|
ශිවාජි ගනේෂන් අපේ කජු කන්න හරි ආසයි
ප්‍රවීණ කොණ්ඩ මෝස්තර ශිල්පී ලලිත් ධර්මවර්ධනගෙන් හෙළිදරව්වක්
නළු නිළියන් දැක ගන්නට පොරකන යුගයක ඔවුන් හා කතාබස් කරන්නට ගහ මරා ගන්නා අවදියක ලෝක ප්‍රසිද්ධ නළු නිළියන් හා උරෙන් උර ගැටෙන්නට වාසනාවක් ඔහුට උදා වේ යැයි කිසි දිනෙක නොසිතෙන්නට ඇත. තිරයේ දකින නළුවා නිළිය සැබැවින් දැකගන්නට ඔවුන්ගේ නිවෙස් අසල පාරට වී සිටියේ සිතේ තිබුණ ආශාව යම් තරමින් හෝ ඉෂ්ඨ කර ගැනීමටය. මේ අයුරින් එදා නළු නිළියන්ට ආදරය කළ අද අපේ කතා නායකයා පසු කලෙක නළු නිළියන් හා උරෙන් උර ගැටෙන්නට පටන් ගත්තේ ඔහු පෙර කළ කුසල කර්මයක් හේතුවෙනි. මේ වන විට දේශීය මෙන්ම විදේශීය චිත්‍රපටවල කොණ්ඩ සැකසුම් ශිල්පියෙකු ලෙසින් කීර්තියක් අත් කරගෙන ඇති ලලිත් ධර්මවර්ධන හා කතාබස් කරමු. * කලා ක්ෂේත්රයේ වැඩ කටයුතු කොහොමද මේ දවස්වල? ලංකාවේ රූපගත කළ ජාත්‍යන්තර චිත්‍රපටයක් වූ 'සෝලා එක්ලිප්ස්' චිත්‍රපටයේ ප්‍රධාන කොණ්ඩ සැකසුම් ශිල්පියා විදියට මා වැඩ කළා. හොලිවුඩ් නළු නිළියන් රැසක් මෙහි රඟපෑවා. මේ චිත්‍රපටය මට විශේෂ වුණා. ඒකට හේතුව මම මේ චිත්‍රපටයේ වැඩ කළේ ගෝල බාලයෝ දොළොස් දෙනෙකුත් අරන්. මගේ කලා ජීවිතයේ ජාත්‍යන්තර මට්ටමේ මා දායක වූ දැවැන්තම චිත්‍රපටය මේක. * ඔබේ කලා ජීවිතයටත් දැන් දශක කීපයක් සපිරිලා? දශක හතරකට වැඩියි. අවුරුදු හතලිහකටත් වැඩි කාලයක් මම මේ ක්ෂ්ත්රයේ හිටිය කිව්වහමත් මට පුදුමයි. මේ අවුරුදු හතලිහ පුරාවටම මට වැඩ තිබුණා. මට තියෙන ඉල්ලුම දවසෙන් දවස වැඩි වුණා මිසක් අඩු වුණේ නැහැ. * චිත්‍රපට ක්ෂේත්රයේ පමණ ද ඔබේ දායකත්වය? මේ වෙන කොට මම සිනමා, ටෙලි නාට්‍ය, වේදිකා කියන ක්ෂේත්‍ර තුනේම වැඩ කරලා තියෙනවා. චිත්‍රපට 150 කට විතර මම දායක වෙලා තියෙනවා. ටෙලි නාට්‍ය පැත්තෙන් මගේ දායකත්වය සැපයූ මුල්ම නිර්මාණය වුණේ කඩුල්ල. ඊට පස්සේ මම වනස්පති, පිටගම්කාරයෝ, අඹු දරුවෝ වගේ ටෙලි නාට්‍ය ක්ෂේත්රයේ දැවැන්ත නිර්මාණ කීපයකටම කොණ්ඩ සැකසුම් ශිල්පියා විදියට දායක වුණා. * මේ වන විට අධ්යක්ෂවරු ගණනාවක් යටතේ ඔබ වැඩ කරලත් ඇති? ජේ. සෙල්වරත්නම්ගේ සිට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් දක්වා අධ්යක්ෂවරු යටතේ මම නිර්මාණ සඳහා දායක වෙලා තියෙනවා. 1970 දී මම මුල්වරට සබීතා චිත්‍රපටයට රෙජී ද සිල්වාගේ සහාය ශිල්පියා ලෙසින් තමයි දායක වුණේ. * චිත්‍රපට ක්ෂේත්රයේ කොණ්ඩ සැකසුම් ශිල්පියෙක් ලෙසින් ඔබේ ඇරැඹුම? ඉන්දුට මල් මිටක් චිත්‍රපටයේ තමයි මගේ මේ ගමනේ හැරවුම් ලක්ෂය. * මේ ශිල්පයේ ඔබේ ගුරුවරයා වුණේ? මගේ මේ කලා ජීවිතයේ එකම ගුරුවරයාත් එකම මඟ පෙන්වන්නාත් වුණේ මාලිනී ෆොන්සේකා. * ලලිත් ධර්මවර්ධන කියන නමට මෙතරම් ඉල්ලුමක් තියෙන්න විශේෂ හේතුවක් තියෙනවාද? මම සාමාන්‍යයෙන් භාර ගන්න වැඩක් හරියට කරන පුද්ගලයෙක්. කිසිම බැරෑරුම් වැඩක් මම බැහැ කියන්නේ නැහැ. අවශ්‍ය ආකාරයට කරලා දෙනවා. කරන වැඩේ හරියට වෙලාවට කරන නිසාත් කවදත් ලැබෙන අභියෝගය නොබියව භාර ගන්න නිසාත් මගේ අවශ්‍යතාවය කාටත් තියෙනවා. * අද වෙන කොට ඔබ නිර්මාණ හොයාගෙන යන කෙනෙක්ද? නැහැ. නිර්මාණ මාව හොයාගෙන එන ක්‍රමයක් තමයි අද තියෙන්නේ. මම නිර්මාණයක් භාර ගන්නේ මගේ ගාණට නම් විතරයි. මම මහන්සි වෙන තරමට මට නිර්මාණය තුළින් තෘප්තියක් තියෙන්නත් මගේ මහන්සියේ තරමට මුදලක් තියෙන්නත් ඕනෑ. * කවදා හෝ කොණ්ඩ සැකසුම් ශිල්පියෙක් වෙනවා කියන අධිෂ්ඨානය ඔබ තුළ තිබුණාද? නැහැ. මම අදටත් සලකන්නේ මගේ පූරුවේ පිනකට තමයි මේ දේ මට ලැබුණේ කියලා. මමත් නළුවො නිළියො සැබැවින්ම දැකගන්න, එයාලා යන එන තැන්වල ගැවසි ගැවසි හිටිය පුද්ගලයෙක්. මට මතකයි ගාමිණී ෆොන්සේකාව සැබැවින් බලාගන්න දෙහිවල ඒ මහත්තයාගේ ගෙදර ළඟ පාරට වෙලා මම හිටියා ගෙදරින් එළියට එනකන්. එහෙම හිටිය මට දෛවය හැම දෙයක්ම වෙනස් කළා. නළු නිළියන් වෙතට ඉබේම තල්ලු වෙලා ගිය ගමනක් තමයි තියෙන්නේ. මමවත් හිතුවේ නැහැ නළු නිළියන් ළඟට ළං වෙන්නවත් ඒ අයගෙ හිස් මුදුනට අත තියන්නවත් මට කවදාවත් ලැබෙයි කියලා. පූරුවේ වාසනාවකට මට ඒ භාග්‍ය උදා වුණා. ඉන්දුට මල් මිටක් චිත්‍රපටය මට අදටත් හීනයක්. * ඔබ දේශීය චිත්‍රපටවල වගේම විදේශීය චිත්‍රපට සඳහාත් නිර්මාණකරණයෙන් දායක වන ශිල්පියෙක්? මේ වෙන කොට මම ජාත්‍යන්තර චිත්‍රපට විස්සක විතර වැඩ කරලා තියෙනවා. ගනේෂ් චිත්‍රපටය තමයි මගේ මුල්ම ජාත්‍යන්තර චිත්‍රපටය. ඉක්බාර්, ගෝල්ඩ් ඇන් ද සැෆරෝන්, මදර් තෙරේසා ආදී ජාත්‍යන්තර චිත්‍රපට රැසක මම ප්‍රධාන කොණ්ඩ සැකසුම් ශිල්පියා විදියට වැඩ කළා. * ඓතිහාසික කතා තේමාවන් රැගත් චිත්‍රපට සඳහාත් ඔබේ දායකත්වය එක් වුණාද? ක්‍රිස්තු චරිතය, අබා, කුස පබා, සක්කාරං මේ වගේ නිර්මාණ සඳහාත් මම ප්‍රධාන කොණ්ඩ සැකසුම් ශිල්පියා ලෙස දායක වුණා. එක් එක් චරිත සඳහා ඔබේ කොණ්ඩ සැකසුම් පවා වෙනස් වෙනවා. මේ සඳහා ඔබ උපකල්පනයක සිට කටයුතු කරනවාද? මෙතනදි අධ්යක්ෂවරයාගේ මතය වගේම පිටපතේ තිබෙන චරිතය පිළිබඳ පුළුල් කතිකාවක් ඇති කරගෙන තමයි අවසන් තීන්දුවට මා පැමිණෙන්නේ. බොහෝ විට මේ විග් නිර්මාණය සිද්ධ කරන්නේ ඉන්දියාවේ. ඉන්දියාවට ගිහින් දින ගණනක් එහෙ ගත කරලා අවශ්‍ය දේ සකසාගෙන ඇවිත් තමයි නිර්මාණයට යොදා ගන්නේ. * ලෝක පූජිත නළුවන්ගේ නිළි රැජනියන්ගේ, සිනමා සක්විතිලාගේ ඔළුවට අත තියන්න තරම් ඔබ එඩිතර වුණා? ඒ එඩිතරකම මට ගෙනාවේ පූරුවේ පින. නිළි රැජන මාලිනීගේ, සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ, ලෝක පූජිත නළු සිවාජි ගනේෂන් මේ හැම කෙනෙක්ටම මම විග් නිර්මාණය කළා. අපේ සිංහල සිනමාවේ ඉන්දුට මල් මිටක් චිත්‍රපටයෙන් පසුව බිහි වූ හැම නළු නිළියකටම පාහේ මම විග් දාලා ඇති. * ජාත්‍යන්තර චිත්‍රපටවල වැඩ කිරීම තුළ ඔබට ලොකු අත්දැකිමක් ලැබෙන්න ඇති? හොලිවුඩ් මේකප් ආටිස්ලා එක්ක වැඩ කරන කොට අපි ඉස්කෝලෙක ඉගෙන ගන්නවා වගේ. ඒතරම් දේවල් අපිට ඉගෙන ගන්න අත්දැකීම් ලබන්න පුළුවන්. * කොන්ඩා සැකසුම් වගේම ඔබ ඇඳුම් නිර්මාණයටත් යොමු වුණා නේද? සිනහව අතරින් චිත්‍රපටයේ තමයි මම මුල් වරට ඇඳුම් නිර්මාණය කළේ. හෙයා ස්ටයිල් හා ඇඳුම් නිර්මාණය කියන දේ එක ළග යන විෂයන් දෙකක්. හෙයා ස්ටයිල් දාන මට ඒ ස්ටයිල් එක අනුව ඇඳුම නිර්මාණය කරනවා නම් ඒක තවත් පහසුයි. කොණ්ඩෙට යන ඇඳුම ඇඳුමට යන කොණ්ඩෙ හොඳට මුසු කර ගන්නත් පහසුයි. * ජාත්‍යන්තර තලයේ නිර්මාණ සඳහාත් ඔබ දායක වන අවධියක්. ඔබට ආරාධනා නැද්ද ඒ රටවලට එන්න කියලා? මොකද නැත්තේ. 1983 මම සබීතා පෙරේරාත් එක්ක පාකිස්තානයට ගිය වෙලේ මට අගමැති නවාස් ශෙරීෆ් හඳුනා ගන්න ලැබුණා. ඒ රටේ නැවතිලා වැඩ කරන්න එන්න කියලා කිව්වා. මදර් තෙරේසා කරන කොට ඉතාලියට එන්න කිව්වා. මම කිව්වේ මගේ රටට මම ආදරෙයි. මගේ සිනමාවට මම ආදරෙයි. මට එන්න බැහැ කියලා. හොලිවුඩ් නළුවෝ නිළියෝ මට ආරාධනා කරනවා නිවාඩුවකට ඇවිත් යන්න කියලා. නිතර ඊමේල් පවා එවනවා. ඔවුන් අතර සුහදතාව අදටත් වෙනසක් නැහැ. * ඉන්දියාවෙ හිටපු සුපිරි නළු සිවාජි ගනේෂන් ඔබේ හොඳ මිත්‍රයෙක් කියන්නේ ඇත්තද? පයිලට් ප්‍රේම්නාත් චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වුණේ සිවාජි ගනේෂන්. ප්‍රධාන නිළිය වුණේ මාලිනී ෆොන්සේකා. මම ඒ චිත්‍රපටයේ ප්‍රධාන කොණ්ඩ සැකසුම් ශිල්පියා ලෙස වැඩ කළා. දවසක් මේ චිත්‍රපටයේ වැඩ කළ හැමෝටම සිවාජි ගනේෂන් ඩිනර් එකක් දුන්නා එයාගේ ගානේ. මට මේ ගැන කවුරුවත් කිව්වෙත් නැහැ. ආරාධනාවක් ලැබුණෙත් නැහැ. කොහොම හරි චිත්‍රපටයේ වැඩ කළ හැමෝම එදා ඩිනර් එකට ගිහින් තිබුණා. පසුවදා විජය ස්ටුඩියෝ එකේ මම චිත්‍රපටයේ වැඩ කර කර ඉන්න කොට මගෙන් ඇහුවා ඇයි ඊයේ මගේ ඩිනර් එකට ආවේ නැත්තේ කියලා. මම කිව්වා මම දන්නෙත් නැහැ. කවුරුවත් කිව්වෙත් නැහැ. මට ආරාධනාවක් තිබුණෙත් නැහැ කියලා. ඒ පාර සිවාජි ගනේෂන් මට කිව්වා උඹ මගේ රටට වරෙන්, මම උඹට මගේ ගෙදර ඩිනර් එකක් දෙනවා කියලා. මට ඒ රටට එන්න කියලා ආරාධනාවක් කළා. ඒ විතරක් නෙවේ, ටිකට් එකත් එවලා මම ඉන්දියාවට ගියා. එයාගේ ගෙදර වුණේ කමලා බවන්. සිවාජිගෙ පුද්ගලික කොණ්ඩ සැකසුම් ශිල්පී රවීව ගුවන් තොටුපලට එවලා තිබුණා මාව එක්ක යන්න. ගෙදරට ගියාම පස්සේ මාව බදාගෙන ඉඹල පිළිගත්තා. එයාගේ බිරිය කමලා අම්මාට මාව හඳුන්වලා දුන්නේ මාලිනී ෆොන්සේකාගේ හෙයාඩ්රෙසර් කියලා. මමත් සිවාජිත් එයාගෙ බිරියත් එක මේසේ වාඩි වෙලා කෑම කෑවා. පසුවදා සිවාජි ගානේ මා බැංගලෝර්වලට පිටත් කළා දවස් තුනක ටුවර් එකකට. ඊට පස්සේ එයා මාව ගෙන්නා ගත්තා. එක දවසක් ගියා ස්ටුඩියෝ එකක එයා රඟපාන චිත්‍රපටයක් රූපගත කරනවා බලන්න. ඔය විදියට මම දින කීපයක් ඉන්දියවේ ගත කරලා ලංකාවට ආවා. * ඊට පස්සෙත් ඔබට සිවාජි ගනේෂන් හමු වෙලා තියෙනවාද? ඔව්. මම විග් හදාගන්න ඉන්දියාවට ගියාම එයාව හම්බ වෙන්න ගිය අවස්ථා තිබුණා. ඒ යන කොට මම සිවාජිිට අපේ රටේ තේයි, කජුයි ගෙනි යනවා. සිවාජි හරිම ආසයි අපේ රටේ තේ බොන්නත්, කජු කන්නත්. * අද බිහි වන නව පරපුර ගැන මොකද ඔබට හිතෙන්නේ? අපේ අයත් එක්ක ගත්තහම හොලිවුඩ් බොලිවුඩ් නළු නිළියෝ අහසට පොළව වගේ. ඒ අයව ඒ රටවල සලකන්නේ දේවත්වයෙන් කිව්වොත් හරි. කොච්චර ගෞරව කරනවාද කියනවා නම් මුනින් තලා වී වඳිනවා. අද අපේ නව පරපුර නම් එහෙම නැහැ. අපේ වැඩිහිටි නළු නිළියෙකුටවත් සලකන්නේ නැහැ. ගෞරවයක් නැහැ. වැඩිහිටි ප්රවීණයකුට ගරු කරන්න මම නැගිට්ටත් මුන් නම් නැගිටිනවා බොරු. * ඔබ නියැලෙන ශිල්පයේ ඉදිරිය ගැන මොකද හිතෙන්නේ? අපි ඇවිත් ඉන්නේ දුෂ්කරතා මධ්‍යයේ ගමනක්. මේ ගැන හදාරන්න පුළුල් අධ්‍යාපන ක්‍රමයක් නැහැ. චිත්‍රපට සංස්ථාව මැදිහත් වෙලා වේශ නිරූපණය, කලා අධ්‍යක්ෂණය, කොණ්ඩ සැකැසීම ගැන දැනුමක් ලබා ගත හැකි ක්‍රමවේදයක් අපේ කලාව වෙනුවෙන් ඇති කරනවා නම් ඒක ලොකු දෙයක්. * දිගුකාලීන අත්දැකීම් ඇති ඔබට මේ සඳහා දායකවීමක් සිද්ධ කරන්න බැරිද? මගේ අදහසක් තියෙනවා චිත්‍රපට ක්ෂේත්රයට පිවිසෙන්නට බලාපොරොත්තු වන අයට සුළු මුදලක් අයකර එක් දින වැඩ මුළුවක් හෝ මාස තුනක පාඨමාලාවක් මේ සම්බන්ධයෙන් ආරම්භ කරන්න. එහෙම කළොත් මම ඒ වැඩ පිළිවෙළ ආරම්භ කරන්නේ 203/1/1, කිරුළ පාර, නාරාහේන්පිට, කොළඹ 05 ලිපිනයේ තියෙන මගේ සැලුන් එල්. ඩී. එකේ.
|