වර්ෂ 2016 ක්වූ මැයි 19 වැනිදා බ්‍රහස්පතින්දා




මට සම්මානයක් හිමි වෙතැයි කොහොමටත් හිතුවේ නෑ

මට සම්මානයක් හිමි වෙතැයි කොහොමටත් හිතුවේ නෑ

‘මචං’ රඟපා හොඳම නළුවා වූ ධර්මප්‍රිය ඩයස්

සරසවිය සම්මාන ලද්දෝ සොයා යන ගමනේදී 2010 වසරේ සරසවිය සම්මාන උලෙළ සුවිශේෂයි. එහිදී හොඳම නළුවා සම්මානයට හිමිකම් කියූයේ, සිනමාවෙන් සිය ප්‍රථම රංගනය ඉදිරිපත් කළ නළුවෙක්. ඔහු සිය රංගන ගමන ආරම්භ කළේ වේදිකාවෙන්. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයටද ඔහු නැතුවම බැරි නළුවෙකු වී ඇති සේය.

ධර්මප්‍රිය ඩයස් 2010 වසරේ සරසවිය සම්මාන උලෙළේ හොඳම නළුවා ලෙසින් පිදුම් ලැබූයේ, උබර්තෝ පැසලෝනි අධ්‍යක්ෂණය කළ ‘මචං’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙනි. ජාත්‍යන්තර පැසසුම් ලද අධ්‍යක්ෂවරයෙක් වෙතින් ලද අත්දැකීම් ඇසුරෙන් සම්මානයක් කරා ගිය ගමන ගැන යළි සිහිපත් කිරීමයි මේ.

* එදා සරසවිය සම්මාන උලෙළේ හොඳම නළුවා වූ අවස්ථාව ඔබේ මතකයේ සුවිශේෂි අවස්ථාවක්?

ඇත්තටම ඒ දවස ඉතාම සුන්දර මතකයක් ලෙසින් මගේ හිතේ තැන්පත්ව තියෙනවා. මම සරසවිය සම්මාන උලෙළකට තියා ටෙලි සම්මාන උලෙළකටවත් සහභාගි වෙලා තිබුණේ නැහැ. ටෙලි සම්මාන උලෙළකට ප්‍රථම වතාවට සහභාගි වුණෙත් පසුගිය වසරේදීයි. එදා මම සරසවිය සම්මාන උලෙළකට සහභාගි වුණෙත් ප්‍රථම වතාවටයි. නමුත් මට සම්මානයක් හිමි වේවි කියලා මං කොහෙත්ම හිතුවේ නැහැ.

සරසවිය සම්මාන උලෙළට ආරාධනා පත්‍රයක් වගේම දුරකථන ඇමතුම් මඟිනුත් මගේ පැමිණීම අපේක්ෂා කළා. ඒ නිසාම මටත් යන්නම ඕනි කියලා හිතුණා. මොකද ‘මචං’ චිත්‍රපටයක් වෙනස්ම තාලේ නිර්මාණයක් වුණ නිසාත් මමත් එහි ප්‍රධාන සාමාජිකයෙක් නිසාත් ඒ ගමන තහවුරු වුණා.

ඒ වුණත් එදා වෙන වැඩකුත් කරමින් ඉඳලා තමයි මම සම්මාන උලෙළට සහභාගි වුණේ. සම්මාන උලෙළකට සුදුසු ලෙසින් සැරසිලාවත් නෙවෙයි මම ගියේ. ඇත්තටම මම එදා සරසවිය සම්මාන උලෙළට ගියේ අන්තිම පේළියට වෙලා ඉඳලා ගෙදර එන්න හිතාගෙන. නමුත් එහෙම එන්න වුණේ නැහැ. හොඳම නළුවා ලෙසින් නම් ලැබුවේ මම. කොහොම වුණත් අවස්ථාවේ හැටියට ගැලපෙන්න මම හැසිරුණා.

* ‘මචං’ චිත්‍රපටයේ රංගන අත්දැකීම කොහොමද?

‘මචං’ චිත්‍රපටයේ මට ලැබුණු ස්ටැන්ලිගේ චරිතය මං වෙනුවෙන්ම ලියවුණු චරිතයක්. ‘මචං’ තිරපිටපතට දායක වූ රුවන්ති ඩී චිකේරා මට මුලින්ම හමු වුණේ 2003 වසරේදී නවදිල්ලියේදී යි. මම එහි නාට්‍ය දර්ශනයකට ගිහින් හිටියා. ඇයත් සිය නාට්‍ය කණ්ඩායමත් සමඟින් එහි ඇවිත් තිබුණා. අපි දෙගොල්ලම ලංකාවේ බවත් දැන ගත්තේ නවදිල්ලියේදීයි. ඉන් කාලයකට පසුව ඇය ‘මචං’ තිරපිටපත ලියනවිට මාව සිහිපත් වූ බවත් මට ඇය වරෙක පැවසුවා. නමුත් පසුව චරිතය වෙනුවෙන් මාව බලනකොට මම කලින්ට වඩා ගොඩක් වෙනස්. කොහොම හරි ලොකු මහන්සියක් දරලා කලින් තත්ත්වයටම එන්න මට පුළුවන් වුණා.

‘මචං’ චිත්‍රපටයේදී අපට රඟපාන්න ලැබුණේ ජගත් කීර්තිය දිනූ අධ්‍යක්ෂවරයෙක් සමඟින්. ඒ අවස්ථාව මට ගොඩක් විශේෂ අත්දැකීමක්. ‘මචං’ චිත්‍රපටය ගත්තොත් හරියට සිනමා කර්මාන්තය දියුණු රටකට ගිහින් සිනමා පාඨමාලාවක් හැදෑරුවා හා සමානයි. චරිත තෝරා ගන්නා තැන සිට අවසාන නිර්මාණය දකින ස්ථානය දක්වාත් විශේෂ වන එයට එතැනින් එහාට ලෝකයේ ප්‍රථම පෙළේ සම්මාන උලෙළල දක්වා යන්න අවස්ථාව උදා වුණා. එහිදී තියෙන පිළිගැනීම, තියෙන වටිනාකම වැනි දේත් රංගන ශිල්පියෙකුට හොඳ අත්දැකීම්. ඉතිං ‘මචං’ නිසා මටත් ඒ අත්දැකීම් ලබන්න අවස්ථාව ලැබුණා.

* ‘මචං’ දක්වා පැමිණි ගමන කොහොම එකක් ද?

මම පාසල් කාලයේ පටන්ම කළේ වේදිකා නාට්‍ය. ඇත්තටම රංගන ගමන නම් ඒ නිසා මට කොහෙත්ම අපහසුවක් වුණේ නැහැ. අපි නාට්‍ය කළා. එකක්වත් අත හැරියේ නැහැ. ඉගෙන ගන්න එකත් අතපසු කළේ නැහැ. ඒකත් එක්ක මේ රංගන ජීවිතය මට නම් කොහෙත්ම අමාරු එකක් වුණේ නැහැ. වේදිකවෙන් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයටත් ‘මචං’ නිසා සිනමාවටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.

* හොඳම නළුවා සම්මානය ඔබේ රංගන ජීවිතයේ ඇති කළ වෙනස?

ලොකු වෙනසක් කළා. ඇයි එහෙම වුණේ කියලා නම් මට හිතා ගන්න බැහැ. හොඳම නළුවා සම්මානය අරගෙන අවුරුදු දෙකක් විතර යනකල් වේදිකාව, ටෙලි නාට්‍ය හෝ සිනමාවේ මට කිසිම රංගන ආරාධනාවක් ලැබුණේ නැහැ. ඒ වගේම ‘මචං’ චිත්‍රපටයෙන් පසුව මම දායක වුණේ එක චිත්‍රපටයකට විතරයි. ඇතැම් නිර්මාණවල චරිතවලට මට එකඟ වෙන්න බැරි වුණා. නමුත් සම්මානය නිසා මම වෙනස් වුණේ නැහැ. ඒක බොහොම ගෞරවයෙන් තියලා වෙනදා වගේම මම වැඩකර ගෙන ගියා.

* නළුවෙන් වුණාම සම්මානයක් ගන්නම ඕනි කියලා හිතුණු අවස්ථා එහෙම තියෙනවාද?

සම්මාන ගන්නම හිතාගෙන රඟපෑවොත් වැඩේ අවුල් වෙනවා. කරන වැඩේ හරියට කළා නම් කවුරු හරි සම්මානයක් දෙනවා නම් දෙයි. එහෙම දුන්නොත් නම් ගන්නවා.

* වේදිකාව, ටෙලි නාට්‍ය සහ සිනමාව මේ ක්ෂේත්‍ර තුනටම දායක වුණු රංගන ශිල්පියෙක් විදියට වෘත්තිය නළු ජිවිතය දැනෙන්නේ කොහොමද?

මෙහෙමයි, විශේෂයෙන්ම අපේ වගේ රටක මේ මාධ්‍ය තුනේම ඉන්න එකත් ලෙහෙසි කටයුත්තක් නෙවෙයි. රංගනය වෘත්තියක් විදියට කරගෙන යන්න පුළුවන් නම්, අපි තරම් පින්වන්ත පිරිසක් වෙන කොහේවත් නැහැ. අපේ රටේ නළුකම තවම ගෞරවනීය වෘත්තියක් බවට පත් වෙලා නැහැ. නමුත් සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා, මහා නළු ජෝ අබේවික්‍රමයන්ගේ වැනි කාලවලදී වෘත්තීය මට්ටමෙන් ඒ ගෞරවය තිබුණා. නමුත් දැන් නැහැ. රංගනය කියන්නේ හරියට කිසිම අයිතිවාසිකමක් නැති ඒ වුණත් නවත්වා ගන්න බැරි තරමට ඇබ්බැහි වුණු ක්ෂේත්‍රයක්. මමත් ඒ ඇබ්බැහිකමට පුරුදු වුණ නළුවෙක්.

* මේ ගමන තුළ ප්‍රවිණයන් ගෙන් ඔබ ලද දේ?

ඇත්තටම මට මේ දක්වා ප්‍රවීණයන් රැසක් යටතේ මගේ දක්ෂතා එළිදක්වන්න අවස්ථාව ලැබීමම වාසනාවක්. ඒ වාසනාව නිසා මා ප්‍රධාන පෙළේ නිර්මාණකරුවන් ළඟටම තල්ලු වෙලා ගියා. ඒ අයගෙන් මම බොහෝ දේ ඉගෙන ගත්තා. රංගනයට අමතරව ප්‍රායෝගික වැඩක් කරනකොට කොහොමද කරන්නේ, කරන්න ඕනි මොනවාද. නොකරන්න ඕනි මොනවාද කියලත් ඉගෙන ගත්තා. වේදිකාවේදි ජයලත් මනෝරත්න, කේ. බී හේරත්, ධර්මසිරි බණ්ඩාරනායක, බන්දුල විතානගේ, රාජිත දිසානායක වැනි නිර්මාණකරුවන් වගේම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයෙන් නාලන් මෙන්ඩිස්, ගයාරම්‍ය අල්විස් වැනි ප්‍රවීණයන් ගෙන් ලද අත්දැකීම් රැසක් මගේ රංගන ජීවිතයට එකතුකර ගන්න අවස්ථාව ලැබුණා.

* හොඳම නළුවා ලෙසින් පිදුම් ලැබුවත් සිනමාවට සමීප නොවීම ගැන මොකද හිතෙන්නේ?

මගේ වැඩි කැමැත්ත තියෙන්නෙත් චිත්‍රපටවලට. මම දේශිය වගේම විදෙස් චිත්‍රපටත් බොහොමයක් නරඹනවා. නමුත් මං වැඩියෙන් වැඩ කරන නිසා සිනමාවට වූ අඩු දායකත්වය මට දැනුණේ නැති තරම්. ආපහු හැරිලා බලකොට තමයි තේරුණේ ‘මෙච්චර කල් මං චිත්‍රපටයකට දායක වෙලා නැහැ නේද’ කියලා. වේදිකා නාට්‍යවල වැඩ කරනවිට කාලය යනවා දැනෙන්නේ නැහැ. ඒ නිසා චිත්‍රපට ගොඩක රඟපාන්න ලැබුණේ නැහැ කියලා පොඩි දුකක්වත් දැනුණේත් නැහැ. හැබැයි චිත්‍රපටයක් කරන්න නම් ලොකු ආසාවක් තියෙනවා.

* ඒ කියන්නේ ඉදිරියේදී ඔබ සිනමා අධ්‍යක්ෂවරයෙක්?

ඇත්තටම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන එක මගේ ලොකු බලාපොරොත්තුවක්. දැනටත් පිටපත් කිහිපයක් ලියමින් ඉන්නවා. හැබැයි ඒවා කවදා ඉවර වේවිද කියලා නම් දන්නේ නැහැ.

වේදිකාව, ටෙලි නාට්‍ය වගේම සිනමාව ගත්තත් මම හරි වාසනාවන්ත නළුවෙක් කියලා හිතෙනවා. මොකද මේ ක්ෂේත්‍ර තුනේම මම මොනවා හරි කළොත් හොඳ ප්‍රතිචාර තමයි මට ලැබුණේ. ආපසු හැරිලා බැලුවොත් සතුටක් මිස දුකක් නම් ඇත්තේම නැහැ.