|
අනේ මගේ නඩුව අසනුසම්මානනීය ‘සූවිසි විවරණ’ තැනූ සරත් ධර්මසිරි ගෙන් ඉල්ලීමක්
සිව්වැනි දෙරණ සිනමා සම්මාන උලෙළ - 2016 පසුගියදා නිමා වූයේ මෙරට සිනමා ක්ෂේත්‍රයේ යම් ප්‍රබෝධයක්, උත්කර්ෂයක් ඇති කරමිනි. එහිදී මෙතෙක් ප්‍රදර්ශනය නොවූ චිත්‍රපට අතරෙන් හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූයේ සරත් ධර්මසිරිගේ 'සූවිසි විවරණ' සිනමා කෘතියයි.
නවක, ප්‍රතිභාසම්පන්න අධ්‍යක්ෂවරුන් සිය කුලුඳුල් චිත්‍රපටය ප්‍රදර්ශනය කර ගැනීමට නොහැකිව ළත වෙති. සුසුම් හෙළති. එවන් පසුබිමක 'ගිනි කිරිල්ලී', 'භේරුණ්ඩ පක්ෂියා' වැනි සම්මානනීය චිත්‍රපට නිර්මාණය කළ සරත් ධර්මසිරි වැනි ප්‍රවීණ සිනමාකරුවන් මුහුණ දෙන්නේ ද එකී ඛේදජනක ඉරණමටය. ඒ පිළිබඳ සිය අදහස් දැක්වීමට සරත් ධර්මසිරි අප හා එක වූයේ මෙලෙසිනි. * චිත්‍රපට ප්‍රදර්ශනයේ තිබෙන 'බාලගිරි දෝෂය' අපට අලුත් දෙයක් නෙවෙයි. නමුත් ජාත්‍යන්තර ඇගයීමට ලක් වූ චිත්‍රපටයක නිර්මාණකරුවා හැටියට ඔබට මේ ප්‍රමාදය වෙනස් විදිහකට අර්ථකථනය කළ හැකියි? තමන් නිර්මාණය කළ චිත්‍රපටයක් ප්‍රදර්ශනයට මුදා හරිනවා කියන්නේ ඕනෑම නිර්මාණකරුවකුගේ සන්තෘෂ්ටියට කාරණාවක්. මම 'සූවිසි විවරණ' චිත්‍රපටය නිම කර දැන් වසර පහක් පමණ වෙනවා. ඒත් තවමත් එය ප්‍රදර්ශනයට මුදා හරින්න බැරි වුණා. මේක මම හිතන්නේ මට විතරක් නෙවෙයි, තවත් බොහෝ සිනමාකරුවන් මුහුණපාන ගැටලුවක්. * මොකක්ද මේ ප්‍රමාදයට හේතුව?
* මේ වන විට එම චිත්‍රපටය තවත් විදෙස් සිනමා උලෙළ කිහිපයක් සඳහා ඉදිරිපත් කර තිබෙනවා? චීනය, ලොස් ඇන්ජලීස්, කැනඩා, හොංකොං, මේ වගේ සිනමා උලෙළ දාහතරකට මේ චිත්‍රපටය මේ වෙන කොට තෝරාගෙන තියෙනවා. නිල තෝරා ගැනීමක් විදිහට. ඉතින් මේවත් එක්ක පෙනී යනවා 'සූවිසි විවරණ' නොසළකා හැරිය යුතු චිත්‍රපටයක් නෙවෙයි කියලා. මං කියන්නේ මේක ලෝකේ හොඳම චිත්‍රපටය, ලංකාවේ හොඳම චිත්‍රපටය කියලා නොවෙයි. නමුත් මීටත් ඊට හිමි තැන ලබා දෙන්න ඕනෑ. ඉතින් මේ ප්‍රමාදය අපට ලොකු ප්‍රශ්නයක්. * ඔබ ඔය කරන්නේ එක්තරා චෝදනාවක්? කාටවත් ඇඟිල්ල දික් කරන්න හෝ කවුරුවත් පිට වරද පටවන්න මට අවශ්‍ය නෑ. අපි කවුරුත් දන්න විදිහට අද දිග චිත්‍රපට පෝලිමක් තියෙනවා විවිධ ප්‍රදර්ශන මණ්ඩලවල. ඒත් ප්‍රදර්ශනයට එක්වෙන චිත්‍රපට, චිත්‍රපට ද කියා අප බැලිය යුතුයි. ඒ වගේම මේ පෝලිමෙන් පිට චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමත් අද සිද්ධ වෙනවා. * වගකීමෙන්ද ඔය ප්‍රකාශය කරන්නේ? ඔව්. රැඟුම් පාලක මණ්ඩලය රිලීස් කරපු කාල සටහන අරගෙන බලපුවාම ඒ දින වකානුවල මම එහායින් ඉන්නවා. එතකොට චිත්‍රපට සංස්ථාවේ ප්‍රතිපත්තියක් තියෙනවා මේ සම්මානලාභී චිත්‍රපටවලට ඉක්මන් අවස්ථාවක් ලබා දෙන. ඉතින් ඒ පදනම යටතේත් මට ඊළඟ අවස්ථාව ලැබීමට සුදුස්සෙක් වෙනවා. * මේ අවුල් සහගත තත්ත්වය ඔබේ ඉදිරි සිනමා ගමනටත් එක්තරා විදිහක බාධාවක්?
* ප්‍රදර්ශක මණ්ඩල අතරත් අද ලොකු තරගයක් තිබෙනවා. බොහෝ විට ඔවුන් සලකා බලන්නේ යම් චිත්‍රපටයක් වාණිජ අතින් සාර්ථකත්වයට පත් වෙයිද යන වග? ඔව්. පෞද්ගලික ප්‍රදර්ශන මණ්ඩල නම් කටයුතු කරන්නේ ඔවුන්ගේ අභිමතය පරිදියි. ඒත් ජාතික මණ්ඩලයට යම් ක්‍රමවේදයක් අවශ්‍යයි. මම නැවත, නැවත විශේෂයෙන් අවධාරණය කරන්නේ මම එක්තරා පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට හෝ චෝදනා කරනවා නෙවෙයි. මේක තතු පැහැදිලි කිරීමක් පමණයි. බලධාරීන් මේ ගැටලුවලට මැදිහත් වෙලා හොඳ ක්‍රමයක් සකස් කරන්න. ඒක තමයි මගේ යෝජනාව. * අද ජාත්‍යන්තර සම්මානයට පාත්‍රවන බොහෝ චිත්‍රපට අපේකම විනාශ කර දමන, අපේ සංස්කෘතියට, සාර ධර්මවලට අභියෝග කරන නිර්මාණ හැටියටයි ඇතැමුන් නිර්වචනය කරන්නේ. එබඳු නිර්මාණවලට තමයි ජාත්‍යන්තර සම්මාන හිමිවන්නේ කියලත් මතයක් තිබෙනවා. ඒ ගැන ඔබේ අදහස මොන වගේද? අන්තර් සංස්කෘතික අධ්‍යයනවලදී ප්‍රේක්ෂකයෝ බලාපොරොත්තු වෙන්නේ එක් එක් කලාව, එක් එක් රටවල්, ජන කණ්ඩායම්, හඳුනා ගැනීම, ජන කණ්ඩායම් අධ්‍යයනය කිරිම හා ඔවුන්ගේ අනන්‍යතාවන් හඳුනා ගැනීම. මේ කතා කරන්නේ ජාතිකත්වය වගේ කුහක දේවල් නෙවෙයි. දැන් ඉරාන චිත්‍රපටයක් නරඹද්දී අපට ඉරාන ජන ජිවිතය කපලා එකක් පේනවා. ස්පාඤ්ඤ චිත්‍රපටවලින් ඒක පේනවා. එතකොට බෙංගාලි, මලයාලම් සිනමාව නරඹද්දී අප ඔවුන්ගේ ජීවිත විනිවිද දකිනවා. ඊට පස්සේ අපි ඔවුන් පිළිබඳ සොයන්න අධ්‍යනය කරන්න පෙළඹෙනවා. දැන් විදේශික මගේ මිත්‍රයෝ කියනවා 'අපි උඹලාගේ චිත්‍රපට බලන්නේ උඹලව හඳුනාගන්න' කියලා. ඉතින් මගේ චිත්‍රපට හැම වෙලේම අප හඳුනා ගැනීමක් විදිහටයි මම භාවිතා කරන්නේ. * දැන් 'සූවිසි විවරණ'ත් එහෙමයි? මේකත් එහෙමයි. මම ඉදිරියේදී වැඩ කරන්නෙත් එහෙමයි. මම හදන්නේ මගේ ප්‍රකාශය සඳහා මගේ කතාව කීම සඳහා මගේම ක්‍රමයක්. ඒ මගේම ක්‍රමය යම් යම් සිනමා ධාරාවලින් පෝෂණය වෙලා තියෙන්න පුළුවන්. නමුත් ඒක අමු අමුවේ කොපි කිරීමක් නෙවේ. දැන් අපි බොහෝ විට කරන්නේ අපේ මනසේ අධිනිෂ්චය වෙච්ච රූපරාමු ඒ විදිහටම ඉදිරිපත් කරන එක. එතැන කිසිම නිර්මාණශිලී බවක් නෑ. දැන් අපි හිතමු පල්ලියක් තියෙනවා. ඒ පල්ලියේ ආලින්දය ආලෝකමත් වෙලා තියෙනවා. ඒ මැද්දෙන් කිසිවකු ඇවිදගෙන යනවා. එතකොට අපේ ප්‍රේක්ෂකයන්ට ඒක මාරයි. ඒත් අපි හිතමු දඬු වැටක් අස්සෙන් ඒ විදිහටම ලයිටප් කරලා අර විදිහේ සීන් එකක් ගන්නවා කියලා. ඒක අපට මාර නෑ. ඒ කියන්නේ මොකක්දෝ වැරැදි අධිනිශ්චයක් වෙලා තියෙනවා. ඒකෙන් තමයි අපි මිදෙන්න ඕනෑ. හැම වෙලේම කෘතිය මත පාදක වෙලා, කෘතියෙන් මොකක්ද කියන්නේ කියලා තමයි චිත්‍රපටය අගයන්න ඕනෑ. * බොහෝ සිනමාකරුවන් මුහුණ දෙන ගැටලුව තමයි නිශ්චිත කාල වකවානුවකදී තමන්ගේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරගත නොහැකිවීම. එම ප්‍රමාදය නිසා කිසියම් කල් ඉකුත්වීමක් වැනි දෙයක් සිදු වන බව ඇතැමුන් සඳහන් කරනවා. දැන් 'සූවිසි විවරණ' ප්‍රමාදය තුළ ඔබත් එහෙම හිතනවාද? සමාන්තරව ලෝකයේ එවැනි චිත්‍රපට පෙනෙන්න ගන්නවා. නමුත් මුලින්ම එබඳු චිත්‍රපටයක් තනන්නේ මම. ධාරාවේ එබඳු චිත්‍රපට ප්‍රදර්ශනයට එක් වුණාට පසුව තමයි අර මම මුලින් හදපු චිත්‍රපටය ප්‍රදර්ශනය වෙන්නේ. මිනිස්සු එතකොට හිතන්නේ මගේ චින්තනය පරණයි කියලා. මගේ චින්තනය පරණ නෑ. මගේ චින්තනය ප්‍රදර්ශනය වෙලා නෑ මට ඕනෑ වෙලාවට. නිර්මාණකරුවෙක් හැටියට එයින් මට සිදුව තිබෙන්නේ ලොකු හානියක්. |