වර්ෂ 2016 ක්වූ මැයි 19 වැනිදා බ්‍රහස්පතින්දා




Hollywood

පැනමා පත්‍රිකාවට එමා වොට්සන් ගෑවිලා

පැනමා පත්‍රිකා මේ දිනවල ලෝකයේ බොහෝ රටවල මෙන්ම ලංකාවේත් කතා බහ වෙන මාතෘකාවක්. ඉතිං මේ පැනමා පත්‍රිකාවලින් හොලිවුඩ් නිළි එමා වොට්සන්ගේ නමත් ප්‍රසිද්ධියට පත් වෙලා.

දේශපාලනයේ ක්‍රියාකාරී නිළියක වන එමා එංගලන්තයේ වත්කමක් ගන්න තමන්ගේ රටෙන් පිට සමාගමක් ආරම්භ කරලා. ලන්ඩනයේ ඩොලර් මිලියන ගණනක් වටිනා නිවසක් මිලදී ගන්න තමයි ඇය මේ සමාගම ආරම්භ කරලා තියෙන්නේ. හැබැයි, එමා මේ කතාව ඇත්ත කියන්නෙත් නැහැ. බොරු කියන්නෙත් නැහැ.


අම්මා කැමැතියි රසිකයෝ අකමැතියි

දැන් හොලිවුඩයේ හැමෝම කතා වෙන්නේ හැරි ස්ටයිල්ස් ගේ අලුත්ම හෙයා ස්ටයිල් එක ගැනයි. මොකද දන්නවාද දිගට වැවී තිබූ ඔහුගේ කොණ්ඩය දැන් කොටට කපලා. එක කාන්තාවක් හැරීගේ අලුත් කොණ්ඩ මෝස්තරයට කැමැත්තෙන් ඉන්නවා. ඒ තමයි හැරීගේ අම්මා. හැබැයි ඔහු කොණ්ඩය කැපූ බව ඇසූ ගමන් දුකට අඬපු රසික රසිකාවනුත් ඉන්නවා.

“මට හිතා ගන්න බැහැ. මිනිස්සු මට මේ තරම් ආදරෙයි කියලා” හැරී පවසනවා. ඒ වුණත් බොහෝ අය කියන්නේ අලුත් කොණ්ඩ මෝස්තරය ලස්සනයි කියලාලු.


නික් ලැෂවේ සමු ගනී

නික් ලැෂවේ නම් යොවුන් හොලිවුඩ් නළුවාට පසුගියදා ජීවිතයෙන් සමුගන්න හේතු වුණේ මෝටර් රථ අනතුරක්. මැචුසෙට්හි මෙට්‍රෝ රෝහල වෙත ගෙන ගියත් දරුණු ලෙස තුවාල ලබා සිටි ඔහු කරා මරණය ළඟාවීම කාටවත් නවත්වන්න හැකි වුණේ නැහැ.

ලංකාවේත් ඉතා ඉහළ ජනප්‍රියත්වයක් ගෙන සිටින X - Files කතා මාලාවේ ප්‍රධාන නළු ෆොක්ස් මෝල්ඩර්ගේ තරුණ කාලයට පණ පෙව්වේ නික්. මිය යන විට ඔහුගේ වයස අවුරුදු විසි අටක්. 1998 වසරේ සිට රංගනයට පිවිසි නික්  Life As We Know It, Thw Last Song, Girls වැනි රූපවාහිනි ටෙලි කතා රැසකට රංගනයෙන් දායක වුණා.


ඇන්ජලීනාට අලුත් යෙහෙළියක්

කේම්බ්‍රිජ්හි ආදිපාදවරිය කේට් මිඩ්ල්ටන් දැන් අලුත් මිතුරියක් හමු වෙලා. ඇය හොලිවුඩයේ ජනප්‍රිය තරුවක්. කේට් මේ තරුව බොහොම ඉහළින් අගයනවා කියලත් ආරංචියි. කේට් කුමරිය හොලිවුඩ් නිළියක් වන ඇන්ජලීනා ජොලී සමඟින් තමයි මේ අලුත් මිතුරුකම පටන් අරගෙන තියෙන්නේ.

‘වර්ල්ඩ් වෝ 2’ චිත්‍රපටයේ රූගත කිරීම් නිසා ඇන්ජලීනා ජොලී හා බ්‍රැඩ් පී‍්‍රට් මේ දිනවල සිටින්නේ එක්සත් රාජධානියේ. කේට් කුමරියගෙයි ජොලීගෙයි මිතුරුකම ආරම්භ වෙලා තියෙන්නේ 2015 වසරේදීයි. පසුගිය දවසක ඇය මේ තරු යුවළට තේ පැන් සංග්‍රහයක් සඳහා කෙන්සින්ටන් මාලිගයට ආරාධනාවකුත් කරලා. විලියම් කුමරු, කේට් කුමරිය පුංචි ජෝර්ජ් කුමරා සමඟින් ප්‍රීට් යුවළ පිළි අරගෙන තියෙන්නේ ඊට පෙර අමෙරිකානු ජනපති යුවළ පිළිගත් පරිද්දෙන්මයි.

එදා මේ පිරිසේ මාතෘකාව වෙලා තියෙන්නේ නීති විරෝධි සත්ත්ව වෙළඳාම ගැනයි. දැන් කේට් කුමරිය ඇන්ජලීනා සමඟින් නිතරම දුරකථනයෙන් කතාබහේ යෙදෙනවා වගේම ඊමේල් පණිවුඩත් යවන බව ආරචියි.


කාන් රතු පලස මතින්

69 වැනි කාන් චිත්‍රපට උලෙළ පසුගිය 11 වැනිදා ප්‍රංශයේ කාන් නුවරදී උත්සවශ්‍රීයෙන් ආරම්භ වුණා. චිත්‍රපට උලෙළේ සමාරම්භය සනිටුහන් කළේ, ඇලන් වූඩි අධ්‍යක්ෂණය කළ Café Society චිත්‍රපටයෙන්. රතු පලස මත දිලුන තරු අතරේ Café Society නිළියන් විශේෂයෙන් කැපී පෙනුණා.

ජෙනී බර්ලන්, ස්ටීව් කැරොල්, බ්ලේක් ලිව්ලි, ක්‍රිස්ටියන් ස්ටුවර්ට් ඒ අතර වෙනවා. මෙවර චිත්‍රපට උලෙළ 22 වැනිදා දක්වා පවත්වන්න නියමිතයි. රතු පලසේ ඇඳුම් මෝස්තර අතරේ වැඩියෙන්ම කැපී පෙනුණේ බ්ලේක් ලිව්ලි. ඇය දැන් සිය දෙවැනි දරුවා බලාපොරොත්තුවෙන් සිටින්නේ.

ජුලියානා මුවර් හැඩ වුණේ සිරුර වටා විශාල නාගයන් දෙදෙනෙකු එතී සේ දක්වමින්. වික්ටෝරියා බෙකම්ගේ අඳුමත් අමුතුම මෝස්තරයේ එකක්. Café Society චිත්‍රපටය පිළිබඳ වූ කතාබහට ක්‍රිස්ටීන් ස්ටුවර්ට් පැමිණියේ සුදු පැහැ සායක් සහ ටී ෂර්ට් එකකින් සැරසි. නමුත් පැළඳ සිටි පාවහන් යුගළෙන් ඇති වූ අපහසුතාව නිසා අවසානයේදී එය ගලවා සුවපහසුවෙන් ඇවිදින්න ඇය තීරණය කළා.