|
අපේ රටේ තැනුණු බෞද්ධ චිත්‍රපට
මෙරට සිනමා වංශ කතාව දෙස බැලූ විට 1947 වසරේ ප්‍රථම සිංහල කතානාද චිත්‍රපටය ලෙසින් ‘කඩවුණ පොරොන්දුව’ තිරගත වූ දා පටන් මේ දක්වා විවිධ තේමා රැගත් සිනමා නිර්මාණ රැසක් තිරගත වී තිබේ. ඒ අතරේ බෞද්ධ කතා තේමා කොට ගනිමින් කළ චිත්‍රපට නිර්මාණද සුවිශේෂි වේ.
ප්‍රථම වරට බෞද්ධ කතා තේමාවක් රැගත් චිත්‍රපටයක් තිරගත වූයේ, 1952 වසරේදීය. ‘සිරි සඟබෝ’ නම් වූ එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ වර්ණන් ජයවර්ධනය. ඉන් අනතුරුව 1964 වසරේදී තිරගත වූ ‘පටාචාරා’ චිත්‍රපටයට පාදක වූයේ බුදුන් කල පටාචාරා සිටු දියණියගේ කතා ප්‍රවෘත්තිය යි.
බුදුන් වහන්සේගේ දාන පාරමිතාව විස්තර කෙරෙන වෙස්සන්තර ජාතකය ඇසුරින් ‘වෙසතුරු සිරිත’ චිත්‍රපටය තිරගත කෙරුණේ 1966 වසරේදීය. ‘වෙසතුරු සිරිත’ අධ්‍යක්ෂණය කරන ලද්දේ ලයනල් අමරසිංහ විසිනි. 1967 වසරේදී තිරගත වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ ‘රන් සළු’ චිත්‍රපටය ද බෞද්ධ කතා තේමාවක් ගෙන ආ සිංහල චිත්‍රපටයකි. 1975 වසරේදි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ ‘දෑස නිසා’ චිත්‍රපටයට තේමාව කොට ගෙන ඇත්තේ චක්ඛුපාල තෙරුන් වහන්සේගේ කතා පුවතයි. කේ වෙන්කට් අධ්‍යක්ෂණය කළ ‘සිරි පතුල’ චිත්‍රපටය තිරගත වූයේ 1978 වසරේදීය. ථේරි ගාථාවක් ඇසුරින් නිර්මාණය කළ කුණ්ඩලකේශිි චිත්‍රපටය අධ්‍යක්ණය කරන ලද්දේ විමලනාත් දිසානායක විසිනි. එය තිරගත වූයේ ද 1978 වසරේදිය. මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ ‘සතර පෙර නිමිති’ චිත්‍රපටයත් ජෝ මයිකල් අධ්‍යක්ෂණය කළ අජාසත්ත චිත්‍රපටයත් 1981 වසරේදී තිරගත වූ බෞද්ධ කතා තේමා රැගත් චිත්‍රපටයක්ය. අජාසත්ත ඒ අවධියේ මෙරට වැඩිම ආදායම ලද චිත්‍රපටය ද විය. සේරිවානිජ ජාතකය ඇසුරින් නිර්මාණය කළ ‘බංගලි වළලු’ චිත්‍රපටය තිරගත කෙරුණේද එම වසරේදීම ය. කේ. ඒ. ඩබ්ලිව් පෙරේරා විසින් එය අධ්‍යක්ණය කරන ලදී. කලාසූරි සතිස්චන්ද්‍ර එදිරිසිංහ අධ්‍යක්ෂණය කළ ‘අධිෂ්ඨානය’ චිත්‍රපටයටද තේමා වී ඇත්තේ බෞද්ධ කතා පුවතකි. අංගුලිමාල කතා පුවත ඇසුරින් නිර්මාණය කළ ‘අංගුලිමාල’ චිත්‍රපටය නිර්මාණය කළේ බැප්ටිස් ප්‍රනාන්දු විසිනි. එය තිරගත වූයේ, 1988 වසරේදී ය. 1990 වසරේදී වසන්ත කුරුප්පු අධ්‍යක්ෂණ කළ ‘සම්බුදු මහිම’ චිත්‍රපටයට පදක වූයේද බෞද්ධ කතා තේමාවකි. මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ ‘උත්පලවණ්ණා’ චිත්‍රපටයට පදනම් වූයේ, ථේරි ගාථාවකි. සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ෂණය කළ ‘කුස පබා’ චිත්‍රපටයට ද තේමාකර ගත්තේ කුස ජාතකය සහ කව්සිළුමිණ මහා කාව්‍යය යි. බෞද්ධ භික්ෂුවකගේ ජීවිත කතාවක් විවරණය කෙරෙන ‘සංඛාරා’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ, ප්‍රසන්න ජයකොඩි විසින්. දේවානම් පියතිස්ස රජ දවස මිහිඳු හිමියන් මෙරටට වැඩම කළ කතා ප්‍රවෘත්තිය රිදී තිරයට ගෙන ආවේ චිත්‍රපට අධ්‍යක්ෂ සනත් අබේසේකර විසිනි. ඒ චිත්‍රපටය ‘මහින්දාගමනය’ නම් විය. ඔහු විසින් දළඳා වහන්සේ මෙරටට වැඩම කළ අවස්ථාව නිරූපණය කෙරෙන ‘සිරි දළඳා ගමනය’ නමින් චිත්‍රපටයක් ද අධ්‍යක්ෂණය කළේය. සනත් අබේසේකර අධ්‍යක්ෂණය කර පසුගිය වසරේ තිරගත වූ ‘මහරජ අජාසත්’ චිත්‍රපටයේද එන්නේ බෞද්ධ ඉතිහාස කතා පුවතකි. බුදුදහමට මෙන්ම සිංහල ජාතිය වෙනුවෙන් විශාල කැපවීමක් කළ අනාගාරික ධර්මපාලතුමන්ගේ ජීවිත කතාව පදනම් කර ගනිමින් ‘අනගාරික ධර්මපාල’ නමින් සිනමා නිර්මාණයක් කළේද සනත් අබේසේකර විසිනි. 2013 වසරේදී සමන් වීරමන් ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය. සිදුහත් කුමරුගේ උප්පත්තියේ සිට සම්බුද්ධත්වය දක්වා පූජනීය සිදුවීම් පාදක කරගත් ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටය දිල්ලි ජාත්‍යන්තර සිනමා උලෙළේදී හොඳම චිත්‍රපටයට හිමි සම්මානයද හිමි විය.
|