|
එදත් වීරයා අදත් වීරයා ගා මි ණීමීගමුව යනු සිනමා කලාකරුවන් රැසකගේ නිජ භුමියකි. ප්‍රථම සිංහල කතානාද චිත්‍රපටයේ නිර්මාතෘ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න, එඩී ජයමාන්න, හියුගෝ ප්‍රනාන්දු, විජිත මල්ලිකා, ඔස්වල්ඩ් ජයසිංහ, පිටිපන සිල්වා, ඩබ්ලිව්. බෙනඩික්ට් ප්‍රනාන්දු, ඇන්ටන් ග්‍රෙගරි පමණක් නොව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ මුල් ගම වුයේ මීගමුවය. ලෙස්ටර් මීගමුවේ කුරුකුලසූරිය පරම්පරාවට අයත් වූවෙකි. ජනප්‍රිය නිළි ජීවරාණී කුරුකුලසූරිය 'සංදේශය' චිත්‍රපටයෙන් හඳුන්වාදෙනු ලැබීමේදී මේ ඥාතිත්වය තමාට අනුබල වූ බව ලෙස්ටර් දිනක් මා සමඟ කියා සිටියේය. කුඩා කාලයේදි මට හියුගෝ, එඩී, පිටිපන සිල්වා, ඔස්වල්ඩ් වැනි සිනමා කලාකරුවන් දැකගන්නට ලැබී ඇත. මා විජිත මල්ලිකා කිසි දිනෙක නොදුටුවත් ඇගේ සොහොයුරු සුනිල් මගේ මිත්‍රයෙක්ව සිටියේය. ඔහු මීගමුව දුම්රියපොළ ඉදිරිපිට බයිසිකල් වින්කලයක් පවත්වාගෙන ගියේය. මා මගේ බයිසිකලයේ හුළං ගැසුවේ, පැච් දැම්මේ ඔහු වෙතිනි. 'මාතලන්' චිත්‍රපටයට ගී ලියු ඩබ්ලිව්. බෙනඩික්ට් ප්‍රනාන්දු මගේ පාසලේ මිතුරෙකු වූ සුකුමාර් ප්‍රනාන්දුගේ සීයා වූයේය. බෙනඩික්ට් මාස්ටර් මා උදේ හවා දුටු කලාකරුවෙකි. එඩී, රුක්මණි විසූ 'ජයරුක්' නිවෙස පිහිටා තිබුණේ අප පාසලට නුදුරින් තිබු සුප්‍රසිද්ධ අඟුරුකාරමුල්ල පන්සලට මඳක් ඔබ්බෙනි. (ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ කලක් මේ පන්සලේ පැවිදිව සිට ඇත) අප එඩී - රුක්මණී දැකගන්නට බයිසිකල්වල නැඟී පාරේ එහා කොනේ සිට මෙහා කොනට කීප වතාවක්ම ගොස් තිබුණ ද කිසිම දිනෙක ඔවුන් එතැනදි දැකගන්නට ලැබී නැත. නිවෙසත්, ගෙවත්තත් පාළුවට ගොස් තිබිණි. එකල ඔවුන් කොළඹ පදිංචිව සිටියා යැයි අද මට සිතේ. අප පාසලේ ද (මාරිස්ටෙලා විදුහල) කලා ළැදි ශිෂ්‍ය පිරිසක් වූහ. බර්ට්‍රම් නිහාල්, එරික් ඉලයප් ආරච්චි, ක්ලීටස් මෙන්ඩිස් අපට වඩා ජ්‍යෙෂ්ඨයන් වූ අතර සුපිරි නළු රන්ජන් රාමනායක, නිශාන්ත සුමනදාස අපට වඩා කනිෂ්ඨ ශිෂ්‍යයෝ වූහ. නිශාන්ත, එවක කටුනායක ගුවන් තොටුපළේ ලේක්හවුස් ඡායාරූප ශිල්පී ආර්. බී. එම්. සුමනදාසගේ පුත්‍රයාය. (නිශාන්ත කාලයක් අප සමඟ ලේක්හවුස් ආයතනයේ සේවය කළ අතර පසුව විදෙස්ගත වූයේය). එකල මීගමු නගරයේ සිනමාහල් හතරක් පිහිටා තිබිණි. ඒ 'රාජ්','රීගල්', 'මීපුර' හා 'කිංග්ස්'ය. අප පාසල් ඇරුණු ගමන් දුවන්නේ අද සිසුන් මෙන් ටියුෂන් පන්තිවලට නොවේ. මේ සිනමාහල් වෙතය. මා අලුත් චිත්‍රපට මෙන්ම 'පුරුෂ රත්නය', 'සරදියෙල්'', 'වනමෝහිනී' වැනි පැරණි චිත්‍රපට දුටුවේ ද එසේ දුවමින් බව මගේ මතකය කියයි. අප එදා චිත්‍රපට බැලුවේ ගැලරියේය. ප්‍රවේශ පත්‍රයක මිල සත පනස් පහකි. අවුරුදු හතරේ, පහේ සිටම මා චිත්‍රපට නරඹා ඇති බව සිතෙන්නේ සිංහල චිත්‍රපට නාමාවලිය පෙරළා බලද්දීය. 1965 හේදී මගේ වයස අවුරුදු පහකි. ඒ අවුරද්දේ තිරගත 'ස්විප් ටිකට්', 'සත පනහ', 'යටගිය දවස', 'අල්ලපු ගෙදර' වැනි සිනමාපට මා නැරඹූ බව හොඳහැටි මතකය. මගේ මවත්, පියාත් සිනමාලෝලයෝ වූහ. ඔවුන් අතින් සිංහල චිත්‍රපටයක් නැරඹීම අතපසු වූයේ එහෙමත් දවසකය. චිත්‍රපට නළු වොලී නානායක්කාර තමාගේ පාසල් (කුරුණෑගල සාන්ත ආනා) මිතුරකු බව මගේ පියා කියා ඇත. එය අපට මහත් ආස්වාදයක් ගෙන දුන්නකි. අප කුඩා කල වොලී ඇමතුවේ 'වොලී අන්කල්' කියාය. සිනමාහල, විසල් තිරය, සීනු හඬ, අඩ අඳුර, ආලෝක කදම්බය, තිරය දෙපලු වීම චිත්‍රපටය ප්‍රක්ෂේපණය විම එදා අප තුළ ඇති කළේ නොමඳ විස්මයකි. එසේම චමත්කාරයකි. ඒ අත්දැකීම වෙනත් කිසිදු මාධ්‍යයකින් ලබාගත නොහැකි වූවකි. එකල මගේ වීරයා වූයේ මහා නළු ගාමිණී ෆොන්සේකාය. ඔහු රඟපෑ 'සූර චෞරයා', 'ආත්ම පූජා', 'සුරයන්ගෙත් සූරයා' යන චිත්‍රපට තුන මා සිනමා රසිකයකු කළා පමණක් නොව පසු කලෙක සිනමා ලේඛකයකු හා විචාරකයකු බවට ද පත් කළ බව කිව යුතුය. සන්ධ්‍යා කුමාරි මගේ ප්‍රියතම නිළිය වූවාය. එදා මෙදාතුර සිංහල සිනමාවේ මා දුටු සුරූපිම නිළිය ඇයය. පසු කලෙක සිනමා ලේඛකයකු වීම නිසා මේ ප්‍රියතම නළු නිළි යුවළ සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වීමේ විරල භාග්‍යය මට ලැබුණේය. අදටත් මා පිළිගන්නේ ගාමිණී ෆොන්සේකා යනු ලෝකයේ ශ්‍රේෂ්ඨතම නළුවන් කීප දෙනාගෙන් කෙනකු බවය. අපි මාලන් බ්‍රැන්ඩෝ, ඇන්තනි ක්වීන්, සර් ලෝරන්ස් ඔලිවියර්, රිචඩ් බර්ටන් වැනි විශිෂ්ට හොලිවුඩ් නළුවන්ගේ රඟපෑම් කොතෙකුත් දැක ඇත්තෙමු. ගාමිණී ඔවුන්ට කිසිසේත්ම දෙවැනි නොවන නළුවෙකි. එදත් මගේ වීරයා ගාමිණීය. අදත් මගේ වීරයා ගාමිණීය. ලබන සතියේ 'සකුරා' කණ්ඩායමේ සාමාජිකයකු වීම
සුනිල් මිහිඳුකුල ලියයි |