝරා ගන්නා ලදී. නැකතට පළමුවැනි අත් පිටපත වර්ණ සයෝජකයින්ට යැව්වේ මා නමුත් 'සරසවිය' සම්පූර්ණයෙන්ම පිට කළේ විමලසිරි පෙරේරාය.

රංජිත් විජයවර්ධන මහතා මා කැඳවා මෙසේ ප්‍රශ්න කළේය.

'සරසවියේ පියා ඔබයි. විමලසිරි ගැන හිතන්නේ මොකක්ද?'

'විමලසිරි සරසවියේ ප්‍රධාන කර්තෘ හැටියට පත් කරන්නට තිබුණේ මීට ඉහතදීයි.' මම කීවෙමි.

ඒ අනුව සරසවියේ ප්‍රධාන කර්තෘ විමලසිරි පෙරේරාය. '

ප්‍රකට කෙටි කතාකරුවකු වු අජිත් තිලකසේනයන් මා හඳුනන්නේ කුඩා කල සිටය. මා කලක් කොළඹ කේරි විද්‍යාලයේ උගන්නා කාලේ අපේ පන්ති භාර ගුරුවරයා වූයේ ඔහුය. එකල අපි විවේක කාලයේ තීන්ත පෑන්වලින් තීන්ත ඉසිමින් සිසුන් සමඟ සෙල්ලම් කළෙමු. අපේ කමිස තීන්තවලින් නැහැවෙන තරමටම මේ සෙල්ලම ලෙල්ලම වූ අවස්ථා ද තිබුණි. මේ අත්දැකීම් කැටි කොට 1960 වසරේ අජිත් තිලකයන් 'සතුරෝ' නමින් කෙටි කතා සංග්‍රහයක් ලියා තිබුණි. මේ කෙටි කතා සංග්‍රහයේ එන 'පියසෝම කොච්චර හොඳ ළමයෙක්ද?' කෙටි කතාවේ එන දඟකාර එක් ළමයෙකි මම.

මා ලේක්හවුසියට බැඳුණු පසු අජිත් තිලකසේනයන් තම අලුත් කෙටි කතා පොතක් නිකුත් වූ විට මා සොයා එහි එයි. ඒ එන බොහෝ අවස්ථාවල ඔහු අලුත කිය වූ ඉංග්‍රීසි කෙටිකතා, නවකතා හා නව විචාර ග්‍රන්ථ ගැන විෂ්ලේෂණයක් මට කීමට අමතක නොකරයි. ඒ අතර 'සිළුමිණ' විශේෂාංග කර්තෘ බෙනඩික්ට් දොඩම්පේගම හමු වී කතාබස් කරයි. අජිත් බස ගැනත් කලා කෘති ගැනත් පළ කළේ විප්ලවවාදී ආකල්පයකි. සම්මතයට පටහැනි දේ ඇසීමට එකල මම ප්‍රිය කළෙමි.

'සර් අපි මේ අදහස් ටික දාලා හොඳ විශේෂාංගයක් 'සරසවිය'ට කරමු.'

ඔහු එයට එකඟ විය.

1973 වසරේ ලේක්හවුසියේ වෙනස්කම් සමඟ අලුත් සභාපතිවරයකු පත් කරන ලදී. අධිනීතිඥ ඒ. කේ. පේ‍්‍රමදාස මහතාය ඒ. ගෙවල් කුලී පිළිබඳ නඩුවලට චිර ප්‍රසිද්ධියක් ලද ඔහු ඒ සම්බන්ධයෙන් කතා කළ සෑම නඩුවකින් ජය ලබා දීම ගැන එකල වැඩිහිටියන් කතා කරනු මා අසා තිබුණි. මා කුඩා කල අප නිවස පිළිබඳ අසීරු නඩුවකට පෙනී සිට ඔහු අපට ජය ලබා දුන් අයුරු තාත්තා උදාරම් ලෙස හිතවතුන්ට කියනු මා අසා ඇත. ලේක්හවුසියේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ලෙස ධර්මසිරි ජයකොඩි ද, දිනමිණ කර්තෘ ලෙස ටී. බී. පෙරමුණේ තිලක ද, සිළුමිණ, නවයුගය හා සරසවිය පුවත්පත්වල කර්තෘ ලෙස විමලසිරි පෙරේරා ද පත් කරනු ලැබීය. ටික කලකින් ඇස්. සුබසිංහට 'නවයුගය' භාර විය. විමලවීර පෙරේරා, කුමාරසිරි දයානන්ද, ධර්මසිරි ගමගේ, කරුණාරත්න සපුතන්ත්‍රි, නිමල් පිටිපන, උපාලි රූපසිංහ, ගුණසෝම සමරසිංහ ආදී පත්‍ර කලාවේදීන් එවර ලේක්හවුසියට එක් වූහ.

1973 වසරේ තදබල ලෙස 'කලාව ජනතාව' සඳහා යන සංකල්පය ජනතාවාදය සහ සමාජවාදී යථාර්ථවාදය මත ලියැවුණු සාහිත්‍ය ව්‍යාපාරයක් ලේක්හවුසිය තුළ අරක් ගත්තේය. ගුණසේන විතාන, ඒ. වී. සුරවීර, කරුණාසේන ජයලත්, සයිමන් ඌරුගොඩ වත්ත, සුගතමුණි ඥානසිරි, ඔරුවල බන්දු ආදීන් මේ මතය තහවරු කරමින් ලිපි සම්පාදනය කළේය. මෙවැනි පසුබිමක් යටතේ මේ මතයට පටහැණි මත දැරූ අජිත් තිලකසේන නිතර නිතර මාත්, කුලරත්න ආරියවංශත් හමු වී සාකච්ඡා කළේය.

මා ඔහු කියූ දේ ලියා 'කලා කෘතියක තේරුම කුමක්ද' නමින් ලිපියක් ලියා එය මුලින්ම බෙනඩික්ට් දොඩම්පේගමට පෙන්නුවෙමි. එය කියවා උද්දාමයට පත් ඔහු එය 'සිළුමිණ' කර්තෘ විමලසිරි පෙරේරාට පෙන්වීය.

'විමල් මේක සාහිත්‍ය ලෝකය පුපුරුවා හරින ලිපියක්. සිළුමිණට දැම්මොත් දෙබරයට ගල් ගැසුවා වගේ හිටීවි. අජිත් තිලකසේන එක්ක අපේ රංජිත් කරපු සංවාදයක්' බෙනඩික්ට් කීය.

ලිපිය කිය වූ කතුවරයා එය 'සරසවිය' පත්‍රයේ කොටස් දෙකකට පළ කිරිමට තීරණය කළේය. එහෙත් එහි පළ වූයේ මුල් කොටස පමණි. ජනතාවාදී ප්‍රචාරක සාහිත්‍යකාරයන් එයට එරෙහි වීම නිසා දෙවන කොටස නතර විය. එහෙත් බෙනඩික්ට් මුල් කොටස හා දෙවන කොටස එක්කොට 'නවයුගය' පුවත්පතේ කර්තෘ ඇස්. සුබසිංහ ලවා ලිපියට ප්‍රධාන තැනක් දී පළ කළේය.

එකල සම්මතයට පිටුපාමින්, අකීකරු, හිතුවක්කාර අංකුර ලේඛකයන් වූ අප (මා හා කුලරත්න ආරියවංශ) අජිත්ගේ මේ මත ඉදිරියට ගෙන යාමට සිතා නැවත අජිත් සමග සාකච්ඡා කොට 1974 වසරේ 'කලාවයි හුදෙකලාවයි' නමින් පොත් පිංචක් මුද්‍රණය කොට ප්‍රකාශයට පත් කළෙමු. මෙහි මුද්‍රණ බර පැණ දැරීමට සින්ග්ලංකා සමාගමේ අධිපති ආනන්ද ගනේගොඩ මහතා හා දුම්කොළ සමාගමේ ප්‍රචාරක අධ්‍යක්ෂ ඩී. සී. රණතුංග මහතා උදව් කළහ.

'කලාවයි හුදෙකලාවයි' පළ වූ අවස්්ථාවේ එයින් කියවුණු අදහස් කලාව පිළිබඳ අධිිපති මතවාදය හා ගැටුණි. එදා ලේක්හවුස් ආයතනයේ පුවත්පත්වල සාහිත්‍ය පිටුවල පොදු තේමාව වූයේ ජනතාවාදය සහ සමාජවාදී යථාර්ථයයි. මේ පොත් පිංච ගැන අගය කොට දිනමිණ ග්‍රන්ත විවෙච්න තීරයේත් සිය අභීත අදහස් පළ කළේ එඩ්වින් ආරියදාසයන් පමණි. පිටතින් ලිව්වේ මහාචාර්ය විිමල් දිසානායක පමණි.

දිනක් ලේක්හවුස් සභාපති ප්‍රේමදාස මහතාගේ කාර්යාල සහායක පේද්‍රික් මා අසලට පැමිණ 'චෙයාමන් සර් මහත්තයට කතා කරනවා' යයි කීවේය. පේද්‍රිික් කිසිදා සුබවාදී පණිවුඩ නම් ගෙන එන්නෙකු නොවිය. කාකි කොට කලිසමකින් සැරසුණු ඔහු අස්වීම්, මාරු කිරීම් ලිපි රැගෙන ඒම නිසා ඒ සඳහාම ප්‍රසිද්ධියක් තිබුණි. එදින විමලසිරි පෙරේරා කතුවරයා ද සිටියේ නැත.

'රංජිත් කලබල නොවී යන්න. අපි මොකද වෙන්නේ කියලා බලමු' නියෝජ්‍ය කර්තෘ සෝමවීර සේනානායක මට ධෛර්ය දෙමින් කිවේය.

මම සභාපතිතුමාගේ කාමරයට ගියෙමි. ඔහු තම කාමරයේ ඇති කවුළුවෙන් රීගල් සිනමා ශාලාව පැත්ත බලා සිටියේය. එම සිනමාහලේ ප්‍රදර්ශනය වන 'සෙවන් නයිට්ස් ඉන් ජැපෑන්' චිත්‍රපටයේ අකුරු බාගෙට මට පෙනේ.

'සර් . . .'

'තමාගේ නම රංජිත් කුමාරද?'

'ඔව් සර්'

'තමා ලියන පල් හෑලි මොනවද?' ඔහු අජිත් තිලකසේන හා මා ලියු පොත් පිංචත් ඒ සමඟ වූ ලිපියත් මා වෙත වීසි කළේය. මම එය අහුලා බැලුවෙමි. ලිපිය ලියා තිබුණේ රුසියාවට ආවැඩි අතුරුගිරියේ ඔරුවල පැත්තේ ලේඛකයෙකි. එහි තිබුණේ ලේක්හවුසියේ සිටි ලොකුම යූ. ඇන්. පී. කාරයකු ලෙස මා හංවඩු ගසාය.

'සර් මේක දේශපාලනය ගැන ලියපු එකක් නෙවි. සාහිත්‍ය මතවාද ගැන ලියපු එකක්'

'මේකේ ඇතුළේ තමා දේශපාලනය කළොත් මම තමා එළියට දානවා'

'ඔව් සර්'

'දැන් තමා ධර්මසිරි ජයකොඩි මහත්තයා ගාවට යනවා'

මම ජයකොඩි මහතාගේ කාමරයට ගියෙමි. එහි කරුණාරත්න සපුතන්ත්‍රි සිටියේය.

'කෝකටත් රංජිත් මේ වගේ සාහිත්‍ය මතවාදවලට පැටලෙන්න යන්න එපා. ඕවා අවුස්සන මිනිස්සුත් ඉන්නවනේ. ඔයා සිනමාව ගැන විතරක් ලියන්න' ජයකොඩි මහතා කීවේය.