|
1996 වසරේ සරසවිය සිනමා ජූරියේ සභාපති වූ මහාචාර්ය ඈෂ්ලි හල්පේ අභාවය නිමිත්තෙනිපේරාදෙණි ගුරු කුලයේ ඉංග්‍රීසි කලා ප්රාඥයාමහාචාර්ය ඈෂ්ලි හල්පේ කවියකු, නාට්‍ය නිෂ්පාදකයකු, සාහිත්‍ය පරිවර්තකයකු හා කලා විචාරකයකු ලෙස ඉමහත් කීර්තියක් ඉසුළුවෙකි. ඔහු පේරාදෙණි විශ්වවිද්‍යාලයෙන් බිහි වූ ශාස්ත්රඥයකු ලෙස හඳුන්වා දිය හැකිය. ඔහු මෙරට ඉංග්‍රීසි නාට්‍ය කලාවේ පුරෝගාමියකු වන ඊ. එෆ්. සී. ලුඩෝවයික්ගේ දීප්තිමත් ශිෂ්‍යයෙක් ද වූයේය. මහාචාර්ය හල්පේ බටහිිර පන්නයට හැදුණුු වැඩුණු පවුලක උපත ලද්දේය. ගෙදර දොරේ කතාබහ කළේ ඉංග්‍රීසියෙනි. කෑවේ බීවේ හැඳි ගෑරුප්පුවෙනි. ඔහු මේ පවුල් වටාපිටාව වරක් පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකදී නොසඟවා හෙළි කළේය. කොළඹ ලුම්බිණි රඟහල ඉදි කරන ලද්දේ ඔහුගේ පියා වර්නන් හල්පේ විසිනි. 1957 දී පේරාදෙණි විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි අංශයට සහකාර කථිකාචාර්යවරයකු ලෙස බැඳුණු මහාචාර්ය හල්පේ 1965 දී එහි අංශ ප්‍රධානි වූයේය. 1971 - 91 දක්වා වූ කාලවකවානුවේ හෙතෙම කලා පීඨයේ ප්‍රධාන තනතුර හෙබ වූයේය. මහාචාර්ය හල්පේ ආචාර්ය උපාධිය ලද්දේ එංගලන්තයේ බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයෙනි. 'පොයෙටික් ඩ්‍රාමා ඔෆ් 1800 ටූ 1950' ඔහු ඒ උදෙසා ලියු නිබන්ධය විය. 1933 දී ලුඩොවයික් ආරම්භ කළ ඉංග්‍රීසි නාට්‍ය සංගමයට (ඩ්‍රාමා සොසයිටි) ඔහුගේ ඇවෑමෙන් ඉදිරියට ගෙන ගිය තිදෙනකු අපට ගෞරවයෙන් යුතුව සඳහන් කළ හැකිය. ඒ කත්බට් අමරසිංහ, රංජනී ඔබේසේකර හා මහාචාර්ය හල්පේය. මහාචාර්ය හල්පේ කළ නිෂ්පාදන අතරින් 'පෙටි බූර්ෂ්වා' (මැක්සිම් ගෝර්කි) 'ඇන්ඩෝරා' (මැක්ස්ප්රිෂ්), 'ද ෆාදර් (ඕගස්ට් ස්ට්‍රින්ඩ්බර්ග්), 'මැක්බත්' (ශේක්ෂ්පියර්) කැපී පෙනේ. මහාචාර්ය හල්පේ සිංහල නාට්‍යයකට නිර්මාණාත්මකව සම්බන්ධව ඇත්තේ එකම එක අවස්ථාවකදී පමණක් විය යුතුය. ඒ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ 'පේමතෝ ජායති සෝකෝ' නාට්‍යයේ රංගාලෝක අධ්‍යක්ෂණයෙන් හා රංගභූමි අලංකරණයෙහි (ධර්මදාස කිරිහැන්නැදි සමඟ) ඔහුගේ බිරිඳ (බ්‍රිජට් හල්පේ) මෙම නාට්‍යයේ සංගීතයට දායක වූවාය. ඒ ප්රතිසංවාද (කවුන්ටර් පොයින්ට්) නිර්මාණයෙනි. මහාචාර්ය හල්පේ සාහිත්‍ය පරිවර්තකයෙක් ද වෙයි. ඔහු මාර්ටින් වික්‍රමසිංහගේ 'විරාගය' ('ද වේ ඔෆ් ද ලෝටස්' නමින්) 'මඩොල් දූව' ඉංග්‍රීසියට නැඟු අතර මහාචාර්ය සෙනරත් පරණවිතාන අරුත් දුන් සීගිරි කුරුටු ගී ඉංග්‍රීසියට පරිවර්තනය කළේය. මහාචාර්ය හල්පේ විද්වත් කලා විචාරකයෙකි. පුළුල් අවකාශයක විහිදුණු විචාර කලා විඥානයක් ඔහුට තිබුණේය. බටහිර හා යුරෝපයේ වේදිකා නාට්‍ය, විශ්ව සාහිත්‍ය කලා, එංගලන්තයෙන් බිහිවුණු භාවිත විචාරය පිළිබඳ සංකල්පීය හා තුලනාත්මක දනුමක් ඔහු සතු වූයේය. සරසවිය මෙන්ම ජනාධිපති සිනමා සම්මාන උලෙළ ප්රමුඛ සම්මාන උත්සව ගණනාවකම විනිශ්චය මණ්ඩල සාමාජිකයකු වූ මහාචාර්ය හල්පේ ඒවායේදී නිවැරැදි හා අදීනව තීන්දු ගැනීමට මැදිහත් වූවෙකි. 1998 දී විශ්ව විද්‍යාල සේවයෙන් විශ්‍රාම ගත් මහාචාර්ය හල්පේ කලා කීර්ති හා විශ්ව ප්‍රසාදිනී යන ගෞරව නාමයන්ගෙන් පිදුම් ලැබුවේය. (එහෙත් ඒවා ආභරණ කරගත්තේ නැත. ඒ ඔහු බාගෙට තැම්බුණු උගතකු නොවූ නිසාය). මහාචාර්ය හල්පේට මහත් හරසරය වූයේ ඔහුගේ කලා සම්ප්රදානයන් විමසා බැලුණු ප්රණාම ග්‍රන්ථයයි. තිස්ස ජයතිලක හා ජයන්ත ධනපාල යන විද්වතුන් දෙදෙනා විසින් එය සංස්කරණය කරනු ලැබ තිබිණි. |