|
තිළිණය බිහි වූ හැටි
වර්නන් පෙරේරා කියන්නේ අති දක්ෂ කලාකරුවෙක්. ගායනයෙන්, ගී පද රචනයෙන් මෙන්ම සංගීත අධ්යක්ෂණයෙන් ඔහු දායක වූ නිර්මාණ බොහොමයක් තියෙනවා. වැඩිය කවුරුවත් දන්නේ නැති වුණාට, හදවත ඉල්ලා, තිළිනේ ලෙසින්, රුවන් මාළිගා නැත මා හට, ළඳේ මුලා වී ගියා නම්, ටිකිරි මලී පාසල් යන පොඩි අඩි පාරේ ආදී ගීත ලිව්වේ මේ වර්නන්. ඔහු රසබර අතීත මතකයන් ගුලාවක්.
ඉතින් ආගිය තොරතුරු කතාබහ කරකර ඉන්න වෙලාවක වර්නන් අයියා ඒ වගේ අපූරු කතාවක් ආවර්ජනය කළා. මේ සිද්ධියට සම්බන්ධ ගීතය තමයි ඉන්ද්රාණිගේ තිලිණේ ලෙසින්. එහි තනු නිර්මාණය කරලා තියෙන්නේ මිල්ටන් පීරිස්. දිනක් වර්නන්ට ස්ටුඩිියෝ එකට එන්න කියපු මිල්ටන් පළමුව තනුව අහන්න දීලා. ඒකත් හිතේ තියාගෙන වර්නන් ආවලු ගෙදර යන්න බස් එකට නඟින්න. කොළඹින් ගල්කිස්ස බස් එකකට නැගලා ටිකක් වෙලා ගියාට පස්සේ බොලේ වර්නන්ට අර තනුවට පද මාලාවක් හිතට නැඟිලා. පටස් ගාල පෑන අතට ගත්තලු. ඒත් කෝ කොළයක්. වර්නන් කල්පනා කළාලු. කමිස සාක්කුව බලද්දී බස් ටිකට් එක අතට අහුවෙලා. වර්නන් මොකද දන්නවද කරල තියෙන්නේ. අර බස් ටිකට් එකේ කූඹි අකුරින් තිළිණේ ලෙසින් ගීතය ලිව්වලු. ඉඩ මදි වෙලා අතේ කොටසක් ලියාගෙන. කොහොම හරි එදා වර්නන් බස් එකෙන් බහිද්දී ගීතයේ පද ඔක්කොම සම්පූර්ණයිලු.
|